රනිල් රට භාරගත් නිසා ජනතාව අද ගැටලුවක් නැතිව අවුරුදු කනවා – වජිර අබේවර්ධන

128

ශ්‍රී ලාංකික ජනතාවට කිසිදු ගැටලුවකින් තොරව මෙවර අලුත් අවුරුද්ද සමරන්නට හැකියාව ලැබී තිබෙන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා රට භාරගත් නිසා යැයි එක්සත් ජාතික පක්‍ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා ඊයේ (09 දා) පැවැසීය.

කොවිඩ් සහ ආර්ථික ප්‍රශ්න නිසා පසුගිය අවුරුදු කිහිපයම සිංහල හින්දු අවුරුදු සමරන්නට නොහැකි වූවත් මෙවර අවුරුද්ද සමරන්න ජනතාවට පුළුවන්කම ලැබී තිබෙන බව ද ඊයේ (09 දා) ගාල්ලේ පැවැති මාධ්‍ය හමුවකදී වජිර අබේවර්ධන මන්ත්‍රීවරයා පැවැසීය.

පසුගිය කාලය තුළ ජනතාව පෙට්‍රල්, ඩීසල්, භූමිතෙල්, ගෑස් ලබාගැනීමට පෝලිම්වල සිටි බවත් අද ජනතාව පෝලිම්වල සිටින්නේ අලුත් අවුරුද්දට බඩුමුට්ටු ගැනීමට බවත් පැවසූ ඒ මහතා මේ වනවිට රට තුළ කිසිදු භාණ්ඩ හිඟයක් නොමැති බව ද කීය.

මේ වනවිට සියලු භාණ්ඩවල මිල ගණන් අඩුවෙමින් පවතිනවා පමණක් නොව පසුගිය සමයේ සොයාගැනීමට නොහැකිව තිබූණු පෙට්‍රල්, ඩීසල්, භූමිතෙල්, ගෑස් අඛණ්ඩව සපයන බවත් පැවසූ අබේවර්ධන මහතා අවුරුද්දට ගමන්බිමන් යෑමට වාහනවල ඉන්ධන කෝටාව වැඩිකර ඇති බව ද පැවැසීය.

චමින්ද සිල්වා


advertistmentadvertistment