වැටෙන ආර්ථිකයට දිරච්ච මුක්කු!

260

වර්තමානයේ අප මුහුණ දී සිටින අතිශය දරුණු ආර්ථික ව්‍යසනයට හේතු රැසක් තිබිය හැකිය. ඒවා අප වඩාත් පුළුල් ඇසකින් දැකිය යුතු වේ. එනම් මෙයට දිගුකාලීන හේතු මෙන්ම ආසන්න හේතු ද තිබෙන බවයි. ආසන්න හේතු ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වීමෙන් පසු ක්‍රියාත්මක වූ රජයේ ආර්ථික කළමනාකරණයේ දුර්වලතා සහ අඩුපාඩු මෙන්ම කොවිඩ් ව්‍යසනය ද හේතුවී ඇත. දිගුකාලීනව සෑම රජයක් යටතේම පාහේ ආර්ථිකයේ විශාල විදේශ විනිමය හිඟයක් සහ අයවැය හිඟයක් පැවති බව ද රහසක් නොවේ. කොවිඩ්වලට පෙර ඇමෙරිකානු ඩොලර් බිලියන දහයක් පමණ දක්වා වෙළෙඳ හිඟය වර්ධනය වී තිබුණි. එනම් අපි අපගේ භාණ්ඩ පිටරටට අපනයනය කර උපයා ගන්නා විදේශ විනිමය ආදායම මෙන් දෙගුණයක් වටිනා භාණ්ඩ පිටරටින් ආනයනය කර පරිභෝජනය කිරීමට හුරු වී සිටියෙමු. රට රැකියා කරන විදේශ ශ්‍රමිකයන්ට සහ මෙරටට පැමිණෙන විදේශ සංචාරකයන්ට පින් සිදුවන්නට රටට ලැබුණු විදේශ විනිමය ආදායම්වලින් සහ තවදුරටත් විදේශ ණය ගැනීමෙන් මේ විදේශ විනිමය හිඟය පියවාගෙන රෝල ගසාගෙන මෙතෙක් කල් දිගටම පැමිණියත් එය මෙවර කළ නොහැකි වී ඇත.

● කොවිඩ් වසංගතය හා වෙනත් හේතු

මේ විනිමය හිඟයට අමතරව පසුගිය කාලයේ විශාල වශයෙන් විදේශ ණය ගැනීමෙන් එකතු වූ විශාල ණය සේවාකරණ වියදමක් ද දැරීමට සිදුව තිබිණි. විශේෂයෙන්ම මේ වසරේ (2022) ඇමෙරිකානු ඩොලර් බිලියන 7 කට ආසන්න ණය වාරික හා පොලී ප්‍රමාණයක් ගෙවීමට තිබිණි. ඒ අනුව ඉතිහාසයේ ප්‍රථම වතාවට විදේශ ණය ගෙවා ගැනීමට නොහැකි වීමට අමතරව අපට අත්‍යවශ්‍ය ආනයන කර ගැනීමට ද විදේශ විනිමය නොමැති වී ජනදිවිය විශාල පීඩාවට පත්ව තිබේ. විදේශ විනිමය අර්බුදය දිගටම තිබුණු එකක් වුවත් එය මෙතරම් දරුණු තත්ත්වයකට පත් වීමට කොවිඩ් වසංගතය සමග ඇති වූ වටපිටාව මෙන්ම තවත් සාධක ද හේතු වී ඇත. ප්‍රශ්නය උග්‍ර වීමට කොවිඩ් වසංගත තත්ත්වය හේතු වී තිබුණත් සියල්ල කොවිඩ් වසංගතයටම බැර කළ හැකි නොවේ. ලෝකයේ වෙනත් රටවලට ද කොවිඩ් වසංගතය අඩු වැඩි වශයෙන් බලපෑ බව අපි දනිමු. එසේ නම් මේ සඳහා අපට බලපාන ලද සුවිශේෂ කරුණු තිබිය යුතුය. ඒ ගැන මේ දිනවල සාකච්ජා වෙයි. මේ සඳහා බොහෝ හේතු තිබිය හැකි නමුත් මින් අපට ආසන්න හේතු වශයෙන් ඇසෙන ප්‍රධාන කරුණු තුනක් ඇත. එනම් 2019 වසර අගදී සිදුකළ විශාල බදු කප්පාදුව, අයිඑම්එෆ් එකට යෑමට ප්‍රමාද වීම සහ රුපියල සහ ඩොලරය අතර හුවමාරු අගය රු. 203 ක ස්ථාවර අගයක දිගුකාලයක් තිස්සේ පවත්වාගෙන යෑම යන කරුණු මේ අතරින් ප්‍රධාන වේ.

