මියන්මාරයෙන් සහ රුසියානු-යුක්‍රේන යුද්ධයෙන් ශ්‍රී ලාංකිකයන් බේරාගන්න

41

විපක්‍ෂ මන්ත්‍රීන් තිදෙනකුගෙන් මෙහෙයුමක්

මියන්මාරයේ පරිගණක අපරාධකරුවන්ගේ සයිබර් කඳවුර තුළ බලහත්කාරයෙන් රඳවා ගෙන සිටින ශ්‍රී ලාංකික තරුණ තරුණියන් 49 දෙනා සහ රුසියානු යුක්‍රේන යුද්ධයට මැදිවී රුසියාවේ සිටින ශ්‍රී ලාංකික රණවිරුවන් බේරාගෙන යළි ශ්‍රී ලංකාව වෙත රැගෙන ඒමේ රාජතාන්ත්‍රික….

මෙහෙයුමක් සඳහා එම රටවල රාජතාන්ත්‍රික නිලධාරීන් සහ තෙවන පාර්ශවයන් සමග සාකච්ඡා කර වැඩපිළිවෙළක් සකස් කිරීම සඳහා විපක්ෂයේ මන්ත්‍රීවරුන් තිදෙනෙක් ඊයේ (27දා) අලුයම දින 10ක සංචාරයක් සඳහා කටුනායක ගුවන්තොටුපළෙන් තායිලන්තය බලා පිටත්ව ගියහ.

මෙම විපක්ෂ මන්ත්‍රී කණ්ඩායමට නීතිඥ වසන්ත යාපා බණ්ඩාර, ජේ. සී. අලවතුවල සහ සුජිත් සංජය පෙරේරා යන මන්ත්‍රීවරුන් ඇතුළත් වී සිටි අතර මොවුන් මියන්මාරයේ සහ රුසියාවේ දින 05 බැගින් ගත කරමින් මෙම බේරා ගැනීමේ මෙහෙයුම දියත් කිරීමට නියමිතය. මෙම විපක්ෂ මන්ත්‍රීවරුන් පිරිස ත්‍රෛනිකායික මහ නාහිමිවරුන්ගේ සහ විපක්ෂ නායකවරයාගේ ඉල්ලීම් රැගත් ලිපි රැගෙන මියන්මාරය සහ රුසියාව බලා පිටත්ව ගොස් තායිලන්තයේ සහ මියන්මාරයේ සංඝනායක හිමිවරුන් සහ රුසියාවේ රාජතාන්ත්‍රික නිලධාරීන් හමු වී ඒවා භාර දීමට නියමිතය.

මෙම සංචාරය පිළිබඳව වසන්ත යාපා බණ්ඩාර මන්ත්‍රීවරයා කටුනායක ගුවන්තොටුපළේ දී මාධ්‍යවේදීන් හමුවේ මෙසේ පැවසීය.

“පසුගිය කාලය පුරා මේ දරුවන් බේරා ගැනීමට මෙරටින් විවිධ උත්සාහයන් ගෙන තිබුණත් ඒවා සාර්ථක වී නැහැ. නමුත් නේපාලයේ සහ උගන්ඩාවේ දරුවන් බේරා ගෙන යනවා අපි දැක්කා. මේ ජාත්‍යන්තර අත්දැකීම මත විපක්ෂයේ මන්ත්‍රීවරුන් විදිහට මේ දරුවන් බේරා ගැනීමට අපි පියවර ගැනීමට ඉදිරිපත් වුණා. මෙම සංචාරය මියන්මාරයේ වධ බන්ධනවලට ලක් වී සිටින දරුවන්ගේ සහ ඔවුන්ගේ දෙමාපියන්ගේ කඳුළු පිස දැමීමේ උත්සාහයක්.

අපි ඵලදායක ක්‍රියාමාර්ග හරහා යම්කිසි විදියකින් තෙවන පාර්ශ්වයක් මැදිහත් කර ගෙන මෙම දරුවන් බේරා ගැනීමට උත්සාහ ගන්නවා. අපි මුලින්ම තායිලන්තයේ බැංකොක් නුවර වෙත ගොස් එතැන් සිට මියන්මාරයේ යැංගුන් නුවර බලා පිටත්ව යෑමට සැලසුම් කර තිබෙනවා. මෙම සංචාරයේදී මියන්මාර බලධාරීන් සමග පමණක් නොව තායිලන්තයේ අධිකරණ, විදේශ කටයුතු අමාත්‍යවරුන් සමග මෙන්ම එරට මානව හිමිකම් ජාත්‍යන්තර සංවිධාන ද සමගත් අපි සාකච්ඡා කරනවා.

මෙම දරුවන් බේරා ගැනීම සඳහා රජය පිළිබඳවම විශ්වාසය තබා නොගෙන රාජතාන්ත්‍රිකභාවයක් නොමැති ‘තෙවන පාර්ශවයන්’ සමග ඵලදායක ක්‍රියාමාර්ග ආරම්භ කිරීමට අපි කටයුතු කරනවා.

මෙම විපක්ෂ මන්ත්‍රීවරුන් කණ්ඩායම ඊයේ අලුයම 01.10 ට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 402 දරන ගුවන් යානයෙන් තායිලන්තයේ බැංකොක් නුවර බලා කටුනායක ගුවන්තොටුපළෙන් පිටත්ව ගියහ.
ගුවන්තොටුපළ – ටී. කේ. ජී. කපිල

advertistmentadvertistment
advertistmentadvertistment