බුධගේ අපලයට පිළියම්

80

බුධ ග්‍රහයාගේ අපල යෙදුණු විට බුධ නියෝජනය කරන ලියකියවිලි, කතාව යන කරුණුවලින් පාඩු යෙදේ. නින්දා අපහාස විදී. ඒ හේතු මත කේලම් ඕපදූප ඇති වේ. ආමාශ ගත ආබාධ, නහර ගත රෝග, ස්නායු ගත රෝග පහසුවෙන් බලපායි. දේපළ පිළිබඳ අවුල් මතු වේ. බුධගේ ඇති බුද්ධිමත් භාවය දුබල ගෙන දෙන බැවින් මෙම වකවානුව තුළදී අදූරදර්ශීව කටයුතු කරන බව පෙනේ. සොරුන්ගෙන් හා වංචාකාරයන්ගෙන් පාඩු සිදු වේ. කළයුතු වැඩ කොටස තිබියදී සැබවින්ම පලක් නැති වැඩ කරමින් කාලය කා දමයි. නීතියේ රැහැන්වලට හසුවිය හැකි බැවින් කල්පනාකාරීව කටයුතු කළ යුතුව ඇත.

බුධගේ අපල යෙදෙන විට රෝග වශයෙන් යෙදෙන්නේ හුස්ම ගැනීමේ අපහසුතාවය, නහරගත රෝග, ස්නායු ගත ආබාධ, ශාරීරික හා මානසික අදහස්, ප්‍රකාශනයේ දුර්වලතා, ආමාශ ගත රෝග ආදියයි. බුධගේ බලපෑමට ලක්වන ස්නායු පද්ධතිය, මානසික ශක්තිය, හුස්ම ගැනීමේ ක්‍රියාවලිය, අත්වල ක්‍රියාකාරීත්වය, ස්පර්ශය, කතා කිරීමේ හා ඇසීමේ ක්‍රියාවලියට සම්බන්ධ අවයවවලට කුමන හෝ දුර්වලතාවක් ඇති වේ.

ඉහත කී අපලකාරි තත්ත්වයන් මර්දනය කර ගැනීම සඳහා ජ්‍යොතිර්විද්‍යාවේ ඇතුළත් පහත සඳහන් ශාන්තිකර්ම පද්ධතිය උපයෝගි කරගන්න.

  1. රතන සූත්‍රය, නව ගුණ යන්ත්‍රය, දිව්‍යරාජ යන්ත්‍රය, මාතංගේෂ්වර යන්ත්‍රය, විෂ්ණු මණ්ඩලය, ශිව සිදම්බරය, යන යන්ත්‍රවලින් එකක් ශාස්ත්‍රානුකූලව සාදා පළඳින්න.
  2. අපලකරුගේ කේන්ද්‍රය පුද්ගලිකව පරීක්ෂා කරන්න. එහි බලවත්ම ග්‍රයා තවදුරටත් බලවත් කිරීමේ න්‍යාය අනුගමනය කිරීම වඩාත් ප්‍රතිඵලදායි. අත්දැකීම් අනුව පසක් වී තිබේ. එබැවින් බලවත්ම ග්‍රහයාට අදාළ මැණික තෝරා එම මැණික ඇතුළත් කර රිදී රත්තරං හෝ ග්‍රහයාට අදාළ ලෝහයෙන් මුද්දක් සාදා එම ග්‍රහයාට අයත් ඇඟිල්ලේ හෝ ග්‍රහයාට මිතුරු ඇඟිල්ලක පළඳින්න.
  3. ශ්‍රී විෂ්ණු දෙවියන්ට පූජාවක් තබා යාතිකාවක් කර බාරයක් වන්න.
  4. ශ්‍රී විෂ්ණු දේව නාමයට සෙත් කවියක් සාදා ගායනා කරන්න.
  5. රාත්‍රි නින්ද යෑමට පෙර බුධ ස්ත්‍රෝත්‍රය හැකි තරම් වාර ගණනක් කියවන්න.

ප්‍රියගු කාලිකා ශ්‍යාමං
රූපේණ ප්‍රතිමං බුධං
සෞම්‍ය සෞම්‍ය ගුණෝපේතං
තං බුද්ධං පුණමාම්‍යහම්

  1. බුධ අපලයට අදාළ ඖෂධීය ජලය ස්නානය කරන්න. එනම් සුවඳ කොට්ටම්, නෙළුම් අල, විළඳ, නාමල් රේණු, ගෝරෝචන යන ඖෂධයන් ප්‍රමාණවත් ලෙස ගෙන තම්බා එම ඖෂධීය ජලය සාමාන්‍ය ජලයට මිශ්‍ර කර ස්නානය කරන්න.
  1. බුධ පූජාව තබන්න.