මේ ආර්ථික අර්බුදයේ හේතු සෙවීමට අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වෙන පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාව ද පියවර ගෙන ඇත. මේ අනුව මේ රජයේ හිටපු ආර්ථික බලධාරීන් ද පසුගිය සතියේ (ජුනි 08 දින) පාර්ලිමේන්තු මුදල් කාරක සභාව හමුවට කැඳවා තිබිණි. ඒ අනුව හිටපු ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර, හිටපු මුදල් අමාත්‍යාංශ ලේකම් එස්. ආර්. ආටිගල සහ හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් යන මහත්වරුන් මුදල් කාරක සභාවට කැඳවා තිබුණු අතර වත්මන් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඇතුළු මහ බැංකු නිලධාරීන් මෙන්ම මහ බැංකු මුදල් මණ්ඩල සාමාජිකයන් සහ මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා ද මේ අවස්ථාවට එක්ව සිටිනු දැකගත හැකි විය. ආර්ථික හා මූල්‍ය කටයුතු වාර්තා කරන මාධ්‍යවේදීන් වශයෙන් මේ සියලු දෙනා සමගම කටයුතු කිරීමට මේ ලියුම්කරුට හැකිව ඇත. ඒ අනුව ඔවුන් කියන දේවල් සහ රාජ්‍ය ප්‍රතිපත්ති වාර්තා කිරීමට අමතරව ඔවුන්ගේ ධුර කාලයන් හි දී ආර්ථික ප්‍රතිපත්තිවල අප දකින වැරදි අඩුපාඩු ද අප නොයෙක් විට පෙන්වා දී ඇත. එහිදී මේ රජය 2019 අගදී පත් වූ පසුව සිදුකළ අතිවිශාල බදු කප්පාදුව, කාබනික කෘෂිකර්ම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළ ආකාරය, අයිඑම්එෆ් එකට යෑමට ප්‍රමාද වීම සහ රුපියල දිගු කලක් ස්ථාවර අගයක තියා ගැනීම යන කරුණු ගැන බොහෝ දෙනෙක් රජයට සහ මේ හිටපු ආර්ථික බලධාරීන්ට විවේචන ඉදිරිපත් කර තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාම වරක් පැවසුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට මීට පෙර යෑමට තිබුණු බවයි. එසේම පොහොර ගැන ගත් තීරණ ද වැරදි බව රජය ප්‍රමාද වී හෝ පිළිගෙන තිබේ. මේ ලියුම්කරුගේ මතයට අනුවත් කාලයක් තිස්සේ පැවති සහ කොවිඩ් නිසා තවත් වර්ධනය වූ විදේශ විනිමය අර්බුදය තවත් උග්‍ර කිරීමට මේ කරුණු ද හේතු වී ඇත. ඒ බව නොයෙක් වර අපගේ ලිපි මගින් ඉදිරිපත් කර තිබේ. එසේම මේ ලියුම්කරු ඇතුළු බොහෝ මාධ්‍යවේදීන් ද මේ ගැන නොයෙක්වර මාධ්‍ය හමුවලදී මෙන්ම සම්මුඛ සාකච්ජාවල දී ද ප්‍රශ්න කර තිබේ. එහෙත් ඒ හැම විටම පාහේ අඩුපාඩු පිළිගන්නවා වෙනුවට ඒවා සාධාරණීකරණය කරමින් කතා කළ අයුරු අපට මතකය. ජනාධිපතිවරයා ද මුලදී රසායනික පොහොර ආනයනය වහාම නතර කිරීමට ගත් තීරණය වැරදි බව පිළිගත්තේ නැත. කෙසේ හෝ මේ හේතු සාධක බොහොමයක් එකතු වී අප අද මුහුණ දෙන ආර්ථික තත්ත්වය උදා වී ඇත. සියලු විදේශ ණය කලට වෙලාවට ගෙවනවා කිව්වත් අවසානයේ අපටම ණය ගෙවීමට නොහැකි බව ලෝකයට කියා විදේශ ණය ගෙවීම පැහැර හැරීමට සිදු විය. බොහෝ දෙනා අර්ථකථනය කරන පරිදි රට බංකොළොත් වී ඇත.

