මැති ඇමැතිලා 92 කගෙන් ලක්ෂ 79 ක පොල්ලක්!

193

රජයේ බංගලා සහ ලොරිස් පටුමගේ නිවාසවල පදිංචිව සිටි මැති ඇමැතිවරුන් 92දෙනකුගෙන් හිඟ නිවාස කුලී ලෙස රුපියල් හැත්තෑනව ලක්‍ෂ පහළොස් දහස් නවසිය අටක (රු.7,915,908)ක මුදලක් අයවීමට ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සඳහන් වේ.

මින් රුපියල් පනස්එක් ලක්‍ෂ අනූඑක්දහස් පනහක් (රු.5,191,050) 2012 වර්ෂයේ සිට 2020 දක්වා කාලය තුළ මෙම බංගලාවල පදිංචිව සිටි මැති ඇමැතිවරුන් 72දෙනකුගේ හිඟ නිවාස කුලී බව ද විගණනය මගින් අනාවරණය කර ඇත.

හිඟ කුලී ආදායමෙන් රුපියල් පන්කෝටි අසූහත් ලක්‍ෂ අසූඑක් දහස් අටසිය අනූපහක් (රු.58,781,895) එනම් සියයට 31ක් රජයේ බංගලා හා ලොරිස් පටුමගේ නිවාස කුලී බව ද විගණන වාර්තාවේ සඳහන් වෙයි. ඉකුත් වර්ෂයේ මෙහි හිඟ නිවාස කුලී වශයෙන් එකතුකර ඇත්තේ රුපියල් විසිලක්‍ෂ හයදහස් පන්සිය අසූහතකි. (රු.2,006,587) එය ප්‍රතිශතයක් වශයෙන් ගත් කල සියයට තුනකි.

මැති ඇමැතිවරුන්ගේ හිඟ නිවාස කුලී සම්බන්ධයෙන් ප්‍රධාන ගණන්දීමේ නිලධාරියා විසින් විගණනයට සඳහන් කර ඇත්තේ රජයේ මැති ඇමැතිවරුන්ගෙන් අයවිය යුතු හිඟ නිවාස කුලී කඩිනමින් නිරවුල් කරන ලෙස ලිපි මගින් දැනුවත් කොට ඇති බවය. ඇතැම් මන්ත්‍රීවරුන් මිය යෑම, ඇතැම් මන්ත්‍රීවරුන්ගේ පුද්ගලික ලිපිනයන්වල කිසිවකු නොමැති නිසා ලිපි ආපසු පැමිණීම, දුරකථන ඇමතුම්වලට නිසි පරිදි ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් හිඟ නිවාස කුලිය අයකර ගැනීම ප්‍රමාද වී ඇති බව ද කියා තිබේ. එමෙන්ම ඇතැම් ඇමැතිවරුන් කටයුතු කළ අමාත්‍යාංශවලින් නිවාස කුලී අයකර ගෙන ඇති බව හිටපු ඇමැතිවරුන් දන්වා තිබුණ ද අමාත්‍යාංශය වෙනස්වී ඇති බැවින් තොරතුරු සොයා ගැනීමේ ප්‍රමාදයන් පැනනැඟී ඇති බවද ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා විසින් විගණනයට සඳහන් කොට ඇත. රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය සම්බන්ධයෙන් 2021 වර්ෂයට අදාළව මෙකී විගණන වාර්තාව නිකුත් කර තිබිණි.

ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි – ගාල්ල

advertistmentadvertistment
advertistmentadvertistment