මුංඇට, නාමල්, ගිතෙල්, වදකහ, රිදී කැබැල්ලක්, නිල් රෙදි රියනක්, විවිධ වර්ණ වූ මල් සහිත පූජා වට්ටියක් සාදන්න. කොහොඹ ගසක් පාමුල ශුද්ධ කර උතුරු පැත්තේ මැස්සක් තනා බදාදා දවසක බුධ හෝරාවේ පූජාව තබන්න. බුධ සුවඳ ධූපයෙන් දුම දෙන්න. බුධ යාදින්න කියන්න.

I බුධ යාදින්න සිංහලෙන්

පීත වර්ණ පීත තනු පීත ද්වජ, පීත රථ, පීත අම්බර ධර සෞම්‍ය සෞම්‍ය ගුණ සමන්විත ගද්‍ර වහ චතූර් භුජ චන්ද්‍ර සුත සර්ව ශුභදායක දිව්‍ය රථ සමාරූඪ බුධ ග්‍රහ දෝෂයෙන් පැමිණි සකල අතුරු අන්තරා උපද්‍රවයන් මිතුරු දුටු අඳුරු සේ විබව සනය කොට මෙමාහට සියලු සුබ ආසිරි යස ඉසුරු බව බෝග සැප සම්පත් සාදා දෙන ලෙස බුධට හිමි ශ්‍රී විෂ්ණු දෙව් මහරජ හට අපරිමිත භක්තියෙන් සුනිමල් ඇත් දත් රන් රිදී ලෝහ තඹ ඈ නන් පුද සිරිත් පවත්වා මෙම පිරිපත මුදා දිගායුස දෙන ලෙසින් අයදිමි.

II බුධ යාදින්න සංස්කෘතයෙන්

පීත වර්ණං පීත මාල්‍යාම්බරංධරං පීත

ගන්ධානුලෙපනං පීතාශ්වං පීත ඡත්‍ර ධ්වජ පතාකානි ශොහිතං දිව්‍ය රථ සමාරූඪං මෙරුං ප්‍රදක්ෂිණං කුර්වාණං සාංගාං සායුධං සවාහනං සශක්ති සපත්ති සපුත්‍ර සපෞත්‍ර පරිවාර සමෙතං අධිදෙවතා ප්‍රත්‍යාධි දෙවතා සහිතං සූර්ය ග්‍රහස්‍ය ඊශාන්‍ය දිග්හාගේ පාණාකාර මණ්ඩලේ ප්‍රතිෂ්ඨිකං පූර්වාභිමුඛං බුධ ග්‍රහමාහ්වයාමි අධි දෙවතා අහ්වයාම ප්‍රත්‍යධි දෙවතා ආහ්වයාමි බුධ සුවඳ ධූපය යනු කොකුං, අගිල්, සුදු හඳුන්, රත් හඳුන් යන ඖෂධීය කුඩුවල මිශ්‍රණයකි.

  1. සැන්දෑ කාලයේ අබ තෙල් පහන් හතක් සුදු නෙළුම් මල් හතක් ඔසු පැන් බෝ සමිඳුන් වෙත පුදා තෙරුවන් වැඳ පහත සඳහන් ගාථාව 108 වරක් කියවන්න.

සබ්බ පාපස්ස අකරණං
කුසලස්ස උපසම්පදා
සචිත්ත පරියෝ දපනං
ඒතං බුද්ධානු ශාසනං

මෙම ශාන්ති කර්මය පිළිවෙළින් දින 09ක් කරන්න.

  1. බදාදා දවසක ගුණවත් වැඩිහිටියන් හට ඔසුපැන් දානයක් දෙන්න.
  2. කේන්ද්‍ර හිමිකරුවා බෞද්ධයෙකු නම් ඔහු කරන ආගමික වතාවත්වලින් පසු පහත සඳහන් කවිය 09 වරක් කියවන්න.

අමත නිවන් මඟ තිලොවට පහදා
සැපත නිවන් රස ලැබදී නොමදා
සු-ගත සුගත මුනි තෙද බල විහිදා
බුධ ග්‍රහ අපලය දුරලන් සැමදා

  1. පහත සඳහන් ග්‍රහ බල ශක්තියක් කිරීමෙන් බුධ අපලය දුරු වේ. එබැවින් එවැනි ශාන්ති බලියක් කිරීමට උපදෙස් දෙන්න.

I. බුධ දිෂ්ටිය

II. බුධ සක

III. සර්ව මංගල්‍යය

IV. විෂ්ණු කල්‍යාණය

V. සර්ව රූප මංගල්‍යය

VI. සිරිසෙත් මංගල්‍යය

VII. බුද්ධ රූප මංගල්‍යය

VIII. ගෞඩි රාක්ෂය

IX. සංග සාර මංගල්‍යය

බුධගේ අපලයට පිළියම්

හේළි සරත් රාජකරුණා,
විද්‍යා ජ්‍යොතිෂ,
දලුග්ගල, රඹුක්කන.
දුරකථන 035-2262837

advertistmentadvertistment
advertistmentadvertistment