පහර කා මියගිය කළුතර රැඳවියාගේ මරණය ගැන විවෘත තීන්දුවක්

60

පහරදීමක් හේතුවෙන් රෝහල් ගතකර සිටියදී මියගිය කළුතර බන්ධනාගාර රැඳවියාගේ මරණය සම්බන්ධයෙන් ඊයේ (27 දා) කළුතර නාගොඩ ශික්ෂණ රෝහලේ පැවැත්වූ පශ්චාත් මරණ පරීක්ෂණයේදී විවෘත තීන්දුවක් ලබාදී තිබේ.

කළුතර නාගොඩ ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි ශ්‍රියන්ත අමරරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා ඇත.

කළුතර, මල්වත්ත බන්ධනාගාරයේ රඳවා සිටියදී මෝල්කාව, කරවිට ප්‍රදේශයේ පදිංචිව සිටි 46 හැවිරිදි පී.ජී. සුනිල් නමැත්තා පහර කෑමක් හේතුවෙන් කළුතර නාගොඩ ශික්ෂණ රෝහලේ 5 වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී පෙරේදා (26) අලුයම මියගොස් තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් කළුතර බන්ධනාගාරය වෙතින් දැනුවත් කිරීමෙන් පසු කළුතර උතුර පොලිසිය ද පෙරේදා පරීක්ෂණයක් ආරම්භ කළේය.

ඒ අනුව කළුතර උතුර අපරාධ අංශ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් කළුතර බන්ධනාගාරය වෙත ගොස් පරීක්ෂණ ආරම්භ කර ඇත.

කළුතර අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන් ද බන්ධනාගාරය වෙත ගොස් ස්ථානීය පරීක්ෂණයක් සිදුකළ අතර, මහෙස්ත්‍රාත් පරීක්ෂණයක් ද සිදුකර ඇති බව පොලිසිය කීය.

මියගොස් ඇති තැනැත්තා යතුරුපැදි සොරකමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමෙන් පසු කළුතර බන්ධනාගාරයේ සී වාට්ටුවේ රඳවා සිටියදී ඉකුත් 24 දා පස්වරුවේ අනතුරට ලක්ව ඇති බව සඳහන් වේ. මියගොස් ඇති තැනැත්තා බන්ධනාගාරයට ඇතුළත් කළ දිනයේ සිට නොසන්සුන්කාරී අන්දමින් හැසිරී ඇති බව බන්ධනාගාර නිලධාරීහු සඳහන් කරති.

මියගොස් ඇති තැනැත්තා තමා රඳවා සිටි සී වාට්ටුවෙන් පිටතට පැමිණීමට උත්සාහ ගෙන වාට්ටුව ඉදිරිපිට දී තවත් රැඳවියන් කිහිපදෙනෙකු සමග පොරබැදීමක් සිදුව ඇති බවත්, ඔහු ඇදවැටී ඇති බවත් සඳහන් වෙයි. එහි ආරක්ෂක කැමරාවක් සවිකර ඇතත් එය මේ වනවිට අක්‍රීය තත්ත්වයේ පවතින බව ද පොලිසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් වගකිව යුතු බන්ධනාගාර නිලධාරීන්ගෙන්, සිරකරුවන් සහ රිමාන්ඩ් බන්ධනාගාරයේ පසුවන රැඳවියන්ගෙන් ද පොලිසිය ප්‍රකාශ ලබාගෙන තිබේ.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රසන්න බ්‍රාහ්මණගේ, සහකාර පොලිස් අධිකාරී සුනෙත් ශාන්ත යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි, ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දමිත් ජයතිලක මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.එච්.ඩී. වික්‍රමාරච්චි සහ සැරයන් ඩබ්ලිව්.ඒ.පී. ජයලාල් (42259) ඇතුළු නිලධාරීහු පරීක්ෂණ පවත්වති.
වාද්දුව සුමිත් පොතුපිටිය

advertistmentadvertistment
advertistmentadvertistment