● 2019 අග සිදු කළ බදු කප්පාදුව

පසුගිය ජුනි 08 වැනිදා පාර්ලිමේන්තුවේ මුදල් කාරක සභාවේ පැවති ප්‍රශ්න කිරීම් සහ ඒවාට හිටපු ආර්ථික බලධාරීන් ලබා දුන් පැහැදිලි කිරීම් මුළුමනින්ම අප දන්නේ නැත. එහෙත් පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව විසින් මාධ්‍යට යම් නිල නිවේදනයක් සහ එහි වැදගත් කොටස්වලට අදාළ වීඩියෝ පටයක් එවා ඇත. ඒ නිසා එම කරුණුවලට සීමා වෙමින් අපට මේ ගැන සාකච්ජා කිරීමට සිදුව ඇත. මෙහිදී මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් එස්. ආර්. ආටිගල මහතා ආණ්ඩුවේ බදු ප්‍රතිපත්ති වෙනස් වීමට වඩා වාහන ආනයනය නැවතීම ඇතුළු කොවිඩ් තත්ත්වය රටේ ආර්ථික බිඳවැටීමට හේතු වූ බව පවසා ඇත. 2019 වර්ෂයේ දෙසැම්බර් 04 වන දින හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කරනු ලැබූ පළමු කැබිනට් පත්‍රිකාවට අනුව බදු ප්‍රතිපත්ති සම්බන්ධයෙන් මෙලෙස තීරණ ගනු ලැබූ බවද ආටිගල මහතා කියා ඇත. මේ නිසා 2019 වසර අවසානයේ නව ආණ්ඩුවේ බදු ප්‍රතිපත්ති වෙනස් වීම හේතුවෙන් රුපියල් බිලියන 500කට ආසන්න මුදල් ප්‍රමාණයක් රටට අහිමි වූ බව ප්‍රකාශ කිරීම සාධාරණ නොවන බවත් ඒ සඳහා වාහන ආනයනය නතර කිරීම ඇතුළුව පනවනු ලැබූ ආනයන සීමා හේතුවෙන් ඇති වූ පාඩුව සහ කොවිඩ් තත්ත්වය හේතුවෙන් ඇති වූ ආර්ථික සංකෝචනය ඇතුළු හේතුන් බලපෑ බව ද එස්. ආර්. ආටිගල මහතා පවසා ඇත. එහි සත්‍යයක් තිබේ. ආර්ථික කටයුතු අඩපණ වන විට සහ ආර්ථිකය හැකිලෙන විට රජයට අය කළ හැකි බදු ආදායම් අඩුවන බව ඇත්තය. අප සිතන්නේ කොවිඩ් තත්ත්වය අයකළ හැකි බදු ආදායම අඩු වීමට හේතු වුවත් රජයේ විශාල බදු කප්පාදුව ද රජයට කොවිඩ් තත්ත්වය යටතේ අඩුවෙන් හෝ අය කළ හැකිව තිබූ රජයේ බදු ආදායම තවත් අඩු කිරීමට හේතු වූ බවයි.

● නිලධාරීන්ට කළ හැකි දේ

සාමාන්‍ය නිලධාරීන්ට නම් රාජ්‍ය ප්‍රතිපත්තිය සහ රජයේ තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීම හැර වෙනත් විකල්පයක් නැත. එහෙත් ආර්ථිකය ගැන තීන්දු තීරණ ගන්නා ප්‍රබල නිලධාරීන්ට එය එසේම අදාළ නොවේ. පසුගිය මැතිවරණයට ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබෙන දේ වුවත් යම් ආර්ථිකයට සහ ජනතාවට අහිතකර තත්ත්වයන් ඇති වෙනවා නම් ඒවා ජනාධිපතිවරයාට මෙන්ම මුදල් ඇමැතිවරයා හරහා රජයට පෙන්වා දීමේ හැකියාවක් ඔවුන්ට තිබේ. දේශපාලනඥන් යනු හැම විටම ආර්ථික විද්වතුන් නොවේ. ඒ නිසාම ඔවුන්ට බොහෝ විට මේ නිලධාරීන් මත යැපීමට ද සිදු වන බව රහසක් නොවේ. මෙහිදී මුදල් කාරක සභා සාමාජිකයන්ගේ අදහස වී ඇත්තේ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමේදී ඒ අදාළ විෂය සම්බන්ධයෙන් ඊට සමගාමීව පසුබිම් සටහනක් සහ වාර්තාවක් තිබිය යුතු බවත් එහි සම්පූර්ණ වගකීම ඇත්තේ එම විෂය සම්බන්ධ නිලධාරීන්ට බවත්ය. යම් යම් නොවැළැක්විය හැකි තත්ත්වයන් තිබුණු බව පිළිගත හැකි වුවද මහ බැංකුවේ සහ මුදල් අමාත්‍යාංශයේ නිසි අධ්‍යනයකින් පසුව මෙවන් තීරණ ගත යුතුව තිබූ බවද මුදල් කාරක සභා සාමාජිකයන්ගේ අදහස විය. අපත් සිතන්නේ ක්‍රියාත්මක වන ප්‍රතිපත්ති හෝ අපේක්ෂිත ප්‍රතිඵල නොලැබෙන බව එම තීරණ ක්‍රියාත්ක වීමෙන් පසුව හෝ පෙනෙනවා නම් ඒවා වෙනස් කළ යුතුව ඇති බවයි. අහිතකර ප්‍රතිපත්තිවල දිගටම මතවාදීව එල්බ සිටීමෙන් වනු ඇත්තේ එම අහිතකර බලපෑම් තවත් වැඩි වීමයි. මහජනයා තවත් පීඩාවට පත් වීමයි. මේ නිසා 2019 අගදී හඳුන්වා දුන් බදු ප්‍රතිපත්තියේ පුළුල් වෙනසක් ඉදිරි වසර 5 ටම සිදු නොවන බව එදා කීවත් මේ වන විට බදු වැඩිකර පුළුල් බදු ප්‍රතිසංස්කරණයක් සිදුකර තිබේ. මේ නිසා රජයේ ප්‍රබල නිලධාරීන්ට අවශ්‍ය නම් යහපත් පැත්තටම රජයේ ආර්ථික ගමන්මගේ දිශානතිය වෙනස් කිරීමට බොහෝ දේ කළ හැකිව තිබේ. එහෙත් ඒ සම්බන්ධයෙන් අපට සෑහීමට පත් විය හැකි ද ?

