රාගම සිද්ධියට  ඇල්ලූ 9 දෙනාට ඇප

129

පාස්පෝට් උසාවිය භාරයට-නඩුව යළි අපේ‍්‍රල් 29 විභාගයට

රාගම වෛද්‍ය පීඨයේ නේවාසිකාගාර පරිශ‍්‍රයේ ඉකුත් 2 වැනිදා ඇතිවූ ගැටුම්කාරී සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගත් 9 දෙනා ඊයේ (7 දා) වැලිසර මහෙස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඇපමත මුදාහැරීමට මහෙස්ත‍්‍රාත් හේෂාන්ත ද මෙල් මහතා නියෝග කළේය.

එහිදී එක් අයෙකුට රුපියල් 5000 බැගින් මුදල් ඇප සහ රුපියල් ලක්‍ෂ 5 බැගින් ශරීර ඇප මත මුදාහැරීමට නියෝග කළේය.

මෙම නඩුව ලබන අපේ‍්‍රල් 29 දින වැලිසර මහෙස්ත‍්‍රාත් අධිකරණයේදී යළි විභාගයට ගන්නා බවද මහෙස්ත‍්‍රාත්වරයා මෙහිදී සඳහන් කළේය.

මෙසේ ඇප නියම වූ සැකකරුවන් 9 දෙනා අතරින් සැකකරුවන් 6 දෙනෙක් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කලින් දිනක රාගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රිමාන්ඞ් භාරයට පත්වූවෝ වෙති. අධිකරණයට ඉදිරිපත් කොට සිටි 9 දෙනා අතරින් 3 දෙනෙක් සිද්ධිය සම්බන්ධයෙන් ඉකුත් 6 වැනිදා රාගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඊයේ වැලිසර මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවෝ වූහ. ඔවුන් තිදෙනා අතරින් එක් අයකු රාගම වෛද්‍ය පීඨයේ සිසුවෙකි.

ඇප ලැබූ සැකකරුවන් 9 දෙනාගේම විදෙස් ගමන් බලපත‍්‍ර අද (8 ද) අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කළ මහෙස්ත‍්‍රාත්වරයා ඉදිරි සෑම ඉරිදා දිනයකම පෙරවරුවේ රාගම පොලිසියට වාර්තා කරන ලෙසද සැකකරුවන්ට නියෝග කළේය. රාගම පොලිසියේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක රාජපක්‍ෂ මහතාගේ මෙහෙයවීමෙන් ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක අසේල පෙරේරා මහතා විසින් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

ජාඇල අතිරේක – බී. ටී. කේ.,කැලණිය මංගලා මදුරප්පෙරුම

advertistmentadvertistment
advertistmentadvertistment