2022 දී ජනාධිපති ලේකම් කාර්යාලයේ තිබුණු වාහන 51ක් නෑ
ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන 53ක් විහාරස්ථාන, ආගමික නායකයන් හා මන්ත්‍රීවරුන්ට දීලා සෞඛ්‍ය අමාත්‍යාංශයේ 1794ක්, වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවේ 288ක්, වාරිමාර්ග අමාත්‍යාංශයේ 347ක්, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ 880ක්, අධ්‍යාපනයේ 140ක්, තැපැලේ 42ක්, මධ්‍යම පළාත් සභාවේ 31ක්, උතුරුමැද පළාත් සභාවේ 19ක් වාහන අතුරුදන්
ආණ්ඩු පෙරළියත් සමග රජයේ වාහන අවභාවිත වීම සහ අස්ථාන ගතවීම සම්බන්ධව මේ වනවිට සමාජය තුළ දැඩි කථාබහක් නිර්මාණය වී තිබේ. බලපෙරළියත් සමග හිටපු ජනාධිපතිවරයාගේ උපදේශකවරුන් සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් භාවිත කරනු ලැබූ සුඛෝපභෝගි වාහන ජනාධිපති ලේකම් කාර්යාලය වෙත රැගෙනවිත් භාර දීමත් සමග වාහන අවභාවිත කිරීම සම්බන්ධයෙන් රට්ටුන් අතර දැඩිකථා බහක් ඇති විය. ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කරනු ලැබූ නිවේදනයට අනුව ජනාධිපති ලේකම් කාර්යාලය වෙත මේ වනවිට භාරදී ඇති වාහන සංඛ්‍යාව 107කි. ඒ විතරක් නොව, අමාත්‍යාංශ, රාජ්‍ය ආයතන, සංස්ථා සහ මණ්ඩලවල රජයේ වාහන අවභාවිත කිරීමේ සිද්ධීන් සම්බන්ධව නිරන්තරයෙන් අසන්නට ලැබේ. මේ පිළිබඳ ජාතික විගණන කාර්යාලය මගින් මෙකී ආයතන සම්බන්ධයෙන් වාර්ෂිකව නිකුත් කරනු ලබන විගණන වාර්තා මගින් ද පෙන්වා දී තිබුණි.
රජයේ වාහන අවභාවිත කිරීම දිගින් දිගටම සිදුකරනු ලබන බවට තොරතුරු අනාවරණය වී තිබේ. ජාතික විගණන කාර්යාලය සඳහන් කරන ආකාරයට රජයට අයත් වාහන 4000කට ආසන්න සංඛ්‍යාවක් අතුරුදන්ව ඇත. අතුරුදන් වී ඇති වාහන සහ රාජ්‍ය ආයතනවල ඇති වාහන පිළිබඳව මෙන්ම එකී වාහන භාවිත කළ පුද්ගලයන් ගැන ජාතික විගණන කාර්යාලය මගින් විශේෂ විගණනයක් ආරම්භ කොට ඇත.
මේ අයුරින් අවභාවිත වන වැඩිම වාහන සංඛ්‍යාවක් ආරක්ෂක අංශවලට අයත් බවට තොරතුරු වාර්තා වී ඇත. ආරක්ෂක අංශවල ඉහළ නිලධාරින්ගේ නිවෙස්වල අවශ්‍යතා සඳහා මෙකී මෝටර් රථ යොදා ගන්නා බවට ද තොරතුරු අනාවරණය වී ඇත. අනික් කාරණය වන්නේ එකම රාජ්‍ය ආයතනයක ඉහළ නිලධාරින් එකම උත්සවයකට එකම සාකච්ඡාවකට තවමත් වෙන වෙනම රජයේ වාහන මගින් පැමිණීම දැකිය හැක. අනික් කාරණය වන්නේ ඇතැම් රාජ්‍ය ආයතනවල ඉහළ නිලධාරින් සංස්ථා සභාපතිවරුන් තමන්ට මාසිකව හිමි ඉන්ධන දීමනාව ඉක්මවා ඉන්ධන ලබාගැනීම් පිළිබඳ විගණන වාර්තා මගින් ද අනාවරණය කොට ඇත. ඇතැම් සංස්ථාවල ප්‍රධානීන් චක්‍රලේඛවලට පටහැනිව විශාල මුදලක් යොදා වාහන කුලියට ලබාගෙන තිබුණි.
