මසකට ඩොලර් 360000ක් බැගින් ගෙවන්න ගුවන් යානා 4ක් – ශ්‍රීලන්කන් එකට තවත් යානා 10 ක් ඕනෑ

297

– සභාපති අශෝක් පතිරගේ

ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ මෙහෙයුම් කටයුතු සාර්ථකව පවත්වාගෙන යෑමට නම් තවත් ගුවන් යානා 10ක් අවශ්‍ය වන බව එම සමාගමේ සභාපති අශෝක් පතිරගේ මහතා පවසයි.

ඒ අනුව කල්බදු පදනමට ඒ – 330 වර්ගයේ ගුවන් යානා හතරක් ලබා ගැනීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබාගත් බව පැවසූ සභාපතිවරයා මසකට ඇමරිකානු ඩොලර් 360,000ක් බැගින් ගෙවීමේ පොරොන්දුව මත එම ගුවන් යානා ලබා ගැනීමට කටයුතු යොදමින් සිටින බවද කීවේය. කෙසේ වෙතත් ටෙන්ඩර් පටිපාටිය හා අනෙකුත් ප්‍රසම්පාදන ක්‍රියාවලිය සඳහා වසර 1 1/2ක් පමණ ගත වන බැවින් මෙම ගුවන් යානා 4න් 2ක් වෙනත් රටක ගුවන් සේවයක් මගින් මිලදී ගෙන ඇති බවද පතිරගේ මහතා ඊයේ (03දා) වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී කීවේය.

රජය මගින් ශ්‍රී ලංකාවේ ගුවන් සේවය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට තීරණය කර ඇති නමුත් එහෙත් මෙම ගුවන් මෙහෙයුම් පවත්වා ගෙන යෑමට මෙම ගුවන් යානා ලබාගත යුතු බවද පැවසූ සභාපතිවරයා මේ වනවිට ලෝකයේ ගුවන් යානා හිඟයක් පවතින බවත් ඊට සාපේක්‍ෂව විශාල ඉල්ලුමක් ගුවන් යානාවලට ඇති නිසා කල්බදු පදනමට ගුවන් යානා 4ක් ශ්‍රීලන්කන් ගුවන් සේවයට ලබා ගැනීම විශාල ජයග්‍රහණයක් බවත් මෙම මාධ්‍ය හමුවේදී කීවේය.
කමල් බෝගොඩ


advertistmentadvertistment