පොහොට්ටුවේ කැරළිකාර කණ්ඩායමේ ප්‍රබලයකු වූ මහාචාර්ය ජී. එල්. පීරිස් රාජ්‍ය මුදල් සම්බන්ධයෙන් වගවීම සහ වගකීම දරන පාර්ලිමේන්තුව එම අරමුණට එරෙහිව කටයුතු කරන ආකාරය අවධාරණය කළේය. ඒ රජයට බදු අදායම් අහිමි කිරීමට වරදකරුවකු වූ මුස්ලිම් නැෂනල් ඇලයන්ස් (Muslim National Alliance) පුත්තලම් දිස්ත්‍රික්ක මන්ත්‍රී අලි සබ්රි රහීම් තවදුරටත් පාර්ලිමේන්තුවේ ආචාර ධර්ම සහ වරප්‍රසාද කමිටුවේ සාමාජිකත්වය කුමන පදනමක් මත දරන්නේද යන ප්‍රශ්නය මතු කිරීමෙනි. රුපියල් ලක්ෂ 780 වටිනා රත්‍රන් සහ ජංගම දුරකථන බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් හොර රහසේ පැන්න වීමට එම මන්ත්‍රීවරයා කළ උත්සාහය රේගුව පසුගිය මාර්තු මාසයේ තුන්වන සතියේ ව්‍යාර්ථ කළේය. එම මහජන නියෝජිතයා 2020 අගෝස්තු මාසයේ පාර්ලිමේන්තුවට පත් වූවාට පසුව ඩුබායි රාජ්‍යයට කී වරක් ගොස් ඇතිද?

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළුව මන්ත්‍රීවරු ගණනාවක් රහීම් මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් වහාම ක්‍රියාමාර්ගයක් ගතයුතු බවට කථානායකවරයාගෙන් කළ ඉල්ලීම ඉවත දමා ඇත. ආණ්ඩුවේ මැදිහත්වීමෙන් එම මන්ත්‍රීවරයාට පැනවූ දඩය රුපියල් ලක්ෂ 75 කට සීමාකළ බවට විපක්ෂය කරන චෝදනාව ලෙහෙසියෙන් බැහැර කළ නොහැක.

එලෙසම රහීම් මන්ත්‍රීවරයා ස්වභාවික සම්පත් සහ තිරසාර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුවේ සාමාජිකයෙකි. පසුගිය මාසයේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රය ඉහළ අපනයන ආදායමක් උපයා දෙන කර්මාන්තයක් ලෙස සංවර්ධනයට කිරීමට අවශ්‍ය කඩිනම් පියවර ගැනීම සම්බන්ධයෙන් කළ සාකච්ඡාවකට රහීම් මන්ත්‍රීවරයා ද සහභාගි විය. රත්‍රන් ජාවාරමේ යෙදුන බවට වරදකරුවකු වූ පුද්ගලයකු මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය ආශ්‍රිත අපනයන හා ප්‍රති අපනයන වැඩිදියුණු කිරීම තුළින් වාර්ෂිකව රටට ඉහළ අපනයන ආදායමක් උපයාගත හැකි බැවින් එම ඉලක්කය සපුරා ගැනීම සඳහා ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සහ සැලසුම් කඩිනමින් ඉදිරිපත් කරන සාකච්ඡාවකට සහභාගි කරගැනීම අදහගත් නොහැකි තත්ත්වයකි.

සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති කරු ජයසූරිය, 82, පාර්ලිමේන්තුවේ ප්‍රධාන වගකීම හා යුතුකම වනුයේ රාජ්‍ය පාලනයට අවශ්‍ය නීති සම්පාදනය කිරීම බව පසුගියදා අවධාරණය කළේය. එතුමා පෙන්වා දුන්නේ එම වගකීම සහ යුතුකම ඉටු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ යම් පසුබෑමක් ඇති බව පෙනේ.

‘පාර්ලිමේන්තුව සතු වගකීම හා කාර්යභාරය නිවැරදිව තේරුම් ගැනීම ඉතා වැදගත් වේ’ යන ශීර්ෂය යටතේ සැප්තැම්බර් 09,2023 දින නිකුත් කළ එම කෙටි නිවේදනය ශ්‍රී ලංකාව බංකොළොත් කිරීමට අඩු වැඩි වශයෙන් දායකවූ පාර්ලිමේන්තුව නියෝජනය කළ සහ කරන සියලුම මැති ඇමැතිවරුන්ගේ මෙන්ම වර්තමාන කථානායක මහින්ද යාපා අබේවර්ධනගේ අවධානයට යොමු විය යුතුය.

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු නොවුවත් මුදල් සහ ආරක්ෂක අමාත්‍ය ධුර ඇතුළු අමාත්‍යධුර කිහිපයක්ම දරන බැවින් විධායකය මෙන්ම ව්‍යවස්ථාදායකය ද එකවර නියෝජනය කරයි. එතුමා එක්සත් ජාතික පක්ෂයේ නායකයාද වේ. එබැවින් 1977 පාර්ලිමේන්තුවට පළමුවරට පත්වූ එතුමාගේ වගවීම සහ වගකීම සම්බන්ධයෙන්ද අමුතුවෙන් කිව යුතු නැත. (2020 අගෝස්තු – ජුනි 2021) කාලය හැර වික්‍රමසිංහ පාර්ලිමේන්තුව අඛණ්ඩව නියෝජනය කර ඇත.

කථානායක ලෙස 2015 සැප්තැම්බර් සිට 2019 නොවැම්බර් ජනාධිපතිවරණය දක්වා එම ධුරය හෙබවූ ජයසූරියගේ කාලය තුළ පාර්ලිමේන්තුවේ හැසිරීම විමසීමට භාජනය නොකර සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති ලෙස එතුමා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් ඉදිරිපත් කළ නොහැක.

ක්‍රියාකාරී දේශපාලනයෙන් ඉවත් වීමෙන් පසුව ජයසූරිය සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපතිකම භාර ගත්තේය. ඒ එම සංවිධානයේ තුන්වන නායකයා ලෙසය. අපවත් වූ මාදුළුවාවේ සෝභිත හිමියන්ගෙන් පසුව මහාචාර්ය සරත් විජේසූරිය එම සංවිධානයේ නායකත්වයට පත්විය.

හිටපු කථානායකවරයා නිකුත් කළ නිවේදනය ඒ ආකාරයටම පහත සඳහන් වේ: විධායක ජනාධිපති ක්‍රමය පදනම් කර ගත් 1978 ආණ්ඩුක්‍රම වාවස්ථාව හේතුවෙන් යම් සීමාවන්ට නතු වීමට සිදු වී නිබුණ ද පාර්ලිමේන්තුව සතු බලය නිවැරදිව තේරුම් ගනිමින් ඒ මඟින් විය යුතු කාර්යභාරය මැනවින් ඉටු කිරීම සියලු පක්ෂ නායකයන් ද ඇතුළු සමස්ත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වගකීම වන බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය නැවත නැවතත් අවධාරණය කරනු කැමැත්තෙමු.

එමෙන්ම සමස්ත ජාතිය කෙරෙහිම බලපෑමක් ඇති කරන ඇතැම් වැදගත් කරුණු මුල් කර ගනිමින් පොදු ක්‍රියාමාර්ගයන්ට අවතීර්ණ වීම හා වාද විවාද පැවැත්වීම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයකි. එසේ වුව ද පාර්ලිමේන්තුවේ ප්‍රධාන වගකීම හා යුතුකම වනුයේ “රාජ්‍ය පාලනයට අවශ්‍ය නීති සම්පාදනය කිරීමයි” මෙහි දී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ යම් පසුබෑමක් ඇති බව පෙනේ.

මේ රටේ ඉදිරි අනාගතයට විශාල වශයෙන් බලපෑමක් කළ හැකි නීති හා අණපනත් ගණනාවක්ම යාවත්කාලීන කිරීමේ අවශ්‍යතාවය සැළකීමේ දී පාර්ලිමේන්තුව ඒ පිළිබඳව වඩා වැඩි අවධානයක් යොමු කළ යුතුව ඇතැයි යන්න අපගේ විශ්වාසයයි. මේ රටේ අද බලාත්මකව ඇති ඇතැම් අණපනත් මේ වන විට අවුරුදු සියයකටත් වඩා පැරණි ඒවා බව අප අමතක නොකළ යුතුය. ඒවා නූතන ලෝකයට ගැළපෙන ආකාරයට සංශෝධනය කළ යුතුව තිබේ. ඒ සඳහා ද මූලික වගකීම හා කාර්යභාරය පැවරී ඇත්තේ අපගේ පාර්ලිමේන්තුවට ය.

එබැවින් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම මන්ත්‍රීවරුන්ගෙන් අප ඉල්ලා සිටින්නේ රට මුහුණ දී ඇති බැරෑරුම් තත්ත්වය ද ඒ තුළ ජනතාව පෙළමින් සිටින අසීරුතාවයන් හා ඔවුන් ඉදිරියේ ඇති අවදානම ද සැලකිල්ලට ගෙන රටේ අනාගතය උදෙසා සාධනීය පියවරයන්ට යොමු වන ලෙසට ය.”

