අරගලයට පහරදීම සනත් මිලාන් රිමාන්ඩ් – ගහපියව් – කුඩු කරපියව්,ඕකාව වටකර ගහපල්ලා කියමින් සනත්- මිලාන් පිරිස උසිගන්වලා – නි. සොලිසිටර් ජනරාල්

456

සැකකරුවන්ගේ වගකීම ගැටුම්  වැළැක්වීම වුවත් එසේ කළ බවක් පෙනෙන්නේ නෑ – මහෙස්ත්‍රාත් කියයි

පසුගිය 9 වැනිදා අරලියගහ මන්දිරය අසල හා ගාලුමුවදොර පිටියේ සාමකාමි විරෝධතාවක නිරතව සිටි විරෝධතාකරුවන් පිරිසකට අමානුෂික ලෙස පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළ හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ  ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක ඇතුළු සැකකරුවන් 4 දෙනකු ලබන 25 වැනිදා දක්වා රක්‍ෂිත  බන්ධනාගාරගත කිරීමට කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (18 දා) පස්වරුවේ නියෝග කළේය.

අරගලයට පහරදීම සනත් මිලාන් රිමාන්ඩ් - ගහපියව් - කුඩු කරපියව්,ඕකාව වටකර  ගහපල්ලා කියමින් සනත්- මිලාන් පිරිස උසිගන්වලා - නි. සොලිසිටර් ජනරාල්
සනත් නිශාන්ත හා මිලාන් ජයතිලක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඊයේ (18 දා) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මහෙස්ත්‍රාත් නියෝගය පරිදි රිමාන්ඩ් බන්ධනාගාරය වෙත රැගෙන ගිය අයුරු.
ඡායාරූපය – කමල් බෝගොඩ

ඕනෑම කොන්දේසියක් යටතේ එම සැකකරුවන් මුදාහරින ලෙසට ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් විවෘත අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඉල්ලා සිටි නමුත් විමර්ශන අවසන් වී නොමැතිව තිබියදී ඔවුන් ඇප මත මුදාහැරීමෙන් ඉදිරි විමර්ශනවලට බාධාවක් සිදුවන්නා සේම මහජන කැළඹීමක් ඇතිවිය හැකි බවට තම අධිකරණයට පෙනී යන්නේ යැයි විවෘත අධිකරණය හමුවේ පෙන්වා දුන් මහෙස්ත්‍රාත්වරයා එකී ඇප ඉල්ලීම් ප්‍රතික්‍ෂේප කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මේ නඩුවේ සිව්වන හා පස්වන සැකකරුවන්ගේ වගකීම විය යුතුව තිබුණේ එවැනි ගැටුම්කාරී තත්ත්වයක් ඇති කිරීමට මගපෑදීම නොව එවැනි ගැටුම් මැඬපැවැත්වීම වුවත් ඔවුන් එලෙස ගැටුම් වැළැක්වීමට පියවර ගෙන ඇති බවක් තම අධිකරණයට පෙනී නොයන්නේ යැයි ද එම නියෝගය නිකුත් කරමින් මහෙස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නේය. ඔවුන්ගේ එකී අනිසි ක්‍රියාදාමය පිළිබඳව ඇසින් දුටු සාක්‍ෂි ඇති බව පැමිණිල්ල පෙන්වා දී ඇති බවත් පැවසූ මහෙස්ත්‍රාත්වරයා 4 වන සැකකාර සනත් නිශාන්ත එම අරගල භූමිය තුළ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු සමඟ සුහදව කතාබස් කරමින් සිටි අයුරු ජනමාධ්‍ය මගින් දැකගන්නට හැකිවූ බවද කියා සිටියේය.

තවත් පිරිසක් සමඟ අරගල භූමියට කඩාවැදුන සැකකාර පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත ගහපියව්, කුඩුකරපියව් යනාදී ප්‍රකෝපකාරී අදහස් පවසමින් එකී ගැටුම්කාරී තත්ත්වය වර්ධනය කිරීමට සෘජුව දායකත්වයක් දක්වා ඇති බවට හා පස්වන සැකකාර මිලාන් ජයතිලක මන්ත්‍රීවරයා ද ඕකට වටකරල ගහපල්ලා යැයි ඔහුගේ අනුගාමිකයන්ට ප්‍රකාශ කර ඇතැයි ද නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් රියාස් බාරි මහතා අධිකරණයට පෙන්වා දුන්නේය.

සිය සේවාදායකයා ගාලුමුවදොර පිටියට ගොස් එහි සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් සමඟ සාකච්ඡා කොට උත්සාහ කරනු ලැබුවේ ගැටුම්කාරී තත්ත්වය මැඬපැවැත්වීමට බවත් අරගල භූමියේ සිටි විරෝධතාකරුවන් ඔහුට ද පහර දුන් අවස්ථාවේදී ඔහු ඉන් බේරාගෙන ඇත්තේ ඔහුගේ රැකවලුන් බවත් සනත් නිශාන්ත මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ යූ. ආර්. ද සිල්වා මහතා අධිකරණයට පෙන්වා දුන්නේය. විරෝධතාකරුවන්ට එල්ල කළ එම ප්‍රහාර මාලාව කිසිසේත්ම සුළුකොට නොතකන ලෙසත් එකී තත්ත්වය නිසා මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ඇතුළු අට දෙනකුගේ ජීවිත අහිමි වී රට දැඩි ආරවුලකට පත්ව ඇති බවත් මුල් පැමිණිලිකාර නීතිඥ කමල් චන්ද්‍රසිරි මහතා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ අතුල රණගල මහතා පැවැසීය.

ගාලුමුවදොර පිටියට ඇතුළුවිය හැකි මාර්ග වසා දමා පහරදුන් පිරිස ඇතුළුවීම වැළැක්වීමට පොලිසිය පියවර ගෙන තිබුණේ නම් එවැනි අවාසනාවන්ත තත්ත්වයක් ඇතිවීමට ඉඩ නොලැබෙන බවත් එහි සිටි දේශබන්දු තෙන්නකෝන් ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ වගකීම විය යුතුව තිබුණේ එය බවත් මහෙස්ත්‍රාත්වරයා එහිදී අධිකරණයට පෙන්වා දුන්නේය.

සිය සේවාදායකයන්ගේ ඡායාරූප රූපවාහිනි මාධ්‍ය මගින් මේ වනවිටත් ප්‍රචාරය කර ඇති බැවින් ඔවුන් වෙනුවෙන් පැවැත්වීමට නියමිත හඳුනාගැනීමේ පෙරෙට්ටුව අවලංගු කරන ලෙස හිටපු පළාත් සභා මන්ත්‍රී අමල් සිල්වා හා සැකකාර සුභාෂ් ප්‍රනාන්දු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු, නීතිඥ චානක අබේවික්‍රම යන මහත්වරුන් අධිකරණයෙන් ඉල්ලා සිටි නමුත් මහෙස්ත්‍රාත්වරයා එම ඉල්ලීම ප්‍රතික්‍ෂේප කළේය. ඔවුන් දෙදෙනා වෙනුවෙන් හඳුනාගැනීමේ පෙරෙට්ටුව ලබන 25 වැනිදා පැවැත්වීමට එහිදී දින නියම කළ මහෙස්ත්‍රාත්වරයා ඔවුන්ගේ වයසට හා හැඩරුවට සමාන පිරිසක් එදින පැවැත්වෙන හදුනාගැනීමේ පෙරට්ටුවට එක්කරගන්නා ලෙසට අධිකරණ පොලිස් නිලධාරිවරයාට නියෝග කළේය.

සැකකාර සනත් නිශාන්ත මන්ත්‍රීවරයා මින් පෙරද අධිකරණය විසින් නියම කරන ලද ඇප කොන්දේසි උල්ලංඝනය කර නඩු පවතින අයකු වන්නේ යැයි ද තුවාලකුරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දර්ශන කුරුප්පු මහතා එහිදී අධිකරණයට පෙන්වා දුන්නේය.

රජයේ අධිනීතිඥ අජිත් බණ්ඩාර, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණි ගිරිහාගම මෙනවිය සමඟ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් රියාස් බාරි මහතා නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතර අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති රවින්ද්‍ර අබේසේකර, ප්‍රධාන පොලිස් පරීක්‍ෂක එස්. සේනාධීර යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටියහ.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස්, උප සභාපති ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ යන මහත්වරුන් මෙන්ම කොළඹ මහාධිකරණ නීතිඥ සංගමයේ සභාපති නීතිඥ ලක්‍ෂ්මන් පෙරේරා, ලේකම් සරත් ඒකනායක යන මහත්වරු ද අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටියහ.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment