බිස්නස් එක පටන් ගනිමු

1103

අද ජනවාරි 1 දා වීමත් හෙට ජනවාරි 2දා වීමත් අදින් දවස් 365 ට පසු අවුරුද්ද අවසාන වීමත් චිරාත් කාලයක පටන් සිදුවන කටයුත්තකි. විටෙක මේ ක්‍රියාවලියේ පදනම භෞතිකය. තවත් විටෙක මේ ක්‍රියාවලියේ පදනම විඥ්ඥානවාදීය. විඥ්ඥානවාදය ලෙස අප මෙහිදී හඳුන්වනු ලබන්නේ ජනවාරි 1 දා හා බැඳුනු ජොතිෂ්‍ය කාරණාය. එක පැත්තකින් මෙය හොඳ බිස්නස් එකකි. ජනවාරි 1 දා නවග්‍රහ මණ්ඩලයේ පිහිටීම අනුව හොඳ සල්ලි උපයාගත හැකිය. මේ ග්‍රහ පිහිටීම් වලින් දිනපතාම මුදල් ඉපයිය හැකි වුවද අවුරුද්දකට වරක් පමණක් එන ජනවාරි 1 දා ජොතිෂ්‍ය හා ඊට අදාළ දේවල් ඉතා හොඳින් මාර්කට් කළ හැකිය. ජනවාරි 1 දා සිට පටන් ගන්නා අවුරුද්දට අදාළ ලග්න පලාපල, නක්‍ෂත්‍ර කියවීම් යනාදියෙන් හෙළිවන අපල උපද්‍රව සඳහා නූල් බැඳීමෙන්ද, සුර එල්ලීමෙන්ද, දෙහි කැපීමෙන්ද, තොවිල් කර පුහුල් ගෙඩි දෙපලු කිරීමෙන්ද විශාල මුදලක් උපයා ගැනීමට හැකිවේ. ආදායම් බද්දක් හෝ වැට් බද්දක් නොගෙවන කිසිම auditor කෙනකුගේ අධීක්ෂණයට යටත් නොවන ජොතිෂ්‍යය ජනවාරි 1 දා පිළිබඳ මොන ඇත්තක් කිව්වත්, මොන බොරුවක් කිව්වත් ඉපැරණි විද්‍යාත්මක පදනමකින් සමන්විතය. මිනිසුන් ධෛර්යය ලබාගැනීමට පවා සුර එල්ලා ගනිති. සෙත් ශාන්ති කරගනිති. සුරේ නැතුවද ධෛර්යය ලබාගත හැකිය. පොලිස්කාරයකු පසුපසින් එළවාගෙන එනවිට හොරෙකු අධි වේගයෙන් දිවගොස් බේරෙන්නේ සුර එල්ලාගෙන නොව ඒ ක්ෂණයකින් ලබාගත් ධෛර්යය නිසාය. අලුත් අවුරුද්දේ භෞතික පදනම ද විඥ්ඥානය හා සම්බන්ධය. හැම භෞතික වැඩක්ම එදිනට අලුතින් පටන්ගනු ලැබේ. එවිට ඒ වැඩේ (අවුරුදු සීයක් තිස්සේ කළ වැඩක් වුණත්) අලුත්ම අලුත් වැඩක් ලෙස මිනිසුන්ට කල්පනාවක් ඇති වේ. කිරිබත් මේසය මගින් එම අලුත් බව ඩබල් කරනු ලැබේ. අලුත් ඇඳුම් මගින් ඒ අලුත් බව ටි්‍රබල් කරනු ලැබේ. එහෙත් අපට කල්පනා නොවන එක දෙයක් ඇත. එනම් අප තවත් අවුරුද්දකින් වළට හෝ දර සෑයට ළංවන බවය.