මෙහිදී රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ කමිටු සාමාජිකයන් තවදුරටත් විමසා සිටියේ කොවිඩ් තත්ත්වය මතු වීමට ප්‍රථම, එවකට දේශපාලන බල අධිකාරිය විසින් ගනු ලැබූ මූල්‍යමය ප්‍රතිපත්ති තීරණ සම්බන්ධයෙන් ඉදිරියේදී මතු විය හැකි ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳ මුදල් මණ්ඩලයේ පැහැදිලි නිගමන ඇතුළත් වාර්තාවක් ආර්ථික විශේෂඥයන් සහ වෘත්තිකයන් වශයෙන් කිසිවෙකු හෝ ලිඛිතව දැනුම් දීමට කටයුතු කරනු ලැබුවේද යන්නයි. මෙහිදී අදහස් දක්වා ඇති හිටපු ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර මහතා පවසා ඇත්තේ මෙවන් තීරණ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන බවත්, ඉන්පසුව එය කාරක සභා වෙතද යොමු කරනු ලබන බවත්ය. මෙහිදී රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සාමාජිකයන් නැවතත් විමසා සිටියේ, ආර්ථික විශේෂඥයන් සහ වෘත්තිකයන් වශයෙන් දේශපාලන අධිකාරිය ගනු ලබන ප්‍රතිපත්තිමය තීරණ නිවැරදි නොවන අවස්ථාකදී, එවකට රජයේ වගකිවයුතු තනතුරු දැරූ නිලධාරීන් ලෙස එය නිසි අයුරින් සිය ඉහළ බලධරයන්ට පෙන්වා දීමට හා දැනුවත් කිරීමට කටයුතු කරනු ලැබුවේද යන්නයි.

● මහ බැංකු අධිපතිගේ අදහස

මෙහිදී අදහස් දැක්වූ වත්මන් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසා සිටියේ රජයේ වගකිව යුතු නිලධාරීන් දේශපාලනය කිරීමෙන් වැළකිය යුතු බවත් දේශපාලඥයකු සහ නිලධාරියකු අතර තිබෙන වෙනස නිසි ලෙස හඳුනාගත යුතු බවත්ය. තවදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පවසා සිටියේ දේශපාලඥයන් විසින් ගනු ලබන තීරණ නිවැරදි නොවන අවස්ථාවන්හීදී එය පැවසීම නිලධාරීන්ගේ වගකීම සහ යුතුකම වන බවත්, එවන් තීරණවලට ලැබෙන ප්‍රතිඵල සඳහා දේශපාලඥයන් පමණක් වගනොකිය යුතු බවත්ය. වසර දෙකක් යන තුරු රටේ ආර්ථිකය නිසි මාර්ගයේ ගමන් නොකළ බව මෙන්ම රටේ ආර්ථිකය බිඳ වැටෙනතුරුම තමන් දැනුවත් නොවූ බවත් දේශපාලන අධිකාරියේ තීරණ මත පමණක් පදනම්ව එම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළා යැයි පැවසීම අනුමත කළ නොහැකි බවත් මෙහිදී වීරසිංහ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