රජයේ වියදම් සීමා කරමින් මුදල් අමාත්‍යාංශය මගින් චක්‍රලේඛයක නිකුත් කළද දිගින් දිගට ම රජයේ වාහන අවභාවිත කිරීමේ කටයුතුවල නිරතව සිටිති.
ජනාධිපති ලේකම් කාර්යාලය සම්බන්ධයෙන් 2022 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති විගණන වාර්තාවට අනුව ජනාධිපති ලේකම් කාර්යාලයට අයත් වාහන 51ක් අතුරුදන් වී තිබුණි. ඒ විතරක් නොව, මෙකී වාහනවල වටිනාකම හෝ සොයාගැනීමට නොහැකිවී තිබුණි. විගණනයට ඉදිරිපත් කරනු ලැබූ තොරතුරුවලට අනුව ජනාධිපති කාර්යාලය විසින් තාවකාලික පදනම මත වෙනත් රාජ්‍ය ආයතනවලින් වාහන 52ක් ලබාගෙන තිබුණි. එහෙත් වාහන 66ක් භාවිත කරන බවට විගණනය මගින් අනාවරණය කොට ඇත. ඒ විතරක් නොව, ඇතැම් වාහන ජනාධිපති ලේකම් කාර්යාලයට ලබාගත් දිනය පවා සොයාගැනීමට නොහැකි වී තිබුණි. මෙකී වාහන නඩත්තු කිරීම සඳහා 2022 වර්ෂය තුළ ජනාධිපති ලේකම් කාර්යාලය මගින් වැයකොට ඇති මුදල රුපියල් දෙකෝටි අසූඅටලක්ෂ, දෙදහස් දෙසිය හතළිස් පහකි. (28,802,245) එමෙන්ම ජනාධිපති ලේකම් කාර්යාලය සතු වාහන 53ක් වෙනත් රාජ්‍ය ආයතන, විහාරස්ථාන, ආගමික නායකයන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත නිදහස්කර තිබූ බවද විගණන වාර්තාවේ සඳහන් වේ. එම වාහන අතුරින් වාහන 27ක් සඳහා 2022 වර්ෂය තුළදී නඩත්තු වියදම සඳහා දරා ඇති මුදල රුපියල් එක්කෝටි තිස්හය ලක්ෂ, අනූපන්දහස් එකසිය දහනවයකි. (13,695,119)
එමෙන්ම මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත අනුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්, නමින් සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ විවිධ තනතුරු නාම නමින් ලියාපදිංචි වී ඇති වාහන සංඛ්‍යාව 5,556කි. එහෙත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වාහන ලේඛනය අනුව එම වාහන සංඛ්‍යාව 5972කි. ඉන් වාහන 1794ක අමාත්‍යාංශය සතුව නොතිබුණි. ඒ විතරක් නොව, අමාත්‍යාංශය සතු වාහන ලේඛනයේ ඇතුළත්ව තිබූ මෝටර් රථ සහ යතුරුපැදි 177ක් බාහිර පාර්ශ්ව වෙත පවරා තිබුණි. මෙසේ බාහිර පාර්ශ්ව වෙත පවරා තිබූ මෝටර් රථ සහ යතුරුපැදි පිළිබඳ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් ද තහවුරුකොට තිබුණි. එහෙත් මෙකී වාහන එම පාර්ශ්ව වෙත පවරනු ලැබුවේ කුමන පදනමකන් ද යන්න පිළිබඳ තහවුරු කර නොතිබුණි. එමෙන්ම භෞතික පැවැත්ම තහවුරු කර ගැනීමට නොහැකිවූ මෝටර් රථ 584ක් ස්ථාවර වත්කම් ලේඛනයෙන් ඉවත් කිරීම සඳහා අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් 2017 වර්ෂයේ දී රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කර තිබුණි. එහෙත් ඒ සඳහා අනුමැතිය ලබා දී නොතිබුණි.
සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව තිබී අස්ථානගත වී ඇති වාහන සංඛ්‍යාවෙන් මෝටර් රථ 679කි. යතුරුපැදි 1,115කි. මෙකී වාහන 1794 අතුරින් 32 කාණ්ඩයේ කැබ් රථ 52කි. ඉංග්‍රීසි කාණ්ඩවලට අයත් මෝටර් රථ 43කි. අනිකුත් මෝටර් රථ 584කි. අමාත්‍යාංශය සතුව පවතින බවට ලේඛන ගතකර තිබූ මෝටර් රථ හා යතුරුපැදිවලින් මෝටර් රථ 1239ක් හා යතුරුපැදි 2795ක ස්ථානගත කිරීම පවා හඳුනාගැනීමට විගණනයට නොහැකිවී තිබුණි. අමාත්‍යාංශය සතුව යතුරුපැදි 2803ක් පවතින බව විගණනය මගින් අනාවරණය කරගෙන තිබූ අතර එහෙත් විගණනයට ඉදිරිපත් කරනු ලැබූ අමාත්‍යාංශයේ වාහන ලේඛනයේ එම යතුරුපැදි අනුයුක්ත කර තිබූ ස්ථාන සඳහන්ව නොතිබුණි.
ඒ විතරක් නොව, වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් වාහන 288ක තොරතුරු විගණනය වෙත ඉදිරිපත් කොට නොතිබීම හේතුවෙන් එම වාහනවල භෞතික පැවැත්ම සනාථ කර ගැනීමට නොහැකිවී තිබුණි. වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් වාහන සංචිතය භෞතිකව ගණන් බැලීමක් සිදුකොට නොතිබූ අතර වාහන 711ක් තිබෙන බවට තොරතුරු විගණනය වෙත ඉදිරිපත් කොට තිබුණි.
දෙපාර්තමේන්තුවට අයත් සියලුම වාහන භෞතිකව ගණනය කොට එවායේ පැවැත්ම පිළිබඳ විගණනය වෙත සනාථ කළ යුතු බව විගණනය මගින් නිර්දේශ කොට ඇත.
මේ පිළිබඳ වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ගණන් දීමේ නිලධාරියා විසින් විගණනයට පිළිතුරු ලබාදී නැත.
ජාතික විගණන කාර්යාලය මගින් පෙන්වා දෙන ආකාරයට වාරිමාර්ග අමාත්‍යාංශයට අයත් වාහන 347ක් අමාත්‍යාංශය භාරයේ නොමැති බවට අනාවරණය වී ඇත. වාරිමාර්ග අමාත්‍යාංශය නමින් ලියාපදිංචි වී ඇති වාහන පිළිබඳ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතිය තුළින් ලබාගත් තොරතුරු අනුව වාරිමාර්ග අමාත්‍යාංශය, වාරිමාර්ග ලේකම් හෝ අමාත්‍යාංශ ලිපිනය යටතේ වාහන 650ක් ලියාපදිංචි වී තිබුණි. එහෙත් වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේඛනය අනුව අමාත්‍යාංශයට අයත් පරිහරණය කරනු ලබන වාහන සංඛ්‍යාව 306කි. ඒ අනුව වාහන 347ක් අමාත්‍යාංශය භාරයේ නොමැති බව විගණනය මගින් අනාවරණය කොට ඇත.
ඒ විතරක් නොව, වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් වාහන 880ක් දෙපාර්තමේන්තු භාරයේ නොමැති බව ජාතික විගණනය මගින් අනාවරණය කොට තිබුණි.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතිය අනුව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නමින් හෝ වාරිමාර්ග අධ්‍යක්ෂක ජනරාල් නමින් දෙපාර්තමේන්තු ලිපිනය යටතේ වාහන 2004ක් ලියාපදිංචි වී තිබුණි. එහෙත් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ වාහන ලේඛනයට අනුව දෙපාර්තමේන්තුවට අයත් හා පරිහරණය කරනු ලබන වාහන සංඛ්‍යාව 1.124ක් බව විගණනය මගින් අනාවරණය කොට ඇත.
මේ පිළිබඳ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ගණන් දීමේ නිලධාරියා විසින් විගණනයට සඳහන් කොට ඇත්තේ දෙපාර්තමේන්තුව යටතේ සඳහන් කර ඇති වාහන 2004න් 1124ක් පිළිබඳ තොරතුරු ඉදිරිපත් කොට ඇති බවය. ඉතිරි වාහනවලින් විශාල ප්‍රමාණයක් දෙපාර්තමේන්තුව තුළ නොමැති අතර එවා තහවුරු කර ගැනීමට ප්‍රමාණවත් ලේඛන දෙපාර්තමේන්තුව තුළ නොමැතිබව ද ගණන් දීමේ නිලධාරියා විසින් විගණනයට සඳහන් කොට ඇත.
