අඛණ්ඩව අටවැනි වරටත් මහනුවරට රග්බි කිරුළ

166

දේශීය රග්බි පාපන්දු කෙළිබිමේ ලීග් ශූරතාව 24 වැනි වතාවටත් දිනා ගනිමින් ඒ සඳහා පිරිනැමුණු “නිපෝන් පේන්ට් අභියෝග කුසලාන” ට හිමිකම් කියන්නට දමිත් දිසානායක ගේ නායකත්වයෙන් සැදුම්ලත් වූ ප්‍රබල මහනුවර ක්‍රීඩා සමාජයට හැකි විය.’

ඊයේ (19) සවස සුප්‍රසිද්ධ නිත්තවෙල ක්‍රීඩාංගණයේ පැවති තීරණාත්මක තරගයේ දී ප්‍රතිවාදී සී.ආර් ඇන්ඩ් එෆ්.සී. පිල ලකුණු 29 – 10 ක් ලෙස පරාජය කරමින් අදාළ ශූරතාව 08 වැනි වතාවට ද නොකඩවා තහවුරු කර ගැනීමට සමත් වීම ඒ අතර කැපී පෙනුණි.

මෙරට ප්‍රබලතම ක්‍රීඩා සමාජ 08 ක සහභාගීත්වයෙන් ක්‍රියාත්මක කෙරුණු මෙවර තරගාවලියේ එකම අපරාජිත පිල බවට පත්වන්නට ෆාසීල් මරීජා ගේ පුහුණුව යටතේ තරග වැදුණු මහනුවර සමාජය ට හැකියාව ලැබීම ද විශේෂත්වයකි.

අගනුවර “සී. ආර්. ඇන්ඩ් එෆ්. සී” පිලෙන් එල්ල වූ අභියෝගයට අසීරුවෙන් මුහුණ දෙමින් ගෝල් දිනුම් 03 ක් සමගින් උත්සාහක දිනුමක් හා දඬුවම් පහරක් සාර්ථක කර ගනිමින් ඊයේ (19දා) තරගය ජය ගැනීමට මහනුවරට හැකියාව ලැබුණි.

පරාජිත සී. ආර්. පිල ගෝල් දිනුමක් සහ දඬුවම් පහරක් සාර්ථක කර ගත්තේය.

තරගය ඇරඹී ප්‍රථම භාගය පුරා අණසක පතුරවන්නට සී. ආර්. පිල සමත් වුවද දෙවන භාගයේ දී මනා සංවිධාන ශක්තියකින් යුතුව ක්‍රීඩා කරමින් තම අපරාජිත බව ආරක්ෂා කර ගැනීමට මහනුවර සමාජය සමත් විය.

තරගයේ ප්‍රථම භාගය නිමා වන විට ලකුණු 10 – 00 ක් ලෙස පෙරමුණ ගැනීමට සී. ආර්. පිලට හැකියාව ලැබිණ.

මහනුවර ජයග්‍රහණය වෙනුවෙන් ආක්‍රමණශීලී ක්‍රීඩා රටාවක නිරත වූ ලවංග පෙරේරා 01, කවිදු පෙරේරා 01, තරින්ද රත්වත්තේ 01, යාකූබ් අලී 01 සහ ආසිරි සෙනෙවිරත්න 01 බැගින් උත්සාහක දිනුම් වාර්තා කළහ. එහි ප්‍රවර්තන 03 ක් සහ දඬුවම් පහරක් ප්‍රතිවාදී ගෝල් කණු අතරින් නිවැරදිව යොමු කිරීමට ද තරින්ද රත්වත්තේ ට හැකියාව ලැබිණි.

තේනුක නානායක්කාර සහ චතුර සෙනෙවිරත්න යන දෙපළගේ සුසංයෝගයෙන් යුතුව සී. ආර්. ලකුණු එකතුව සටහන් විය.
අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment