මැතිවරණ කාලෙට වයි-ෆයි දෙනවා යැයි සිහින මවා බලය ලැබුණු පසු මහ දවාලේ සොරා කනවා – විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස

45

වත්මන් රජය අපේ රට සුහුරු රටක් බවට පත් කරන්නේ සුහුරු පක්ෂයක් ගොඩනැගීම තුළින් යැයි පවසන නමුත් සමගි ජන බලවේගය සුහුරු රටක් ගොඩ නගන්නේ සුහුරු අධ්‍යාපනය, සුහුරු පාසල, සුහුරු සිසුවා, සුහුරු තාරුණ්‍යය, සුහුරු පුරවැසියා, සුහුරු රට සහ සුහුරු ගෝලීය පුරවැසියා තුළින් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 90 වැනි අදියර යටතේ ඉකුත් 07 වැනිදා මිනුවන්ගොඩ අල් අමාන් මුස්ලිම් මහා විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීමේ අවස්ථාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා මෙසේද කීවේය. ඉන්දියාව 2020 නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් ආරම්භ කළා. ඒ තුළ තොරතුරු තාක්ෂණ විද්‍යාගාර 10,778ක් සහ සුහුරු පන්ති කාමර 42,311ක් 2021 වසරේ ක්‍රියාත්මක කිරීමට ඉන්දීය රුපියල් කෝටි 1000ක් වෙන් කර තිබේ. බංගලාදේශය වැනි රටවල් පසුගිය වසරේ සුහුරු පන්ති කාමර 1000ක් ආරම්භ කළා. මෙම රටවල් මේ ආකාරයෙන් කටයුතු කරන විට අපේ රටේ අධ්‍යාපනයේ කඩාවැටීමක් සිදුව තිබෙනවා.

2025 පුරෝකථනය කර ඇති ආකාරයට ඇමෙරිකාවේ තොරතුරු තාක්ෂණ රැකියා වෙළෙඳපොළේ වටිනාකම ඇ. ඩොලර් බිලියන 398කි.සෑම වසරකම තොරතුරු තාක්ෂණ රැකියා ලක්ෂ 3ක් බිහි වනවා. මේ සඳහා වැඩිපුරම යොමු වන්නේ ඉන්දියාවෙන්. ඉන්දියාවේ විවිධ ප්‍රාන්ත ඇමතිවරු මීට වසර ගණනාවකට පෙර එමට තොරතුරු තාක්ෂණ විප්ලවය ප්‍රවර්ධනය කරන්න සහයෝගය දුන්නා. අපේ රටේ මැතිවරණ සමයේ පමණක් වයි-ෆයි, පරිගණක දෙන බවට සිහින ලෝක මැව්වත් බලයට ලැබුණු පසු මහදවාලේ රාජ්‍ය දේපල සොරා කෑම සිදුකරනවා.

මෙම සොරා කන කතන්දරය නතර කර නව ගමනක් නිර්මාණය කළ යුතුයි. එම ගමන නිර්මාණය කිරීමට නම් දැවැන්ත දූෂණ විරෝධී වැඩපිළිවෙළකට යොමුවිය යුතුයි. විනිවිදභාවයෙන් විවෘතව සෑම ටෙන්ඩර් ගනුදෙනුවක් නිර්මාණය කර එම ටෙන්ඩර් ගනුදෙනු පිළිගත් දේශපාලන පක්ෂවලට විවෘත කර ඕනෑම අවස්ථාවක ඒවා පරිශීලනය කිරීමට අවස්ථාව ලබා දිය යුතුයි. ඒ තුළින් රට තුළ සමානාත්මතාව ඇති කළ හැකියි.

රටක් ලෙස ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීමට, ව්‍යාපාර දියුණු කිරීමේ හැකියාව ජනතාවට ලබා දීම තුළින් සෞභාග්‍ය සම්පන්නභාවය ලබා දිය යුතුයි. සමගි ජන බලවේග රජයක් තුළ දරුපරපුර වෙනුවෙන් හොඳ අනාගතයක් රටක් බිහි කරනවා. අනාගත දරු පරපුර වෙනුවෙන් හොඳ රටක් ශක්ති සම්පන්න දේශයක් දායාද කරනවා. රට විනාශ කළ ආර්ථික ත්‍රස්තවාදීන් නීතිය හමුවට ගෙනවිත් ඔවුන් නායකත්වය ගෙන ක්‍රියාත්මක කළ ජාවාරම්කාරි ක්‍රියා සියල්ලකටම වන්දි ගෙවීමට සිදුවනවා.

එක පාසලක් විවෘත වෙනවා යනු සිරගෙවල් දහසක් වැසීමක් වැනිය යනුවෙන් කතාවක් තියෙනවා. රටේ පාසල් 800ක් වැසී ගොස් ඇති තත්ත්වයක් උඩ අලුතින් හිරගෙවල් කීයක් නිර්මාණය වේද කියා සිතාගත නොහැකියි. යුනිසෙෆ් ආයතනයේ සමීක්ෂණයකට අනුව වයස අවුරුදු 17ත්-18ත් අතර වියේ අධ්‍යාපනය ලබන දරුවන් ලෙස එම වයස් ප්‍රමාණයෙන් දරුවන්ගෙන් 40%ක් පමණ සිටීම බරපතළ තත්ත්වයක්. සිසුදරුවන් 60%ක් වයස අවුරුදු 18ට පෙර අධ්‍යාපනය අත්හරිනවා.

සමීක්ෂණවලට අනුව 2023 නොවැම්බර් මස වනවිට ගෘහමූලික පවුලක මාසික වියදම ලෙස රුපියල් 177,000ක් අවශ්‍ය බවත් රටේ ජනගහනයෙන් 50%කට වැඩි ප්‍රමාණයකට පෝෂ්‍යදායී ආහාර වේලක් නොමැති බවත් රටේ 50%ක් දරිද්‍රතා රේඛාවෙන් පහළ ජීවත් වන බවත් දූදරුවන් පෝෂණය කරන්න අධ්‍යාපනය ලබා දෙන්න අතිවිශාල කැපකිරීමක් සිදු කරන බවත් හෙළිවී තිබෙනවා. එබැවින් අඳුරට සාප නොකර එක පහනක් හෝ දල්වා අධ්‍යාපන සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මුහුණ දෙන ගැටලුවලට කිසියම් හෝ සහනයක් ලබා දෙන්න සමගි ජන බලවේගය කටයුතු කර තිබෙනවා.

advertistmentadvertistment
advertistmentadvertistment