බාලගිරි දෝෂය ගැන ඔබ දැනුවත් ද?

18

දරුවෙක් ඉපදී වරුතුන ගෙවුණු තැන සිට හෙළ යක් පරම්පරාවට අයිති යක්ෂණියන් දොළොස් දෙනකුට දරුවා අයිති වේ. ඉන් වසරක කාලයක් ගත වනතුරු මාස 12කට යක්ෂණියන් 12 දෙනකුගේ ඇල්ම, බැල්ම වැටීම, ඒ තුළින් බිලිඳු දරුවන් තුළ ඇතිවන දොස් බාලගිරි දෝෂය නමින් අදත් ගමේ නගරයේ කොතැනත් ඉහළින් පිළිගත් සමාජ සම්මත මතයක් හා විශ්වාසයක් වී තිබේ. ඒ නිසා කුඩා බිලිඳකු සිටින ස්ථානයේ දොරකඩක හෝ බිත්තියක “බාලගිරි දෝෂය අද නොවෙයි හෙට” යනුවෙන් ලියා තබනු දක්නට ලැබේ. එසේ ලියා තැබීමෙන් නිවසට පැමිණෙන අයකුට මෙම නිවසේ කුඩා බිලිඳකු සිටින බවට පණිවිඩයක් ලැබීමෙන් එම දරුවා කිලිකුණු, විෂබීජවලින් වළක්වා ගෙන ආරක්ෂා කර ගැනීමට හැකියාවක් ද නොදැනීම ඇති වේ.

මේ සම්බන්ධව ඉතා දීර්ඝ කාලයකට දිවයන ඉතිහාස කතාවක් ඇත. ගිරි දේවිය නම් දේවියක් අරබයා මෙම කතා පුවත ගෙතී ඇත. එකල පෙර දවස දඹදිව දන්ත නම් පුරයේ රජකම් කළ සිංහකුමාර රජු හා එම දේවිය වූ හංසවතී බිසවට දරුවන් දෙදෙනකු විය. අනාගත වෘත්තකරුවන්ගේ (අනාවැකි කියන්නන්) මතය වූයේ වැඩිමහල් කුමරා අතින් කුඩා කුමරිය කෙලෙසෙන බවත් එය කිසිසේත්ම කාහටවත් වැළැක්විය නොහැකි බවත්ය.

මේ පුවත අසා කම්පාවට පත් දෙමාපියන් කුඩා කුමරිය ගල්ලෙනක් තුළ සඟවා කා හටත් නොපෙනෙන ලෙස ඇති දැඩි කළහ. විශේෂයෙන්ම තම සොයුරා වන දළ කුමාරයාගේ ඇස නොගැටීමට වගබලා ගත්හ. කුඩා කල සිට ම ගිරිකුලක් තුළ ජීවත් වුණු නිසා ඇය වැඩිමහල් වියට පත් වුණු පසුවත් “ගිරිදේවිය” නමින් හඳුන්වනු ලැබීය.

කාලයාගේ ඇවෑමෙන් දෙදෙනාම තරුණ වියට පත් වුණු පසුව දළ කුමාරයාට ගිරිදේවිය ගැන තොරතුරු දැනගන්ට ලැබීමෙන් මහත් කලබලයක් ඇති කරන්නට පටන් ගත්තේය. දෙමාපියන්ගෙන් තම නැඟණිය බලන්නට අවසර ඉල්ලා සිටිය ද කිසිසේත්ම ඊට අවසර නොලැබිණි. නොයකුත් උපක්‍රම යෙදුවද ඵලක් නොවුණු අතර කුමාරයා බොරුවට අසනීප ස්වාභාවයක් පෙන්වා දැඩි ගිලන් බවක් ඇති කර ගත්තේය. අවසානයේ දෙමාපියන්ගෙන් තම නැඟණිය බැලීමට යෑම සඳහා කුමාරයාට අවසර ලැබිණි.

ඉතාමත් රූපයෙන් අග තැන්පත් ගිරිදේවිය දැකීමෙන් සහෝදර ප්‍රේමය අමතක වී ගොස් කාමයෙන් උන්මාද වුණු දළ කුමාරයා අනාවැකිකරුවන්ගේ මතය සත්‍යයක් බවට පත් කරමින් කෙසේ හෝ ගිරිදේවිය පොළඹවාගෙන සංවාසයේ යෙදී ඇයව කෙලෙසා දැමීය. ඉන් අධික චිත්ත පීඩාවට පත් කුමරිය (ගිරිදේවිය) ගෙල වැලලා ගෙන සියදිවි නසා ගත්තා ය.

මේ පුවත අසා දළ කුමාරයාට ගිරි දේවියගේ මළ සිරුර දැකීමට අවශ්‍ය වුවත් එය අතුරුදන්ව තිබිණි. (ශක්‍රයා විසින් දේහය සඟවා තැබූ බව ගිරිදේවි අස්නේ හා තවත් පුරාණ පතපොතේ සඳහන් වේ.) ගිරි කුමරියගේ මළ සිරුර දක්නට නොලැබීමෙන් රාක්ෂයකු හා යක්ෂයෙක් මෙන් කිපුණු දළ කුමාරයා දඹදිව හා සක්වළ පුරාවට මහා විනාශයක් කරමින් ගම්බිම් පාළු කරමින් මිනිසුන්ට ශාප කරමින් සතුන් අල්ලා ලේ බොමින් ගමන් කරන්නට විය. මේ විනාශය දුටු ශක්‍ර දේවේන්ද්‍රයා දළ කුමරුහට සිය නැඟණියගේ දේහය පෙන්වා සිත සනසවා කළ වරද කියාදී ගිරිදේවියට නැවත පණ පිහිටුවා ශක්‍ර භවනට රැගෙන ගියේය. අර්ධ යක්ෂ හා අර්ධ දේව ලෙස ගිරිදේවිය හඳුන්වන අතර දළ කුමාරයා ද විටෙක දේවතාවෙක් හා විටෙක යක්ෂයකු ලෙස ප්‍රචලිතව ඇත.

දෙවියකු, දේවතාවියකු – යකෙකු, යක්ෂණියක ලෙස ප්‍රචලිත වුවත් ඔවුන් වෙනුවෙන් වෙන් වුණු දේවාල හෝ ඇදැහීම් ක්‍රම ලංකාවේ නොමැති වුවත්, ඔවුන් ගිරියක්ෂණී , ගිරිදේවිය, දළ කුමාරයා, ගරා යක්ෂයා ලෙසින් ජනප්‍රවාදයේ සඳහන් වෙයි.

මදනගිරි, ඤතගිරි, පට්ටිගිරි, හපුමල්ගිරි, නීලගිරි, කොටගිරි, බාලගිරි, රත්නගිරි, අඳුන්ගිරි, මෝලන්ගිරි, හඳුන්ගිරි, වලියක්ගිරි යනුවෙන් ගිරි යක්ෂණියගේ අවතාර දොළසක් ද අඳුන්ගරා, සඳුන්ගරා, පුෂ්පගරා, කණගරා, සොහොන්ගරා, දේසගරා, අමාගරා, ලවුනගරා, වාතගරා, කොටගරා, නීලගරා, පට්ටිගරා යනුවෙන් දළ කුමාරයාට අවතාර දොළසක් ද ඇති බව සඳහන් වේ.

ගිරිදේවිය හා බැඳුන කථා පුවත් රාශියක් ඇති අතර ගිරිදේවි බලිය නමින් යාග බලි ශාන්තියක් ද රජරට ප්‍රදේශයේ පවතී. දළ කුමාරයාගේ ලිංගික බලපෑම් හේතුවෙන් කුස තුළ හටගත් දරු කලලය, ගිරි දේවියත් සමග මියයෑමත් ඒ හා ඇති වුණු දුක සෙනෙහස කෝපයකට ද්වේෂයකට හැරී මෙම අදෘෂ්‍යමාන බලවේග හටගෙන ඇති බවත් විශ්වාස කෙරේ.

මවටවත් සනහාගත නොහැකි ලෙස අධික ඇඬීම හා ඇඟ මුහුණ රතුවන සේ අධික බියක් ඇති බව දනවන ලෙස ඇඬීම මෙහි උච්චතම අවස්ථාවයි.

බාලගිරි දෝෂය පවතිනවිට දරුවාට, පළමු වන මාසයේදී නන්දනා නම් යක්ෂණිය ආවේශ වන අතර නොනවත්වා ඇඬීම, කිරි නොබීම, බඩ පුරවා දැමීම, උණ, ඔක්කාරය වැනි ලක්ෂණත්, දෙවන මාසයේදී සුනන්දා නම් යක්ෂණිය ආවේශ වන අතර උණ, කිරි නොබීම, ශරීරය අගාරවමින් ඇඬීම,ඇස් කැරකවීම, තිගැස්සීම වැනි ලක්ෂණත්, තුන්වන මාසයේදී පුතනා නම් යක්ෂණියගේ බැල්ම වැටෙන අතර ඇස් කරකැවීම, තිගැස්සීම, අත් මිට මොළවා ඇඬීම, උණ හා කුඩා බිබිලි ඇති වීම වැනි ලක්ෂණත්, හතර වන මාසයේදී මුණ්ඩිකා නම් යක්ෂණියගේ බැල්ම වැටීම නිසා බියවී ඇඬීම, තද උණ, ඇස් කරකවමින් බියෙන් බලා සිටීම, නින්ද නොයෑම, අත්පා හකුළුවා දැඟලීම වැනි ලක්ෂණත්, පස්වන මාසයේදී කටපුතානා නම් යකින්නගේ බැල්ම නිසා තදින් අත මිට මොළවා අපහසුවෙන් සිටීම, උණ, කිරි නොබීම වේදනාවෙන් ශරීරයේ ඇඹරවීම වැනි ලක්ෂණත්, හය වන මාසයේදී යක්ෂණිකා නම් යකින්නගේ බැල්ම නිසා පපුවෙන් හඬක් නිකුත් වීම, අධික සෙම් සහිත උණ, කිරි නොබීම, ඈනුම් ඇරීම, ඇස් පොඩි කිරීම, වරින් වර ඇඬීම වැනි ලක්ෂණත්, හත් වන මාසයේදී ශුෂ්ක රේවතී නම් යක්ෂණියගේ බැල්ම නිසා අතමිට මොළවාගෙන ඇඟ අඹරවමින් වේදනාවෙන් ඇඬීම, උණ, බඩ පුරවා දැමීම, කිරි නොබීම, හීනෙන් බය වීම වැනි ලක්ෂණත්, අට වන මාසයේදී ආර්යකා යක්ෂණියගේ බැල්ම වැටීම නිසා ශරීරයේ බිබිලි ඇති වීම (ඉකිළි,බෙල්ල, අත් පා ආදියේ) වේදනාවෙන් ඇඬීම, කිරි නොබීම ආදියත්, නවවන මාසයේදී බොහෝ භූසුනිකා යක්ෂණියගේ බැල්ම නිසා කිරි වමනය, ඔක්කාරය, උණ ආදී රෝග ලක්ෂණත්, දසවන මාසයේදී නෛර්සෘස යකින්නගේ බැල්ම දරුවා වෙත වැටෙන බැවින් අතපා ගසමින් ඇඬීම, දියර ලෙස බඩ එළිය යෑම, උදරය නිල් පාට වීම, උණ ගැනීම වැනි ලක්ෂණත්, එකොළොස් වන මාසයේදී පිළිපිච්චිකා යක්ෂණිය ආවේශ වීම නිසා කිරි බීම නතර කර ඇඬීම, බියවී වෙව්ළීම, තද උණ, ආහාර නොගැනීම, ශරීරය කෙට්ටුවීම ආදී ලක්ෂණ ද දොළොස්වන මාසයේදී කාමුකා යක්ෂණිය ආවේශ වීම නිසා අත්පා ගසා දමා ඇඬීම, බිම පෙරළීම, ඇස් කරකැවීම, කිරි නොබීම, උණ ආදී ලක්ෂණත් ඇති වේ.

දරුවාට මෙබඳු රෝග ලක්ෂණ ඇත්නම්,වෛද්‍ය ප්‍රතිකාර වලින් පසුවත් ඉහළ බලාගෙන ඇස් කරකවමින් හැඬීම, කිරි බීම ප්‍රතික්ෂේප කිරීම වැනි ලක්ෂණ ඇත්නම් බාලගිරි දෝෂය ඇතැයි අනුමාන කළ හැකිය.

එවිට විහාරස්ථානයකට ගොස් බෝධි පූජාවක් තබා බෝධීන් වහන්සේගේ නැඟෙනහිර දිසාවට බරවූ අත්තක හොඳින් මේරූ කොළයක් ලබා ගෙන රාහු කාලය නොමැති වෙලාවක පෑනකින් එහි “සබ්බ පාපස්ස අකරනං” ගාථාව ලියා එම ගාථාව බෝ කොළය අතේ තබාගෙන 108 වරක් කියා එය දරුවාගේ කොට්ටය හෝ මෙට්ටය තුළ තැබීම ඉතා ගුණදායකය. නිවසේ වාස්තු දෝෂ හෝ මළ ගිය අයගේ බැල්ම ඇත්නම් මෙහි ඇති ගුණ අඩු වීමට පුළුවන.

බාලගිරි දෝෂය ගැන ඔබ දැනුවත් ද?

ජාත්‍යන්තර සම්මානලාභී ජ්‍යොතිර්වේදී, වාස්තු විද්‍යා විශාරද, විදුහල්පති දේශමාන්‍ය
ආචාර්ය දැරණියගල කපිල ඉන්ද්‍රික ගුණදාස
076 824 8000


advertistmentadvertistment