සිංහපුරදී බසය ගසක හැපී 30ක් රෝහලේ 4 දෙනෙකුට බරපතළයි

277

වැලිකන්ද – සිංහපුර ප්‍රධාන මාර්ගයේ වැලිකන්ද සිංහපුර මුතුඇල්ල හංදිය 8 කණුව ප්‍රදේශයේදී ඊයේ (30දා) උදේ 6.50 පමණ පෞද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක වැදී අනතුරට ලක්වීමෙන් එම බස් රථයේ ගමන්ගත් 30 දෙනකු තුවාල ලබා රෝහල්ගත කර තිබිණි.

මෙලෙස තුවාල ලබා ඇත්තේ වැලිකන්ද සිට සිංහපුර ප්‍රදේශයේ පෞද්ගලික කර්මාන්ත ශාලාවක සේවයට යමින් සිටි පිරිසකි. එම බස් රථය අදාළ සමාගමට ම අයත් පෞද්ගලික බස් රථයකි.

තුවාල ලැබූ 04 දෙනකුගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. අනතුරින් තුවාල ලැබූවන් 30 දෙනකු වැලිකන්ද මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා 17 දෙනකු පොලොන්නරුව මහ රෝහලට මාරු කර යවා ඇත. 7 දෙනෙක් වැලිකන්ද මූලික රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබති. අනෙක් තුවාලකරුවන් ප්‍රතිකාර ලබා වැලිකන්ද රෝහලෙන් පිටව ගොස් ඇති බව වැලිකන්ද පොලිසිය පවසයි.

පොලොන්නරුව මහ රෝහලට මාරු කර යවා ඇත්තේ තුවාල ලැබූ කාන්තාවන් 17 දෙනෙකි. ඔවුහු එහි නේවාසික ප්‍රතිකාර ලබති. බස් රථයේ රියැදුරුගේ අපරීක්ෂාකාරී හා අධික වේගය හේතුවෙන් රථය පාලනය කර ගත නොහැකිව මාර්ගය යෙන් ඉවතට පැන ගසක ගැටීමෙන් මෙම අනතුර සිදුවී තිබෙන බව පොලිසිය කියයි. පොලොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන්ත ද සිල්වා මහතාගේ උපදෙස් පරිදි වැලිකන්ද පොලිසිය ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්. එම්. රත්නායක, පොලිස් සැරයන් (56609) රත්නමලල මහතා ඇතුළු පොලිස් නිලධාරීහු අනතුර පිළිබඳ පරීක්ෂණ පවත්වති.

ඇලහැර – නිශ්ශංක වෙලගෙදර

advertistmentadvertistment
advertistmentadvertistment