ලංකාව ඉතා දරුණු ආර්ථික අර්බුදයක ගිලී සිටියදී මෙවර අලුත් අවුරුද්ද අරඹනු ලැබේ. බඩු මිල ඉතා ඉහළය. ලංකා ඉතිහාසයේ කවර කලකදීවත් ලොකු ලූනු කිලෝව රුපියල් 500 ට ගියේ නැත. මේ අවුරුද්දේ අපි ඒ අත්දැකීමද ලබමු. ලොකු ලූනු මිල ඉහළ ගියේ ඇයිදැයි වැඩිදෙනා නොදනිති. ඒ මිල වැඩිවීම කෙසේ සිදුවී දැයි ජනතාවට තේරුම් කරදී කවර ආකාරයක හෝ දේශපාලන වාසියක් ලබාගැනීමට මේ ආණ්ඩුවට උවමනා නැත. ලොකු ලූනු මිල ඉහළ ගියේ ඉන්දියාව ලූනු රට පැටවීම තහනම් කළ නිසාය. කිසියම් හේතුවක් නිසා පසුගිය කන්නයේදී ඉන්දියාවේ ලොකු ලූනු අස්වැන්න පහත වැටින. එසේ තිබියදී ලූනු රට පැටෙව්වොත් තම රටේ කෑම සඳහා වෙනත් රටකින් ලූනු ගෙන ඒමට ඉන්දියාවට සිදුවේ. ලංකාව රටට අවශ්‍ය ලොකු ලූනු වලින් 75% ක් පමණ ගෙන්වන්නේ ඉන්දියාවෙනි. මෙයද චිරාත් කාලයක් තිස්සේ සිදුවූවකි. එදා සිටම මේ රටේ වැසියන් ලොකු ලූනු හඳුන්වන්නේ බොම්බයි ලූනු හෙවත් Bombay onion යන නමිනි. ලූනු ඉන්දියාවේ බොම්බායෙන් ගෙන්වන බව මෙයින් හැඟෙන ලූනු පමණක් නොව හැම බඩුවකම පාහේ මිල පසුගිය දිනවල ඉහළ නැග තිබුණි. අලුතින් පනවන ලද වැට් බද්ද නිසා තවත් සමහර බඩුවල මිල අද සිට තවදුරටත් ඉහළ යනවා ඇත. මේ ආණ්ඩුව ජනප්‍රිය තීන්දු නොගැනීම ගැන අප තුළ ඇත්තේ පුදුමයකි. තෙල් පෝලිම් සහ ගෑස් පෝලිම් නැතිවීම පිළිබඳ අප තුළ ඇත්තේ සතුටකි. බංකොලොත් වූ රට එම පීල්ලෙන් වඩාත් හොඳ පීල්ලකට මාරුවීම ගැනද අප තුළ ඇත්තේ සතුටකි. ඒ අතර ජීවත්වීම සඳහා පාරිභෝගික මිල අඩුකර ජනතාවට සහනයක් දීමට හැකි නම් අප තුළ ලොකු සතුටක් ඇතිවනවා ඇත. ඊශ්‍රායලය සහ පලස්තීනය අතර විශාල වශයෙන් දිග ඇදෙන යුද්ධයක් හටගෙන ඇත. රුසියාව සහ යුක්‍රේනය අතර යුද්ධය තවමත් ඉවර නැත. මේ යුද්ධ දෙක තවදුරටත් වැඩිවී මුහුදු මාර්ගවලට එළැඹුණොත් අපට සිදුවන්නේ කන්න නැතුව නන්නත්තාර වීමටය. එවැනි වෙලාවක මේ රටේ ජනාධිපති ශක්‍ර දෙවියන් වේවා උන්වහන්සේට සිදුවන්නේද කන්න නැතුව සිටීමටය. එහෙත් නිෂ්පාදන ආර්ථිකයක් ඇතිකොට අපේ රටේ දේවලටම පුරුදු වීමට මේ රටේ ජනයට හැකි වුණොත් ඕනෑම අවුලක් ඉදිරිපිටදී නොමැරී ජීවත්වීමට අපට හැකිවනවා ඇත. නිෂ්පාදන ආර්ථිකය යනු ඉතා හොඳ බිස්නස් එකකි. එය අද සිට අරඹමු.

advertistmentadvertistment
advertistmentadvertistment