මිනුවන්ගොඩ ඝාතනයකට පැමිණි පාතාලයේ මුලා – ජුන්ඩා එස්ටීඑෆ් වෙඩිකා මරුට

651

එස්. ටී. එෆ්. නිලධාරියකුට තුවාල
කුරුඳුවාඩියේ පිය පුතු ඝාතනයේ හා සැලොන් එකේ මිනී මැරුමේ සැකකරුවෝ
ගිනි අවි සහ තියුණු ආයුධ සොයා ගැනේ
වෙඩි කන්න කලින් වෙඩි තියලා

මිනිස් ඝාතන ඇතුළු අපරාධ ගණනාවකට සම්බන්ධ පාතාල සාමාජිකයන් දෙදෙනකු මිනුවන්ගොඩ ජාපාලවත්ත ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකාය එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් ඊයේ (18 දා) අලුයම මරුමුවට පත්වී ඇත. මෙම පාතාල මැරයන් දෙදෙනා ඌරගහ ඉන්දික නමැති පාතාල නායකයාගේ ගෝලයන් බව හඳුනාගෙන තිබේ.

මිනුවන්ගොඩ ජාපාලවත්ත ප්‍රදේශයේ දෙමහල් නිවසක සැඟවී සිටි පාතාල සාමාජිකයන් සහ විශේෂ කාර්ය බළකාරයේ නිලධාරීන් අතර ඇතිවූ වෙඩි හුවමාරුවකින් පසු මොවුන් දෙදෙනා මෙසේ මියගොස් තිබේ.

ගාල්ල යක්කලමුල්ල ප්‍රදේශයේ කුරුඳු වාඩියකදී පියකු සහ ඔහුගේ සිව් හැවිරිදි පුත්‍රයා ඝාතනය කිරීම, ඌරගස්මන්හන්දිය ප්‍රදේශයේදී සැලුන් හිමියකු වෙඩි තබා ඝාතනය කිරීම ඇතුළු අපරාධ ගණනාවක් සම්බන්ධයෙන් මෙම පාතාල සාමාජිකයන්ට එරෙහිව චෝදනා එල්ලවී ඇති බව විශේෂ කාර්ය බළකාය පවසයි.

විශේෂ කාර්ය බළකාය එල්ල කළ ප්‍රහාරයෙන් මරුමුවට පත්ව ඇත්තේ ගාල්ල, පෝද්දල වල්පිට පදිංචි 37 හැවිරිදි ගමගේ නිලුක හෙවත් ‘මුලා‘ සහ පෝද්දල මුලන පදිංචි 34 හැවිරිදි විලාන් කෝසල හෙවත් ‘ජුන්ඩා’ යන අය බව හඳුනාගෙන ඇත.

මිනුවන්ගොඩ ඝාතනයකට පැමිණි පාතාලයේ මුලා - ජුන්ඩා එස්ටීඑෆ් වෙඩිකා මරුට
මුලා – ජුන්ඩා ඝාතනයකට පැමිණි අවස්ථාවක්

පියා සහ දරුවා ඝාතනය මෙන්ම සැලුන් එකක සිටි තරුණයා මරා දැමූ කුලී මිනීමරුවා ‘මුලා’ නමැත්තා බව පොලිසිය පවසයි. මෙම ප්‍රහාර දෙක සඳහාම යතුරුපැදිය පදවා ඇත්තේ ‘ජුන්ඩා’ නමැත්තා බව හඳුනාගෙන තිබේ.

මිනුවන්ගොඩ ප්‍රදේශයේ පුද්ගලයකු ඝාතනය කිරීම සඳහා පැමිණි මෙම පාතාල සාමාජිකයන් දෙදෙනා ජාපාලවත්ත ප්‍රදේශයේ දෙමහල් නිවසක සැඟවී සිටින බවට තොරතුරු පොලිස් විශේෂ කාර්ය බළකායේ බුද්ධි අංශ වෙත ලැබී තිබිණි.

ඒ අනුව විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරි නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ උපදෙස් මත ගෝනහේන කඳවුර භාර ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරි ජේ. ආර්. සේනාධීර බුද්ධි කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරි සාගර කුලසේකර ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම පාතාල අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත.

නිවස වටලද්දී එහි සිටි පාතාල සාමාජිකයන් වෙඩි ප්‍රහාර එල්ල කර ඇති අතර විශේෂ කාර්ය බළකාය ප්‍රතිප්‍රහාර එල්ල කර තිබේ. එම ප්‍රහාරයෙන් පාතාල සාමාජිකයන් දෙදෙනා මියගිය අතර විශේෂ කාර්ය බළකායේ නිලධාරියකු ද තුවාල ලබා තිබේ.

පාතාල අපරාධකරුවන් දෙදෙනා සතුව තිබී ටී. 56 ගිනි අවියක් මෙරට නිෂ්පාදිත ගල්කටස් අවියක් සහ තියුණු ආයුධ කීපයක් සොයාගෙන ඇත.

මෙම ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ පාතාල සාමාජිකයන් සිදුකළ වෙඩි තැබීමෙන් විශේෂ කාර්ය බළකායේ නිලධාරියකු ද තුවාල ලැබූ අතර එම නිලධාරියා රෝහල් ගත කර තිබේ.

හේමන්ත රන්දුණු, ටෝනි කරුණානායක

advertistmentadvertistment
advertistmentadvertistment