විදේශ විනිමය රටට ගේන්න නව කුරුඳු කම්හලක් විවෘත කරයි

358

දෙහිඕවිට මහඔය වතුයායට අයත් ඩෙන්ස් වත්තේ ඉදිකළ නව කුරුඳු සැකසුම් කම්හල පෙබරවාරි 14 දින උත්සවාකාරයෙන් විවෘත කරනු ලැබීය.

ලෝක වෙළෙඳ පොළේ කුරුඳු සඳහා වැඩි ඉල්ලුමක් ඇතිවීමේ ප්‍රවණතාවයක් මත විදේශ විනිමය ඉපයීම ද මූලික අරමුණක් කොටගෙන ලලාන් සමාගම මගින් කෝටි ගණනක් පමණ වැයකර මෙම කම්හල ඉදිකර තිබේ .

මෙරට ඉදිකර ඇති විශාලතම කුරුඳු සැකසුම් කම්හල්වලින් එකක් වන මෙම කම්හල තුළ නවීන තාක්ෂණය හා පහසුකම් මැද සියලු කුරුඳු ශ්‍රේණි සැකසීම ඇසුරුම් කිරීම හා කුරුඳු පවුඩර් නිෂ්පාදනය කිරීම ද දැනට සිදුකෙරේ.

එහිදී ඒ සඳහා අවශ්‍ය කුරුඳු වතු සමූහයේ වගාකර ඇති කුරුඳු වගාව මගින් ලබාගැනීමට කටයුතු කර ඇති අතර ඉදිරියේ දී ආශ්‍රිත ගම්මානවල ද ව්‍යාප්ත කර ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීම ද අරමුණක් වී තිබේ.

කුරුඳු වගාව ඇතුළු විවිධ ව්‍යාපෘතිවලින් විදේශ විනිමය උපයා මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීම මෙන්ම රැකියා ආදිය සම්පාදනය කර ජනතාව සවිබල ගැන්වීම ද ලලාන් සමාගමේ අපේක්ෂාව වී ඇතැයි මෙහි දී පැවැති උත්සව සභාවේ දී අදහස් දක්වමින් ලලාන් සමාගමේ සභාපති ලලිත් හපන්ගම මහතා පැවසීය.

කම්හල විවෘත කිරීමේ අවස්ථාවට ලලාන් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ පහන් හපන්ගම, නවම් හපන්ගම, රවි ජයතිලක, සාමාන්‍යාධිකාරි ඇල්බට් පීරිස් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි නිශාන්ත සෙනෙවිරත්න හා මහඔය වතුයායේ සමූහ ජ්‍යෙෂ්ඨ කළමනාකරු අමල් කුරුප්පු යන මහත්වරු ඇතුළු එම සමාගමේ හා රාජ්‍ය අංශයේ උසස් නිලධාරිහු පිරිසක් ද සහභාගි වූහ.

රුවන්වැල්ල – විමලරත්න සමරක්කොඩි

advertistmentadvertistment
advertistmentadvertistment