සර්ව පාක්ෂික හැලී බහු පාක්ෂික එනවා

201

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් යෝජනා කර ඇති සර්ව පාක්ෂික ආණ්ඩුව සම්බන්ධයෙන් දේශපාලන පක්ෂවල පවතින පරස්පර මතවාද හේතුවෙන් එය බහු පාක්ෂික ආණ්ඩුවක් බවට පත් වෙනු ඇතැයි ආණ්ඩුවේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව සර්ව පාක්ෂික ආණ්ඩුවක් ගැන ඒ ඒ දේශපාලන පක්ෂයන්හි මන්ත්‍රීවරුන් සහ ප්‍රධානීන් අතර මේ වන විට මතුව ඇති මතවාද හේතුවෙන් පුළුල් සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් අවිනිශ්චිත තත්ත්වයක් මතුව ඇතැයි ද එම ආරංචිමාර්ග සඳහන් කරයි.

ඇතැම් පක්ෂවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සර්ව පාක්ෂික ආණ්ඩුවක මැති ඇමැති ධුර ලබා ගැනීම සඳහා මේ වන විටත් කැමැත්තෙන් පසුවුවද ඇතැම් මන්ත්‍රීවරුන් සිය දේශපාලන අනාගතය දෙස බලමින් සර්ව පාක්ෂික ආණ්ඩුවකට එක්වීම පිළිබඳව බියකින් පසුවන බව ද එම ආරංචි මාර්ග පවසයි.

මේ අතර දෙමළ ජාතික සන්ධානය ඇතුළු දෙමළ පක්ෂ නියෝජිතයන් ජනාධිපතිවරයා යෝජනා කර ඇති සර්ව පාක්ෂික ආණ්ඩුවකට එක හෙළා කැමැත්ත පළ කිරීම සිංහල ජාතික සංවිධානවල සැකයට හේතු වී තිබේ.

දෙමළ පක්ෂවල බෙදුම්වාදී ඉල්ලීම්වලට රනිල් වික්‍රමසිංහ මහතාගේ කැමැත්ත හිමිවනු ඇතැයි යන බිය සිංහල ජාතික සංවිධානවලට ඇතිවී තිබෙන අතර එම තත්ත්වය ඇතැම් සුළු පක්ෂවලට ද ඇතැයි ඉහත දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

කෙසේ වෙතත් පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂයන්හි අනුමැතිය හමුවේ නම් වහාම සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපතිවරයා සූදානමින් සිටින අතර මේ වන විට ඉදිරිපත් කර ඇති 22 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදී සර්ව පාක්ෂික ආණ්ඩුවක් යනු කුමක් දැයි යන්න පැහැදිලිව දක්වා එවැනි ආණ්ඩුවක ඇමැතිධුර සංඛ්‍යාව ද දක්වා ඇතැයි වාර්තා වෙයි.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment