රන්මිණිතැන්න සූදු පොළේ පොලිස් වෙඩි තැබීම් සිද්ධියේ පරීක්ෂණ අසාධාරණයි – ගම්මුන්ගෙන් විරෝධතා

27

තිස්සමහාරාම රන්මිණිතැන්න ප්‍රදේශයේ සූදු පොළක් වැටලීමේදී එහි සිටි පුද්ගලයකුට පොලිසිය විසින් වෙඩි තැබූ බවත්, එලෙස වෙඩි වැදුණු පුද්ගලයා පොලිසියට රැගෙන ගොස් ඔහුට අභූත චෝදනා ගොනුකරමින් තිස්සමහාරාම පොලිසිය ඉතා අසාධාරණ ලෙස පරීක්ෂණ කටයුතු මෙහෙයවන බවත් පවසමින් ඊට විරෝධය පා තිස්සමහාරාම – කතරගම ප්‍රධාන මාර්ගයේ රන්මිණිතැන්න පාලම අසලදී පිරිසක් ඊයේ (03 දා) විරෝධතාවක නිරත වීය.

විරෝධතාව සඳහා වෙඩි වැදීමෙන් තුවාල ලැබූ තරුණයාගේ ඥාතීන් හා අසල්වැසියන් පිරිසක් එක්ව සිටියහ. “නීතිය කඩකළ සාජන් තරංග වහා අත්අඩංගුවට ගනු, ගොරකා දඩමස් කරන ශ්‍රී ලංකා පොලිසිය, සැරයන් තරංගගේ පාතාල ක්‍රියා පිළිකුළෙන් හෙළාදකිමු, අනීතිකව අත්අඩංගුවට ගත් තරුණයා වහා නිදහස් කරනු“ ආදී වැකි සහිත පුවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතාකරුවන් පැය දෙකක පමණ කාලයක් විරෝධතාවයේ නිරත විය.

පසුගිය 31 දා තිස්සමහාරාම රන්මිණිතැන්න ප්‍රදේශයේ සූදු පොළක් වැටලීමට ගිය අවස්ථාවේ පොලිස් නිලධාරියෙකු විසින් සිදුකළ වෙඩි තැබීමෙන් අංක 155, කුඩා ගම්මාන 08, රන්මිණිතැන්න ලිපිනයේ පදිංචි හේවා කොකාවලගේ රුවන් කුමාර නමැත්තාගේ දකුණු අත උරහිස ප්‍රදේශයට තුවාල සිදුවිය. සිද්ධියෙන් තුවාල ලැබූ රුවන් කුමාර පොලිසිය විසින්ම දෙබරවැව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර තිබේ.

විරෝධතාකරුවන් පැවසුවේ රුවන් කුමාර තරුණයාව පොලිසියට රැගෙන ගොස් ඔහු සන්තකයේ ගිනි අවියක් තිබුණු බවත්, ඔහු පොලිස් නිලධාරීන් සමග පොර බැදූ බවටත් අභූත චෝදනා නගමින් තිස්සමහාරාම මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඔහුව සිරගත කිරිමට තිස්සමහාරාම පොලිසිය කටයුතු කර ඇති බවයි. විරෝධතාකරුවෝ පිරිසක් විරෝධතාව අවසානයේදී අදාළ තරුණයා නිදහස් කරන ලෙස තිස්සමහාරාම පොලිස් ස්ථානාධිපතිවරයා හමුවී ඉල්ලීමක්ද කළේය.

මත්තල – දිලීප් එන්. ජයසේකර

advertistmentadvertistment
advertistmentadvertistment