ආදරවන්තයින්ගේ සටන අද සහ හෙට

131

ගාල්ල රිච්මන්ඩ් විදුහල සහ මහින්ද විදුහල අතර වාර්ෂික මහා ක්‍රිකට් තරගය ආදරවන්තයින්ගේ සටන අද (15 වැනිදා) සහ හෙට (16 වැනිදා) ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

119 වැනි වරට මෙවර පැවැත්වෙන තරගයේ රිච්මන්ඩ් කණ්ඩායම ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ කණ්ඩායමේ උපනායක තුන් ඉරියව් ක්‍රීඩක මල්ෂ තරුපති මෙහෙයවන අතර, 19න් පහළ ජාතික කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක දිනුර කළුපහන මහින්ද විදුහල් පිලට නායකත්වය ලබා දෙයි.

මෙතෙක් පැවති තරග අතුරින් රිච්මන්ඩ් විදුහල තරග 24ක් ජයගෙන වැඩි ගෞරව අත්කර ගෙන සිටින අතර, මහින්ද විදුහල තරග 23ක් ජය ගෙන තිබේ. සෙසු තරග ජය පරාජයෙන් තොරව නිමා වී ඇති අතර, වසර 4ක් තරගය පවත්වා නැත.

ආදරවන්තයන්ගේ සටනට එක් වෙමින් රිච්මන්ඩ් විද්‍යාලය වෙනුවෙන් ක්‍රීඩා කළ චම්පක රාමනායක, චමිල ගමගේ, සුරංග ලක්මාල්, ධනංජය ද සිල්වා, වනිඳු හසරංග, චරිත් අසලංක, කමිඳු මෙන්ඩිස්, ධනංජය ලක්ෂාන් ද, මහින්ද විදුහල වෙනුවෙන් ඩී.එල්.එස්. ද සිල්වා, අතුල සමරසේකර, ජයනන්ද වර්ණවීර, උපුල් චන්දන, ලසිත් මාලිංග, තීක්ෂිල ද සිල්වා වැනි ක්‍රීඩකයන් පාසල් දෙකෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් පිටියට දායාද කර තිබේ.

මහින්ද විදුහල මෙවර තරගවාරය තුළ තරග 13කට සහභාගි වී පූර්ණ ජයග්‍රහණ 4ක් සමඟින් පළමු කාණ්ඩයේ තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට තේරී පත් වී ඇත.

රිච්මන්ඩ් විදුහල මෙවර තරග වාරයේ දෙදින තරග 11ක් ක්‍රීඩා කරමින් පූර්ණ ජයග්‍රහණ 3ක් සමග පළමු කාණ්ඩයේ තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment