රණවිරු දඩයමට ස්විස් කාර්යාලයක්

115

එල්ටීටීඊ යුද්ධයේ සටන් පෙරමුණේ සිටි රණවිරුවන් විසින් යුද අපරාධ සිදු කරන ලදැයි චෝදනා කර එම විරුවන්ට සහ දේශපාලන නායකත්වයට එරෙහිව යුද අපරාධ සම්බන්ධව සාක්ෂි එකතු කිරීම සඳහා බාහිර යාන්ත්‍රණයක් අවුරුදු 02ක සිට ස්විට්සර්ලන්තයේ ජිනීවාහි 46/1 යෝජනාව අනුව පිහිටුවා ඇති බව ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා සභාපති ආචාර්ය සරත් වීරසේකර මහතා පැවසීය.

මෙරට හමුදා නායකයන්ට එරෙහිව සැලකිය යුතු සාක්ෂි ප්‍රමාණයක් ඔවුන් සතුව ඇති බව එම යාන්ත්‍රණය විසින් මෑතකදී ප්‍රකාශයට පත් කරන ලද වාර්තාවක දක්වා ඇතැයි ඒ මහතා සඳහන් කළේය. පාර්ලිමේන්තුවේ ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පසුගියදා රැස්වූ අවස්ථාවේදී ඔහු මෙම අදහස් දැක්වීය.

මෙහිදී තවදුරටත් අවධාරණය වූයේ මෙලෙස යුද අපරාධ සිදු කරන ලදැයි සාක්ෂි ලැබී ඇති මෙරට හමුදා නායකයන්ට එරෙහිව සර්වලෝක අධිකරණ බලය යටතේ අදාළ රටවල සහ ජාත්‍යන්තර අධිකරණයේ නඩු පැවරීම සඳහා දැනට රටවල් කිහිපයක් ඒකාබද්ධව කටයුතු කරමින් පවතින බවයි.

මෙම බාහිර යාන්ත්‍රණය මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් ප්‍රතික්ෂේප කර තිබුණ ද, මෙරට හමුදා නායකයන්ට එරෙහිව දිගින් දිගටම සාක්ෂි එකතු කරමින් සිටින බවත් මෙහි ඇති භයානක තත්ත්වය වන්නේ සර්ව ලෝක අධිකරණ බලය මත මෙරට හමුදා නිලධාරීන් ලෝකයේ ඕනෑම රටකදී අත්අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව ජාත්‍යන්තර අධිකරණයේ නඩු පැවරිය හැකි වීමයි.

මෙහිදී මෙරට පැවැති යුද්ධය එල්ටීටීඊ සංවිධානයට එරෙහිව සිදු කරන ලද්දක් නොව දෙමළ ජාතීන්ට එරෙහිව සිදු කරන ලද්දක් ලෙස හුවා දැක්වීමට මෙම බාහිර යාන්ත්‍රණයට හැකියාව ඇති බවද මෙහිදී සාකච්ඡා කෙරිණි.

මෙම ක්‍රියාකාරීත්වය මෙරට යුද විරුවන්ගේ ස්වාභිමානයට මෙන්ම ජාතික ආරක්ෂාවට ද තර්ජනයක් වන අතර විදේශ කටයුතු අමාත්‍යාංශය ලාංකිය හමුදා සාමාජිකයන්ට එරෙහිව ලොව අනෙකුත් රටවල් මගින් යුද අපරාධ චෝදනා එල්ල කිරීම සහ ජාත්‍යන්තර යුද අධිකරණයේ නඩු පැවරීමට කටයුතු කිරීම නැවැත්වීමට වහා කටයුතු කළ යුතු බවද අවධාරණය විය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment