හැටන් කලාප අධ්‍යාපන කාර්යාලයට අයත් කේ. ඩී. එච්. වර්ගයේ වෑන් රථය වෙනත් පුද්ගලයකු විසින් බීමත්ව ධාවනය කර ඇති බවට හැටන් කලාපයේ ගුරුවරුන් පිරිසක් විසින් හැටන් පොලිසියට (09) දින පැමිණිල්ලක් කර ඇත.
නුවරඑලිය මහාධිකරණයේ අතුරු තහනම් නියෝගයක් හේතුවෙන් දැනට සේවයෙන් ඉවත් වී සිටින හැටන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයාගේ ඥාතියකුගේ හැටන් දික්ඔය පුලියාවත්ත ප්‍රදේශයේ පැවති මල්වර උත්සවයකට සහභාගි වීම සඳහා පිරිසක් එම වෑන් රථයෙන් වෙනත් පුද්ගලයකු විසින් රැගෙන ගොස් ඇති බවත්, එම උත්සවයට අවශ්‍ය මත්පැන් රැගෙන ඒමටද අදාළ වෑන් රථය භාවිතා කර ඇති බවටද එම ගුරුවරුන් විසින් හැටන් පොලිසියට කර ඇති පැමිණිල්ලේ සටහන් කර ඇත.
එම වෑන් රථය උත්සව ශාලාවෙන් පිටතට පැමිණෙන අවස්ථාවේ එම උත්සවයට සහභාගි වී සිටි ගුරුවරුන් පිරිසක් හැටන් කලාප අධ්‍යාපන කාර්යාලයට අයත් වෑන් රථය අධික ලෙස බිමත්ව සිටින වෑන් රථයේ නිල නොවන රියැදුරකු විසින් වෑන් රථය හැටන් දෙසට ධාවනය කරන බවට හැටන් පොලිසියට දුරකථනය ඔස්සේ කළ දැනුම් දීමක් මත හැටන් පොලිසියේ නිලධාරීන් විසින් වෑන් රථය හැටන් දික්ඔය ප්‍රධාන මාර්ගයේ අලුත්ගම ප්‍රදේශයේදී නතර කර පරීක්ෂා කිරීමේදී එම වෑන් රථය ධාවනය කළ රියැදුරු මාරු කර ඇති බවත්, බීමත්ව වෑන් රථය ධාවනය කළ රියැදුරාව අතරමගදී වෑන් රථයේ නිල රියැදුරා විසින් මාරු කර ඇති බවටද එම ගුරුවරුන් විසින් කර ඇති පැමිණිල්ලේ වැඩිදුරටත් සටහන් කර ඇත.
වෑන් රථය හැටන් පොලිසියේ නිලධාරීන් විසින් නතර කර පරීක්ෂා කිරීමේදී වෑන් රථයේ සිටි පිරිස අතරින් එක් අයකු පමණක් කලාප අධ්‍යාපන කාර්යාලයේ සේවය කරන අයකු බවත්, අනිත් පිරිස පිටස්තර පිරිසක් බවයි හැටන් පොලිසියට පැමිණිලි කර ඇති ගුරුවරුන් කියා සිටියේ.
තම කලාප කාර්යාලයට අයත් වෑන් රථය ධාවනය කරන අවස්ථාවේ කිසියම් පිරිසක් වෑන් රථය නතර කිරීමට උත්සහ කළ බවට එම වෑන් රථයේ නිල රියැදුරා විසින්ද හැටන් පොලිසියට පැමිණිල්ලක් කර ඇත.
දෙපාර්ශ්වයේම පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන බව හැටන් පොලිසියේ සුළු පැමිණිලි අංශයේ නිලධාරියකු පැවසීය.
වෑන් රථය උත්සව ශාලාවෙන් පිටවන අවස්ථාවේ වෑන් රථය ධාවනය කළ රියැදුරා අතරමගදී මාරු කර ඇති බවට අදාළ වීඩියෝ දර්ශන තමන් සතුව ඇති බවට එම ගුරුවරුන් විසින් හැටන් පොලිසියට දැනුම් දී ඇත.
හැටන් කලාප අධ්‍යාපන කාර්යාලයේ වෑන් රථය පෞද්ගලික උත්සවයක් සඳහා වෙනත් රියැදුරකු විසින් භාවිතා කිරීම සම්බන්ධයෙන් අප හැටන් කලාප අධ්‍යාපන කාර්යාලයේ උසස් නිලධාරියකුගෙන් කරුණු විමසීමට උත්සහ කිරීමේදී එම නිලධාරියා කියා සිටියේ එම සිද්ධිය සම්බන්ධයෙන් තමන් කිසිවක් නොදන්නා බවයි.
නුවරඑලිය – නාලක රත්නායක