අපහරණ ක්‍රියාවලිය තුළින් ටෙන්ඩර් මගින් අපහරණයට යොමුකර බාහිර පුද්ගලයන්ට ලබාදී ඇති නමුත් ලියාපදිංචිය පවරාගෙන නොමැති වාහන, ටෙන්ඩර් මගින් අබලි වාහන ලෙස ලියාපදිංචිය අවලංගු කිරීමට යොමුකරමින් යකඩ ලෙස ලබාදී ඇති වාහන දෙපාර්තමේන්තුව සතුව නොමැති වාහන ලෙස ගණන් දීමේ නිලධාරියා විසින් විගණනයට සඳහන් කොට ඇත. ක්ෂේත්‍ර නිලධාරින්ට විවිධ ව්‍යාපෘති මගින් ලබාදී ඇති නමුත් ව්‍යාපෘතිය අවසානයේ එම නිලධාරින් විසින් අයිතිය පවරා ගැනීමට කටයුතු කර නොමැති වාහන, වෙනත් දෙපාර්තමේන්තුවලට විවිධ ව්‍යාපෘති යටතේ ලබාදී ඇති නමුත් ව්‍යාපෘතිය අවසානයේ එම දෙපාර්තමේන්තු විසින් පවරානොගත් වාහන දෙපාර්තමේන්තුව සතුව නොමැති වාහන ලෙස ගණන් දීමේ නිලධාරියා විසින් සඳහන් කොට ඇත.
එමෙන්ම අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්ගේ නමින් ලියාපදිංචි කරන ලද මෝටර් රථ 140ක් සහ තැපැල්පති නමින් ලියාපදිංචි කර ඇති වාහන 42ක් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ තැපැල් දෙපාර්තමේන්තුව සතුව නොමැති බව ද ජාතික විගණන කාර්යාලය මගින් පෙන්වා දී තිබුණි.
අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්ගේ නමින් සහ තැපැල්පති නමින් ලියාපදිංචි කර ඇති වාහන සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් තැපැල් දෙපාර්තමේන්තුවෙන් හා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් ලබාගත් තොරතුරු සැසඳීමේ දී මෙකී වාහන සම්බන්ධ තොරතුරු අමාත්‍යාංශය හා දෙපාර්තමේන්තුව සතුව නොතිබුණි. එමෙන්ම රජයේ වාහනවල රාජ්‍ය ලාංඡනය යෙදියයුතු වුවද තැපැල් දෙපාර්තමේන්තුවේ වාහන 123ක රාජ්‍ය ලාංඡනය පින්තාරු කර නොතිබුණු බවද විගණන වාර්තාවේ සඳහන් වේ.
තැපැල්පති නමින් ලියාපදිංචිවී ඇති සියලුම වාහන හඳුනාගතයුතු බවට විගණනය මගින් නිර්දේශකොට ඇත. තැපැල් දෙපාර්තමේන්තුව මගින් විගණනයට සඳහන් කොට ඇත්තේ තැපැල්පති නමින් ලියාපදිංචි කර වාහන 42ක් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා කමිටුවක් පත්කර ඇති බවය.
මධ්‍යම පළාත් සභාවේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තුවලට අයත් වාහන 31ක් පිළිබඳ තොරතුරු අනාවරණය කර නොතිබුණි.
එම වාහන මධ්‍යම පළාත් සභාවේ ආයතන විසින් භාවිතකරණ බවට ද කිසිදු සාක්ෂියක් ඉදිරිපත් වී නොතිබුණු බව ද විගණනය මගින් අනාවරණය කොට ඇත. විගණනය මගින් පෙන්වා දී ඇති ආකාරයට ප්‍රධාන ලේකම් කාර්යාලයට අයත් වාහන 04ක්, පළාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට අයත් වාහන 09ක්, පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට අයත් වාහන 06ක්, පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් වාහන 05ක්, පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට අයත් වාහන 04ක්, පිළිබඳ තොරතුරු අනාවරණය කර නොතිබුණි.
එමෙන්ම පළාත් ඉඩම් දෙපාර්මේන්තුවට අයත් වාහන 01ක්, ආයුර්වේද දෙපාර්තමේන්තුවට අයත් වාහන 01ක්, කෘෂිකර්ම අමාත්‍යාංශයට අයත් වාහන 01ක් පිළිබඳව ද තොරතුරු අනාවරණය කර නොතිබුණු බව විගණන වාර්තාවේ සඳහන් වේ.
ලලිත් චාමින්ද