රාජ්‍ය පාලනයට අවශ්‍ය නීති සම්පාදනය කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ වගවීම සහ වගකීම හිටපු කථානායකවරයා අවධාරණය කිරීම පැසසිය යුතු ක්‍රියාවකි. නමුත් ඒ සමාන හෝ ඊටත් වඩා වැදගත් රාජ්‍ය මූල්‍ය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ වගවීම සහ වගකීම පිළිබඳව වචනයක්වත් එම නිවේදනයේ සඳහන් නොවීම බරපතළ වරදකි. එය සාමාන්‍ය අතපසුවීමක් ලෙස බැහැර කළ නොහැක.

රාජ්‍ය පාලනයට අවශ්‍ය නීති සම්පාදනය නොකිරීම පාර්ලිමේන්තුවේ යම් පසුබෑමක් ලෙස කිසිසේත් අර්ථ දැක්වීමක් කළ නොහැකිය. එය පසුබෑමක් නොව සමාව දිය නොහැකි වරදකි. පාර්ලිමේන්තුවේ මූලික වගකීම් දෙකකි. එනම් රාජ්‍ය මූල්‍ය පාලනය සහ නීති සම්පාදනයයි. එම වගකීම් සහ වගවීම යන දෙක වෙන වෙනම විමසා බැලිය නොහැක.

කරු ජයසූරියගේ කථානායක ලෙස වැඩ භාරගැනීමට පෙර සහ පසුව ක්‍රියාත්මක කළ මහා බැංකු බැඳුම්කර වංචා දෙක පාර්ලිමේන්තුව නිර්වස්ත්‍ර කළේය. පළමුවන ‘හපන්කම’ 2015 පෙබරවාරි 27 ක්‍රියාත්මක කළ අතර දෙවන ‘මෙහෙයුම’ 2016 මාර්තු 31 ක්‍රියාවට නැගූ බව හිටපු කථානායකවරයාට අමතක විය නොහැක. එම කාලය තුළ පාර්ලිමේන්තුව ක්‍රියා කළ ආකාරය ඇත්ත වශයෙන්ම සෝචනීයයි. ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව මැති ඇමැතිවරුන්ගේ අයිතිවාසිකම් සහ වරප්‍රසාද ආරක්ෂා කිරීමට මුල්තැන දීමට කිසිදා පසුබට වූයේ නැත. ජේ. ආර්. ජයවර්ධනගේ 1978 ව්‍යවස්ථාව ක්‍රියාත්මක කිරීමෙන් පසුව දේශපාලනයේ පරිහානිය ආරම්භවූ අතර අද වනවිට සමස්ත පාර්ලිමේන්තු ක්‍රමයම බරපතළ අර්බුදයකට ලක් වී ඇත. ඊට මූලික හේතුව පාර්ලිමේන්තුවේ මූලික වගකීම් දෙක පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ විපක්ෂ කණ්ඩායම් නොසලකා හැරීමයි.

● යහපාලන පාර්ලිමේන්තුව

වර්තමානයේ ක්‍රියාත්මක නීති සහ අණපනත් නූතන ලෝකයට සහ ශ්‍රී ලංකාවේ අවශ්‍යතාවයන්ට ගැළපෙන පරිදි යාවත්කාලීන කිරීමේ ප්‍රබල අවශ්‍යතාවය හිටපු කථානායක ජයසූරිය පෙන්වා දී ඇත. එතුමා කථානායක ධූරය දැරූ කාලය තුළ පාර්ලිමේන්තුව සම්බන්ධයෙන් පසුවිපරමක් කළ යුතුය. ඒ එතුමා පාර්ලිමේන්තුවට පත්වූ එජාපය සහ එම පක්ෂය සහ ශ්‍රීලනිපය එක්වී ගොඩනැඟූ යහපාලන ආණ්ඩුව පාර්ලිමේන්තුව හැසිරවූ ආකාරය පිළිබඳව බරපතළ ගැටලු තිබෙන බැවිනි.

කරු ජයසූරිය කථානායක ලෙස වගකීම දැරූ කාලයේ පාර්ලිමේන්තුව සම්මත කළ අංක 12 දරන 2017 විදේශ විනිමය පනත හේතුවෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන ගණනක කන්දක් අපනයනකරුවන් විදේශවල රඳවා ගෙන ඇති බවට වර්තමාන අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ පාර්ලිමේන්තුව තුළ සහ එයින් පිටත කර ඇති චෝදනාව බරපතළය. එතුමාද යහපාලන පාර්ලිමේන්තු කණ්ඩායමේ සාමාජිකයෙකි.

