විජයග්‍රණයේ දවස අදයි

387

කොටි නායක ප්‍රභාකරන් මරණයට පත්වී මෙරට බෙදුම්වාදී ත්‍රස්තවාදය අවසන් වන්නේ මීට වසර 13 කට පෙර අද වැනි දිනකය. ඒ 2009 මැයි 19 වැනිදාය.

කොටි නායක ප්‍රභාකරන්ට සිය මරණීය උණ්ඩය වැදී තිබුණේ නළලේ වම් පැත්තට වන්නටය. අවසන් මෙහෙයුමේදී විජයබා රෙජිමේන්තුවේ භටයකුගේ වෙඩි ප්‍රහාරයකින් ප්‍රභාගේ හිස සුනුවිසුණු විය. මැයි 17 වැනිදා වන විට නන්දිකඩාල් කලපුවේ කණ්ඩායම් තුනක් ලෙසට එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත නායකයෝ ස්ථානගත වී සිටියහ. බාබු හා සුසෙයි එක් කණ්ඩායමක් ලෙසත්, පොට්ටු අම්මාන් ඇතුළු පිරිස තවත් කණ්ඩායමක් ලෙසත්, ප්‍රභාකරන් ඇතුළු පිරිස තවත් කණ්ඩායමක් ලෙසත් කලපුව අවට ස්ථානගත වී සිටියහ. එහෙත් ප්‍රභාකරන්ගේ පණ සුන් සිරුර 19 වැනිදා පෙරවරු 10ට පමණ නන්දිකඩාල් කලපුව අසල වැටී තිබියදී හමුදා සෙබළුන් විසින් සොයාගෙන තිබිණි. එසේම ප්‍රභාකරන්ගේ බිරිඳ මදිවාදිනි මෙන්ම දියණිය ද්වාරකාගේ සිරුරුත් පසුව සොයා ගැනීමට හැකිවිය. වැඩිමහල් පුතා වන ත්‍රස්තවාදී චාල්ස් ඇන්තනීගේ දේහයත් මැයි 17 වැනිදා වන විටම සොයා ගෙන තිබිණි.

විජයග්‍රණයේ දවස අදයි

2006 වසරේ ජුලි 21 වැනිදා මාවිල්ආරු සටනින් ආරම්භ වූ හතරවැනි ඊළාම් සටන අවසන් වන්නේ ප්‍රභාකරන්ගේ මරණයෙනි.

2006 – 2007 – 2008 වසරවලදී සිලාවතුර – යෝධවැව – මන්නාරම – වාකරේ – කිලිනොච්චි – වවුනියාව – අම්පාර- ත්‍රිකුණාමලය – මඩකළපුව ප්‍රදේශවල මෙහෙයුම් කරමින් කොටි පරාජය කිරීමට අපේ යුද, නාවික, ගුවන් හමුදා කටයුතු කළහ. ආරක්ෂක අමාත්‍යාංශයේ තොරතුරු අනුව 2006 – 2009 කාලයේ අපේ ත්‍රිවිධ හමුදාවේ විශාල දියුණුවක් ඇති විය. 2006 සිට 2009 දක්වා යුද හමුදාවට පමණක් අලුත් සෙබළුන් 121141 ක් බඳවාගෙන තිබේ. ඒ අනුව 2006 – 2007 අතර කාලයේ අලුත් බළඇණි 100 ක් පමණ බිහිකර ඇත.

අද විජයග්‍රහණයේ 13 වැනි වසර සමරන මේ මොහොතේ යුද, ගුවන්, නාවික, සෙබළුන් මෙන්ම පොලිසියේ සහ සිවිල් ආරක්ෂක බළකායේ සියලු සාමාජිකයන් අභිමානයෙන් සිහිපත් කළ යුතුය. සමස්තයක් ලෙස වසර තිහක් පැවති යුද්ධයේ කුරිරු බව කියා පානුයේ ත්‍රිවිධ හමුදාවේ සෙබළුන් 29000 ක් පමණ මවුබිමේ ඒකීයභාවය රැකීම උදෙසා දිවි පුදා තිබීම ය. එමෙන්ම 2006 වසරේ සිට 2009 දක්වා යුද්ධයේදී දිවි පිදු සෙබළුන් ගණන 5900 කට ආසන්නය.

2009 අප්‍රේල් මුල් සතියේදී ඇතිවූ ගැටුමකින් කොටි සංවිධානය ලැබූ පරාජය ඔවුනගේ 33 වසරක ඉතිහාසයේ කිසි දිනක අත්විඳ නැත. සැබවින්ම කොටි නැවත නොනැඟිටින ලෙස පරාජය වුණේ ප්‍රකට ආනන්දපුරම් සටනේදීය. එය නූතන විජිතපුර සටන ලෙස දැක්විය හැකිය. ප්‍රභාකරන්ගේ මරණයට සති හයකට කලින් මේ දරුණු සටන ඇවිළී ගොස් කොටි සාමාජිකයන් 625 ක් මරණයට පත්වූ අතර ඔවුන්ගේ සිරුරුද හමුදාව අතට පත්විය.

ආනන්දපුරම් පිහිටා ඇත්තේ පුදුකුඩිඉරිප්පු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේය.

කොටි පරාජය කිරීම සඳහා හිටපු ජනපති මහින්ද රාජපක්ෂයන්ගේ සෘජු දේශපාලන නායකත්වය කියාපාන වඩාත් වැදගත්ම අවස්ථාව වූයේ 2009 අප්‍රේල් මස 24 වැනිදා ඒ වන විට කොටි සංවිධානය උතුරු පළාතේ ඉතාම කුඩා භූමි ප්‍රදේශයකට සීමා වූ අවස්ථාවය. ප්‍රභාකරන් බේරා ගැනීමේ අරමුණින් සටන් විරාමයක් යෝජනා කිරීමට බි්‍රතාන්‍ය විදේශ ලේකම් ඩේවිඩ් මිලිබෑන්ඩ් සහ ප්‍රංශ විදේශ ඇමැති බර්නාඩ් කුෂ්නර් ලංකාවට වහා පැමිණියහ. අඩුම තරමින් කොළඹදී හෝ විදෙස් ඇමැතිවරුන් හමු නොවූ මහින්ද රාජපක්ෂයන් සටන් විරාමය එකහෙළාම ප්‍රතික්ෂේප කරන බව ඇඹිලිපිටියේදී විදේශ ඇමැතිවරුන් දෙපළ හමුවේ නොපැකිළව ප්‍රකාශ කළේය. ත්‍රස්තවාදය පරාජය කිරීමට ආරක්ෂක ලේකම් ලෙස සුවිශේෂ කාර්යයක් ඉටු කළ වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙන්ම එවක හිටපු හමුදාපති වත්මන් ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහත්වරුන් මෙහිදී සිහිපත් කළ යුතුය. එසේම යුද ජයග්‍රහණය වෙනුවෙන් ක්‍රියාකළ ත්‍රිවිධ හමුදාව පොලිසිය, විශේෂ කාර්ය බලකාය, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවත් සිහි කළ යුතුමය. ත්‍රිවිධ හමුදා නායකයින්ගේ සිට සාමාන්‍ය සෙබළා දක්වා සියලු දෙනාට ගෞරවය පුද කළ යුතුය.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment