මළ ගෙදර ගොස් එනවිට හොඳටම සූර් වූ සිව්දෙනා පැමිණි ත්‍රිරෝදය අනතුරට අයෙක් මරුට

57

මැදවච්චිය, කෝණකුඹුගොල්ලෑව ප්‍රධාන මාර්ගයේ පසුගිය දිනෙක රාත්‍රියේ සිදු වූ ත්‍රී රෝද රථ අනතුරකින් එක් අයකු මියගොස් රියදුරු ඇතුළු ගමන්ගත් තවත් තිදෙනකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇති බව මැදවච්චිය පොලිසිය පැවසීය.

මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ මහදන්ගස්වැව, තන්තිරිමලේ ලිපිනයේ පදිංචිව සිටි විජේරත්නගේ රංජිත් විජේරත්න නමැති 39 හැවිරිදි තරුණයෙකි. එදින දහවල් ත්‍රී රෝද රථයකින් මැදවච්චිය, තුලාවෙල්ලිය ගම්මානයේ පිහිටි අවමංගල්‍ය උත්සවයකට සහභාගි වීමට මෙම අනතුරට ලක්වූ සිව්දෙනා පැමිණ ඇත. අනතුරුව එහි පැමිණි එක් අයෙකුගේ සොහොයුරියක් මැදවච්චිය, කෝණකුඹුගොල්ලෑව ගම්මානයෙන් විවාහ වී සිටින බව පවසා එම ඥාති නිවස වෙත මෙම පිරිස ගොස් ඇත.

එහිදී රාත්‍රියේ මත්පැන්වලින් සංග්‍රහ වී අධික ලෙස මත්පැන් පානය කරමින් සිටි රියදුරු ඇතුළු පිරිස නැවත තන්තිරිමලේ සිය නිවාස වෙත යෑමට පිටත්ව ඇත.

අනතුරුව කෝණකුඹුගොල්ලෑව මාර්ගයේ අධික වේගයෙන් ත්‍රී රෝද රථය ධාවනය කළ රියදුරුහට එහි වංගුවක් සහිත ස්ථානය ගැනීමට නොහැකි වී ත්‍රී රෝද රථය පාලනය කර ගැනීමට නොහැකිව ප්‍රධාන මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ අධි බැලැති විදුලි කණුවක ගැටී ඇත. එම අනතුරින් පසුපස දකුණු පැතිකඩේ වාඩි වී ගමන් කළ විජේරත්නගේ රංජිත් විජේරත්න නමැති 39 හැවිරිදි තරුණයා එම ස්ථානයේම මිය ගොස් තිබුණි. ප්‍රදේශවාසීන්ගේ හා එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරින්ගේ උදවු උපකාර මත තුවාලකරුවන් තිදෙනා මැදවච්චිය රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී මූලික ප්‍රතිකාර ලබා දීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත තිදෙනාම මාරු කර යැවීමට රෝහල් බලධාරීන් කටයුතු කර ඇත. එම තිදෙනා මේ වන විට අසාධ්‍ය තත්ත්වයේ පසුවන බව රෝහල් ප්‍රකාශකයකු පැවැසීය.

මෙම අනතුර අධික ලෙස මත් පැන් පානය කරමින් රිය ධාවනය සිදු කිරීම හේතුවෙන් හා එහිදී රථය පාලනය කර ගැනීමට නොහැකිව සිදුව ඇති බව පොලිසිය කියයි. සිදුවීම පිළිබඳ වැඩිදුර පරීක්ෂණ මැදවච්චිය පොලිස් ස්ථානාධිපති ආර්.එම්.අයි.බී. රත්නායක මහතා ප්‍රමුඛ රථවාහන අංශය සිදු කරයි.

මැදවච්චිය – ගයාන් උතුරුමැද

advertistmentadvertistment
advertistmentadvertistment