● මුදල් කාරක සභාවේ සභාපතිගේ ප්‍රතිචාරය

මෙම කාරක සභාවට සහභාගි වූ මන්ත්‍රීවරුන් පැවසුයේ තමන් මෙම ප්‍රතිපත්ති සම්බන්ධයෙන් ඇතිවිය හැකි අතුරු ප්‍රතිඵල පිළිබඳ විවිධ අවස්ථාවන්වලදී වගකිව යුතු නිලධාරීන්ට සහ එවකට දේශපාලන බලාධිකාරියට පැවසුවද කිසිවෙක් ඒ පිළිබඳ අවධානය යොමු නොකළ බවයි. එහිදී කාරක සභා සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන මහතා පවසා සිටියේ උපයන විට ගෙවීමේ බදු ක්‍රමය කිසිදු හේතුවක් නොමැතිව ඉවත් කිරීම මගින් විශාල ගැටලු රාශියක් ඇති වූ බවත් මෙලෙස බදු කපා හැරීම් හේතුවෙන් දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 12.5 ව තිබූ රාජ්‍ය ආදායම සියයට 8.7 දක්වා අඩු වූ බවත් ය. එසේම මහ බැංකුවේ නිලධාරීන් සහ පාර්ලිමේන්තුව අතර සම්බන්ධතාව වැඩි කර ගනිමින් නිසි සන්නිවේදනයක් සහිතව රටේ වැදගත් තීරණ ගැනීමේදී කටයුතු කළ යුතු බවද කාරක සභා සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා අවධාරණය කළේය. මේ අනුව කාරක සභා සභාපතිවරයා පැවසුවේ මේ පිළිබඳව තවදුරටත් සාකච්ඡා කළ යුතු බැවින් මෙම සාකච්ඡාව නැවතත් එළඹෙන ජුනි 17වන දින සිදු කරන බවයි. අනුර ප්‍රියදර්ශන මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ රජයේ මුදල් පිළිබඳ කාරක සභා රැස්වීමට විරුද්ධ පාර්ශ්වයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු රැසක් සහභාගි වී සිටියහ.

● බැසිල්ගේ ඉල්ලා අස්වීම

බැසිල් රාජපක්ෂ මහතා පසුගිය ජුනි 09 වැනිදා සිය ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වූ අතර ඉන්පසු බත්තරමුල්ල නෙලුම් මාවතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කාර්යාලයේ දී මාධ්‍ය හමුවක් ද පවත්වන ලදී. එහිදී මූලික වශයෙන්ම ඔහු සඳහන් කළේ රාජ්‍ය පාලනයෙන් ඉවත්වන බවත් දේශපාලනයෙන් ඉවත් නොවන බවත්ය. යෝජිත 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට තමා පුද්ගලිකව විරුද්ධ බව ද ඔහු කීවේය. මේ නිසා බැසිල්ගේ ඉල්ලා අස්වීමට මෙම යෝජිත 21 වැනි ආණ්ඩු ව්‍යවස්ථා සංශෝධනය ද හේතු වී ඇත. එහි ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුවට පැමිණිය නොහැකි බවට වන වගන්තියක් තිබේ. එය සම්මත වුවහොත් කොහොමත් බැසිල් රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය දැරීමට නොහැකි වෙයි. මේ නිසා ඔහු 21 ට විරුද්ධ වන්නේ ඔහුගේ මන්ත්‍රී ධුරය අහිමි වන නිසා බවට තර්කයක් මතුවන බැවින් ඔහු මෙසේ කලින්ම ඉල්ලා අස් විය. එසේම ඔහු පාර්ලිමේන්තුවට පිවිසියේ මුදල් ඇමැති අමාත්‍යාංශයේ වගකීම භාර ගැනීමට බවත් එහෙත් මුදල් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වීම නිසා තමාට පාර්ලිමේන්තුවේ කරන්නට දෙයක් නැති බව ද ඔහු මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් සඳහන් කළේය. ඔහු කීවේ රාජ්‍ය පාලනය සහ දේශපාලනය කිරීම දෙකක් බවත් තමන් රාජ්‍ය පාලනයෙන් ඉවත් වන බවත්ය. එසේම ඔහුගේ ඉල්ලා අස්වීමෙන් හිස්වෙන පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පත් කිරීම සම්බන්ධයෙන් කළ විමසුමකට පිළිතුරු දෙමින් හිටපු මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතා කීවේ තවමත් තමන්ට ඒ ගැන කිව නොහැකි බවත් ඒ ගැන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් තීරණයක් ගනු ඇති බවත්ය. එහෙත් මේ වන විට ධම්මික පෙරේරාගේ පත්වීම වඩාත් තහවුරු වී තිබේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment