මියගිය කතකට පණ දුන්න තේක්කවත්තේ ග්‍රාම නිලධාරි අත්අඩංගුවට

71

මියගොස් ඇති කාන්තාවක නමින් ජීවත්ව සිටින බව සඳහන් කරමින් ලියවිල්ලක් නිකුත් කළැයි කියන ග්‍රාම නිලධාරියකු අත්අඩංගුවට ගත් බව කළුතර කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන ඒකකය සඳහන් කරයි.

කළුතර තේක්කවත්ත ග්‍රාම නිලධාරි වසමේ මේ වනවිට රාජකාරි කරන ග්‍රාම නිලධාරියා මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කීය.

සැකකරු වස්කඩුව, මිල්ලගහන්දිය ප්‍රදේශයේ පදිංචිකරුවකු බවත් 52 හැවිරිදි වියේ පසුවන බවත් සඳහන් වෙයි. සැකකාර ග්‍රාම නිලධාරිවරයා 2021 වර්ෂයේ කළුතර ප්‍රාදේශයේ වෙනත් ග්‍රාම නිලධාරි වසමක රාජකාරි ආවරණය කරමින් සිටියදී මියගොස් ඇති කාන්තාවකගේ නමට ඇය ජීවත්ව සිටින බව සඳහන් කරමින් මුස්ලිම් දේවස්ථානයක මව්ලවිවරයකු අමතා ලිපියක් නිකුත් කර ඇති බව පොලිසිය සඳහන් කරයි.

එසේ නිකුත් කළ ලිපිය රැගෙන ගිය කාන්තාව එම ලිපිය ඉදිරිපත් කර වෙනත් පුද්ගලයකුට හිමිකම් ඇති කළුතර වෙට්ටුමකඩ ප්‍රදේශයේ ඉඩමක කොටසක් වෙනුවෙන් ව්‍යාජ ඔප්පුවක් සකස් කර ගෙන ඇති බව ද පොලිසිය සඳහන් කරයි.

ලිපිය නිකුත් කළ කාන්තාව තමා නොදන්නා බවත්, කුඩා දරුවන් දෙදෙනකු කැටුව පැමිණ ඉල්ලා සිටීමෙන් පසු ලිපිය නිකුත් කළ බවත් ග්‍රාම නිලධාරිගේ ප්‍රකාශවලින් හෙළිව ඇති බව ද පොලිසිය පවසයි. සැකකරු කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

කළුතර කොට්ඨාසය විශේෂ අපරාධ විමර්ශන ඒකකය පරීක්ෂණ සිදු කරති.

වාද්දුව ——-සුමිත් පොතුපිටිය

advertistmentadvertistment
advertistmentadvertistment