පොන්ටින් ගේ ලෝක වාර්තාවත් බිඳ දමමින් මෙග් ලැනින් කිරුළ දරයි

272

සත්කාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණු 19කින් පරාජය කරමින් හයවැනි වරටත් කාන්තා විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමට ඔස්ටේ්‍රලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම පෙරේදා (26දා) සමත් වූයේය.

මෙම ජයග්‍රහණය නිසා ඔස්ටේ්‍රලියාවට අඛණ්ඩව තෙවැනි වතාවටත් විස්සයි විස්ස ලෝක ශූරියන් බවට පත්වීමට හැකි විය.

එමෙන්ම ඔස්ටේ්‍රලියානු නායිකා මෙග් ලැනින් මෙම ජයග්‍රහණයතු සමග ලොව වැඩිම අයි.සී.සී. කුසලාන ජයග්‍රහණය කිරීමේ වාර්තාවටද හිමිකම් කිවූ අතර මීට පෙර එම වාර්තාවට හිමිකම් කීවේ හිටපු ඔස්ටේ්‍රලියානු ක්‍රිකට් නායක රිකී පොන්ටින්ය. පොන්ටින් අයි.සී.සී. කුසලාන 4ක් ජයගහණය කළ නායකයකු වන අතර මැග් ලැනින් පෙරේදා ලද ජය 5 වැනි ජයග්‍රහණයයි.

අවසන් තරගයේ කාසියේ වාසිය දිනා ගනිමින් ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළ ඔස්ටේ්‍රලියානු කණ්ඩායම නියමිත පන්දු වාර විස්ස තුළ දී කඩුලු 6ක් දැවී ලකුණු 156ක් රැස් කර ගැනීමට සමත් වූ අතර ඔස්ටේ්‍රලියානු ආරම්භක පිතිකාරිනි බෙත් මූනි විසින් පන්දු 53කින් ලකුණු 74ක් ලබා ගැනීමට සමත් වූවාය.

දකුණු අප්‍රිකාව වෙනුවෙන් සාර්ථක පන්දු යැවීමක නිරත වූ ෂබ්නිම් ඉස්මයිල් විසින් සිය පන්දු වාර 4 තුළ ලකුණු 26කට කඩුලු 2ක් බිඳ හෙළීමට සමත් වූවාය.

පිළිතුරු ඉනිම ක්‍රියාත්මක කළ දකුණු අප්‍රිකානු පිතිකාරිනියන් හට රිසි සේ ලකුණු ලබා ගැනීමට ඔස්ටේ්‍රලියානු පන්දු යවන්නියන් විසින් ඉඩ ලබා නොදුන් අතර දකුණු අප්‍රිකානු ඉනිමේ මුල් පන්දු වාර 10 නිමා වන විට ඔවුන් කඩුලු 2ක් දැවී ලබා සිටියේ ලකුණු 52ක් පමණයි. කෙසේ වෙතත් පසුව පිටියේ ස්ථාවර වෙමින් සිටි ලෝරා වෝල්වාඩ්ට් විසින් සාර්ථක ඉනිමක් දියත් කරමින් දකුණු අප්‍රිකාවට යම් බලාපොරොත්තුවක් එක් කිරීමට සමත් වුණත්, ඇය පන්දු 48කින් ලකුණු 61ක් ලබා සිටිය දී දැවී ගියා. ඒ අනුව පිළිතුරු ඉනිම දියත් කළ දකුණු අප්‍රිකාව නියමිත පන්දු වාර විස්ස අවසන කඩුලු 6ක් දැවී ලබා ගත්තේ ලකුණු 137ක් පමණි. මෙහි දී අවසන් මහා තරගයේ වීරවරිය ලෙස බෙත් මූනි ද,

තරගාවලියේ වීරවරිය ලෙස ඔස්ටේ්‍රලියාවේ අෂ්ලීග් ගාර්ඉඩ්නර් ද සම්මාන ලැබුවාය. මේ අතර තරගාවලියේ වැඩිම ලකුණු ලභිනිය ලෙස දකුණු අප්‍රිකාවේ ලෝරා වෝල්වාඩ්ට් විසින් තරග 6ක දී ලකුණු 230ක් රැස් කර ගැනීමට සමත් වූ අතර, තරග පහක දී කඩුලු 11ක් බිඳ හෙලූ එංගලන්තයේ සෝපී එක්කෙල්සටන් විසින් තරගාවලියේ වැඩිම කඩුලු ලාභිනිය බවට ද පත් වූහ.


advertistmentadvertistment