5ක් නිදොස්කොට නිදහස්
2018 වසරේ දී බේරුවල ආශ්‍රිත මුහුදු සීමාවේදී බහුදින ධීවර යාත්‍රාවකින් හෙරොයින් මත්කුඩු කිලෝ ග්‍රෑම් 179කට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කිරීමේ දී අත්අඩංගුවට ගෙන හෙරොයින් මත්කුඩු සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරීමේ චෝදනා ලබා සිටි විත්තිකරුවන් තුන්දෙනකුට කොළඹ මහාධිකරණය මරණීය දණ්ඩනය නියම කළේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි තවත් විත්තිකරුවන් පස්දෙනකු නිදොස් කොට නිදහස් කිරීමට ද කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා නියෝග කළේය.
2018 වසරේ දෙසැම්බර් මස පස් වැනිදා බේරුවල ධීවර වරාය ආශ්‍රිත මුහුදු තීරයේ දී හෙරොයින් මත්කුඩු කිලෝග්‍රෑම් 179 යි ග්‍රෑම් 180කට අධික ප්‍රමාණයක් බහුදින ධීවර යාත්‍රාවකින් ප්‍රවාහනය කරමින් සිටියදී විත්තිකරුවන් 08දෙනකු නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගෙන තිබුණි.
ඉන් අනතුරුව හෙරොයින් මත්කුඩු සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීම යන චෝදනා යටතේ විත්තිකරුවන් අටදෙනකුට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කළේය.
දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කළ කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා සඳහන් කළේ මේ විත්තිකරුවන් අතුරින් තුන්දෙනකුට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබෙන චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු වී තිබෙන බවය.
දඬුවම් නියම කිරීමට පෙර අධිකරණය හමුවේ කරුණු දැක්වූ එම විත්තිකරුවන් තුන්දෙනා කියා සිටියේ තමන් නිර්දෝෂී පුද්ගලයින් බවය.
ඒ අනුව තමන් නිදොස් කොට නිදහස් කරන ලෙසත් ඔවුහු අධිකරණයෙන් ඉල්ලා සිටියහ.
එහෙත් එම විත්තිකරුවන් තුන්දෙනාට අදාළ චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු වී ඇති නිසා ඔවුන්ට මරණීය දණ්ඩනය නියම කරන බව විනිසුරුවරයා නියෝග කළේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි තවත් විත්තිකරුවන් පස්දෙනකු නිදොස් කොට නිදහස් කිරීමට ද අධිකරණය නියම කළේය.
ඒ. ජේ. ඒ. අබේනායක