මිතුරා සමග එක්ව කපා කොටා බිරිඳ මරා සිරුර දින 5ක් නිවසේ සඟවා ගෙන ඉඳලා

1116

අයිස්වලට ඇබ්බැහි වුණු සැමියා සහ මිතුරා පොලිසියට භාර වෙති

සිය මිතුරා සමග එක්ව තියුණු ආයුධවලින් පහරදී කපා කොටා තම බිරිඳ ඝාතනය කර ඇගේ සිරුර තලංගම, තලාහේන ප්‍රදේශයේ පිහිටි නිවසේ දින 05ක් තිස්සේ සඟවාගෙන සිටි සැමියා සහ සැකකාර මිත්‍රයා ඊයේ (11දා) අලුයම තලංගම පොලිසියට භාර වී ඇත.

අධික ලෙස අයිස් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී සිටින සැකකාර සැමියා සහ ඔහුගේ මිතුරා බිරිඳ සමග ඇති කරගත් ආරවුලක් මත ඇය ඝාතනය කළ බව පොලිසියට පාපෝච්චාරණය කර තිබේ.

මෙසේ ඝාතනය කර ඇත්තේ 31 හැවිරිදි එක්දරු මවක වන, තාරුකා නදී කුමාරි නමැති කාන්තාව බව පොලිසිය පවසයි.

ඇගේ සිරුර තලංගම, තලාහේන ප්‍රදේශයේ පිහිටි කුලී නිවසේ සඟවා තිබියදී පොලිසිය විසින් ඊයේ සොයාගෙන තිබේ.

ඝාතනයට ලක්වූ බිරිඳ සහ තම දරුවා සමග සැකකාර සැමියා මෙම කුලී නිවසේ පදිංචියට පැමිණ ඇත්තේ මීට මාස දෙකකට පෙරය.

සැකකාර සැමියා වසර 7 – 8ක කාලයක සිට මිතුරකු ඇසුරු කරන අතර ඔහු ගලේවෙල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඉකුත් 06 වැනිදා සැකකාර සැමියා සිය මිතුරා ද සමග නිවසේ අයිස් පානය කරමින් සිටියදී බිරිඳ සමග ආරවුලක් ඇති කරගෙන ඇත.

පසුව සැමියාගේ මිත්‍රයා මන්නා පිහියකින් බිරිඳගේ හිසට පහරදී කපා කොටා ඇය ඝාතනය කර ඇති අතර ඇගේ සිරුර නිවසේ සඟවා තබා මොවුන් කිසිවක් සිදු නොවූ අයුරින් සිට ඇත.

ඊයේ අලුයම මොවුන් දෙදෙනා තලංගම පොලිසිය වෙත භාර වී මෙම කාන්තාවගේ ඝාතනය තමන් විසින් කළ බවට පාපෝච්චාරණය කර තිබේ.

සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. තලංගම පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යයි.
හේමන්ත රන්දුණු, ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්, මුල්ලේරියාව – ප්‍රියන්ත මද්දුමආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment