ධාවන ශූර ඩිලන්ත ලැම්බෝගිනි තරගාවලිය සඳහා මුදල් සොයයි

355

ජාත්‍යන්තර මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව, 2023 යුරෝපා ශූරතා සුපිරි ලැම්බෝගිනි තරගාවලිය සඳහා ඉදිරිපත් වන බවත්, ඒ සඳහා අවශ්‍ය මුදල් ‘ශ්‍රී ලාංකිකයන්ගෙන්’ ලබා ගැනීම සඳහා ප්‍රසංගයක් පැවැත්වීමට අවශ්‍ය කටයුතු සූදානම් කරමින් පවතින බවත් පැවසීය.

ඒ මහතා එසේ පැවසුවේ මීගමුව, ඒත්තුකාල, ටික් ටොක් හෝටලයේදී ඒ පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ වැඩසටහනකදීය.

මෙම 2023 යුරෝපා ශූරතා සුපිරි ලැම්බෝගිනි තරගාවලිය එළඹෙන මැයි මස සිට නොවැම්බර් මාසය දක්වා කාලය තුළ ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, බෙල්ජියම සහ ස්පාඤ්ඤය යන රටවල තරග 12 ක් පැවැත්වීමට නියමිතය.

එම තරගාවලියේ ජයග්‍රාහකයන් සහ එනම් යුරෝපා ආසියා සහ ඇමෙරිකානු තරගාවලිවල සුපිරි ලැම්බෝගිනි මෝටර් රථ ශූරතා දිනූ ජයග්‍රාහකයන් ඉතාලියේ පවත්වනු ලබන තරග දෙකකින් සමන්විත අවසාන මහා තරගාවලිය සඳහා සහභාගි වීමෙන්, ඔවුන් ලබා ගන්නා ලකුණු ප්‍රමාණය මත, අවසාන ලෝක ශූර ජයග්‍රාහකයන් තෝරා ගැනීමට නියමිතය.

මෙම තරගාවලිය ඇතුළු වාර්ෂික අනෙකුත් තරගාවලි සඳහා සහභාගි වීමට තමන්ට රුපියල් ලක්ෂ 2,000 ත් 2,500 ත් අතර මුදලක් වැය වන බවත්, එයින් තමන් රුපියල් ලක්ෂ 700 ක මුදලක් සොයා ගත යුතු බවත්, ඉතිරි මුදල ලැම්බෝගිනි මෝටර් රථ නිෂ්පාදන සමාගම විසින් තමන්ට ලබා දෙන බවත් පැවසීය.

මෙසේ තමන් විසින් සම්පාදනය කර ගත යුතු මුදල සොයා ගැනීම සඳහා හෙට (23 දින) සවස 05.00 ට විහාරමහාදේවී එළිමහන් රංග පීඨයේ දී මෝටර් රථ ප්‍රදර්ශනයක් සහ එදින රාත්‍රී 07.00 ට ‘රොක් ඇන්ඩ් රේස්’ නමින් සංගීත ප්‍රසංගයක් පැවැත්වීමටත් අවශ්‍ය කටයුතු සූදානම් කර තිබෙන බව ද පැවසීය.

මෙම මෝටර් රථ ප්‍රදර්ශනයට ඩිලන්ත මෝටර් රථ පැදවීම සඳහා මුලින්ම බලපත්‍ර ලබා ගත් යතුරු පැදියේ සිට ලෝකයේ ධාවන තරග සඳහා ඉදිරිපත් වන සුපිරි මෝටර් රථ එනම් (ෆෙරාරි, ලැම්බෝගිනි ඇතුළු) (Super Racing Car) ඉදිරිපත් කරනු ලබන අතර, සංගීත ප්‍රසංගය චිත්‍රාල් සෝමපාල, ළහිරු පෙරේරා, උමාරියා, කාංචනා අනුරාධි සහ ජය ශ්‍රී සහභාගි වන අතර ඉන්ෆිනිටි සංගීත කණ්ඩායම සංගීතය සැපයීම සිදු කිරීමට නියමිතය.

මෙම කලාකරුවන් නොමිලේ සහභාගි වෙමින් තමන් වෙත මෙම මුදල සම්පාදනය කර ගැනීමට සහාය වන බව ද ඩිලන්ත මාලගමුව මහතා අනාවරණය කළේය.

මේ සඳහා ප්‍රවේශ පත්‍ර පහ tickets.lk වෙබ් අඩවියෙන් හෝ එදින දොරටුවෙන් ලබා ගත හැකි බව ද පැවසීය. එසේම තමන් වසර 36 ක් තිස්සේ රටවල් 180 ක තරගාවලි සඳහා සහභාගි වී ඇති බවත්, එයින් තරග 60 ක් පමණ ජයග්‍රහණය කර ශ්‍රී ලංකා ජාතික ගීය එම රටවල දී වාදනය කිරීමට සලස්වා ඇති බවත්, තම මෝටර් රථ ධාවන තරග සඳහා භාවිත කරන මෝටර් රථයෙහි ලැම්බෝගිනි මෝටර් රථ නිෂ්පාදන සමාගමේ නම සහ ශ්‍රී ලංකා ජාතික කොඩිය සමග අනුග්‍රහය ‘නිහතමානී ශ්‍රී ලාංකිකයන්’ යනුවෙන් පමණක් සඳහන් කර ඇති බවත් පැවසීය.

තමන් සපුරා ගැනීමට අපේක්ෂිත බලාපොරොත්තු කීපයක් ඇති බවත්, ඒවා අතර මෙම සුපිරි ලැම්බෝගිනි ලෝක ශූරතාව දෙතුන් වතාවක් දිනා ගැනීම, මෙතෙක් දිනා නොගත් තරගාවලි කීපයක් ජයග්‍රහණය කිරීම ඒ අතර වන බව ද පැවසීය.

මෙම මාධ්‍ය දැනුවත් කිරීමේ වැඩසටහන ඩිලන්ගෝ රේසිං පදනම විසින් සංවිධානය කර තිබුණි.

කටුනායක – ටී. කේ. ජී. කපිල

advertistmentadvertistment
advertistmentadvertistment