එම පනත ක්‍රියාත්මක කිරීමෙන් සාර්ථකව ක්‍රියාත්මක වූ අංක 24 දරන 1953 විදේශ විනිමය පනත බලරහිත විය. එදා රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා ලෙස ඉදිරිපත් කළ එම පනතට පක්ෂව ඡන්ද 94 ක්ද විපක්ෂව 18 ක්ද ප්‍රකාශ විය. මැති ඇමැතිවරු 113 දෙනකු ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටීමද අදහාගත නොහැක.

තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පනත යටතේ මෙම ලියුම්කරු යහපාලන පනතට පක්ෂව සහ විපක්ෂව ඡන්දය දුන් මන්ත්‍රීවරු කවුරුදැයි හෙළිකරන ලෙස පාර්ලිමේන්තුවෙන් මෑතකදී ඉල්ලීමක් කළේය. තොරතුරු දැන ගැනීමේ පනත යටතේ සැප්තැම්බර් 04, 2023 දින කළ ඉල්ලීම පාර්ලිමේන්තුවට ලැබුණු බවට අදාළ අංශය විසින් තහවුරු කළේය. ඉල්ලීම කළ දින සිට සති දෙකක් ඇතුළත පාර්ලිමේන්තුවෙන් සාධනීය පිළිතුරක් ලැබිය යුතුය.

රටට ඉතාමත් අහිතකර පනතක් ලෙස ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ හඳුන්වා දී ඇති අංක 12 දරන 2017 විදේශ විනිමය පනත අනුමත කළ කථානායකවරයා ලෙස කරු ජයසූරිය මහතාට ආන්දෝලනාත්මක තත්ත්වය සම්බන්ධයෙන් අදහසක් ඉදිරිපත් කළ හැකිය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව එවකට මහා බැංකු නායකත්වය කැඳවූ අවස්ථාවේදී එවකට මහා බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි අංක 12 දරන 2017 විදේශ විනිමය පනත සම්බන්ධයෙන් ඉතාමත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළේය. එවකට එජාප මන්ත්‍රී තේරීම් කමිටු සාමාජික රවී කරුණානායක කළ ප්‍රශ්න කිරීම අතරේ කුමාරස්වාමි අවධාරණය කළේ නව පනත පිළිබඳව රජය මහා බැංකුවෙන් උපදෙස් ලබා නොගත් බවයි. නව පනත මහා බැංකුවේ ඊට පෙර ක්‍රියාත්මක කළ නියාමන කටයුතුවලට අවහිර කර ඇති බව ප්‍රකාශ කළේය. මහා බැංකු කණ්ඩායම තේරීම් කාරක සභාව ඉදිරියේ කළ කරුණු දැක්වීම අවධාරණය කළේ පාර්ලිමේන්තුවේ අසමත් භාවය නොවේද? කරු ජයසූරිය කථානායකවරයා මෙම තත්ත්වය නොදැන සිටිය නොහැක. අංක 12 දරන 2017 විදේශ විනිමය පනත නිවැරදි කිරීමට තවමත් පියවර ගැනීමට නොහැකි වීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම පක්ෂ ලැජ්ජා විය යුතුය.

හිටපු කථානායක ජයසූරිය නිකුත් කළ නිවේදනයේ මහජන මුදල් සම්බන්ධයෙන් සහ අංක 12 දරන 2017 විදේශ විනිමය පනත සංශෝධනය වහාම කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කිරීමට අපොහොසත් වීම කනගාටුදායකය.

වික්‍රමසිංහ ජනාධිපතිවරයා මෑතකදී පාර්ලිමේන්තුවේ අසමත් වීම සම්බන්ධයෙන් බරපතළ ප්‍රකාශයක් කළේය. ඒ ඉහළ කාර්ය සාධනයක් පෙන්නුම් කළ රාජ්‍ය ආයතන 65කට රන් සහ රිදී සම්මාන පිරිනැමීම ජනපති ප්‍රධානත්වයෙන් පසුගිය ජුලි 18 මහින්ද යාපා අබේවර්ධන කථානායකවරයාගේද සහභාගිත්වයෙන් පාර්ලිමේන්තුවේදී සිදුකළ අවස්ථාවේදීය.

මූල්‍ය කටයුතු සම්බන්ධව වැඩිම කමිටු ප්‍රමාණයක් පත්කර ඇති ලොව එකම පාර්ලිමේන්තුව වන ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට රට තුළ මූල්‍ය විනයක් ඇති කිරීම සඳහා වගකීම පැවරී ඇති බව පැවසූ ජනාධිපතිවරයා එම ආයතනයේ අසමත්කම අවධාරණය කළේය.

වියදම් පාලනයේ දී මෙන්ම රාජ්‍ය මූල්‍ය සම්බන්ධව මූලික වගකීමක් පැවරෙන පාර්ලිමේන්තුව එම බලය නිසි ලෙස භාවිතා නොකිරීම රටේ වත්මන් මූල්‍ය අර්බුදයට ප්‍රධාන හේතුවක් වූ බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. මෙම අපවාදයෙන් ජනාධිපතිවරයාටද ගැලවිය නොහැක. එතුමා යහපාලන අග්‍රාමාත්‍ය ලෙස 2015-2019 කාලය තුළ සිදුවූ මහා බැංකු බැඳුම්කර මංකොල්ල අමතක කර කතා කළ නොහැක. ඒ විශේෂයෙන්ම විශේෂ ගැසට් පත්‍රයක් මගින් මහා බැංකුව 2015 ජනවාරි මාසයේදී එතුමාගේ අමාත්‍යාංශය යටතට පත් කළ නිසාය.

යහපාලන කාලය තුළ ලෝක මූල්‍ය වෙළෙඳපොළෙන් ගිනි පොලියට ඇමෙරිකානු ඩොලර් බිලියන 12.5 ගැනීම රටේ සමස්ත ආර්ථිකයට කළ බලපෑම අදටත් නිසි විමසුමකට ලක්වී නැත. කරු ජයසූරිය යහපාලන කථානායකවරයාය. එතුමාගේ ක්‍රියාකලාපය ද අනිවාර්යෙන්ම විමසුමට ලක්විය යුතුය.

මූල්‍ය වගකීම සහ වගවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ක්‍රියාකලාප රටට හෙනයක් බව නැවතත් අවධාරණය වූයේ සීනි බදු වංචාවට (ඔක්තෝබර් 2020) සහ රුපියල් බිලියන ගණනක රජයේ ආදායම අහිමි කිරීමට (නොවැම්බර් 2019) වගකිවයුතු මුදල් අමාත්‍යාංශය රිදී සම්මානයෙන් 2019 සහ 2020 වසර දෙක සඳහාම ඉහළ කාර්ය සාධනයක් පෙන්නුම් කළ රාජ්‍ය ආයතන අතරට ඇතුළු කිරීමයි. මෙවැනි වගකීම් විරහිත පාර්ලිමේන්තු නායකත්වයක් ලෝකයේ කොහෙවත් තිබිය නොහැක.

නීති සම්පාදනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ යම් පසුබෑමක් තිබෙන බව හිටපු කථානායකවරයා කනස්සල්ල පල කර ඇති මේ මොහොතේ යහපාලන පාර්ලිමේන්තුව ක්‍රියාත්මක කළ ව්‍යාපෘති තුනක් සම්බන්ධයෙන් මතක් කර දීමට කැමැත්තෙමි. (1) ඇමෙරිකාව යහපත් පාලනයක් ඇතිකිරීමට අවශ්‍ය ක්‍රියාත්මක කළ ඇමෙරිකානු ඩොලර් මිලියන 13 ක් වටිනා (රුපියල් බිලියන 1.92) ව්‍යාපෘතිවලින් රටට යම්කිසි ප්‍රයෝජනයක් වුවාද? (2) අපවත් වූ මාදුළුවාවේ සෝභිත හිමියන් සිහිපත් වීමට අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගම්මානයක් සංවර්ධනය කිරීමට ඉන්දියාව ප්‍රධානය කළ රුපියල් මිලියන 300 එම ව්‍යාපෘතිය සම්පූර්ණ කිරීමට හැකි වූවාද ? (3) මැති ඇමැතිවරු 180 ක් පමණ සහ පාර්ලිමේන්තු වාර්තාකරුවන්/ වාර්තාකාරිනියන් කණ්ඩායමක් චීනයට යැවීමෙන් ඉටු කර ගැනීමට බලාපොරොත්තු වූ අරමුණු ඉටු වූවාද ?

ඊට අමතරව පාර්ලිමේන්තුවේ වගකීම සහ වගවීම ඉටු කිරීමට මහත් පිටුවහලක් වන තොරතුරු දැන ගැනීමේ පනතට එරෙහිව යහපාලන පාර්ලිමේන්තුව නඩු මගට බැසීම සම්බන්ධයෙන් හිටපු කථානායකවරයා සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති ලෙස යම් අදහසක් ඉදිරිපත් කළ යුතු නොවේද? අභියාචනාධිකරණය පාර්ලිමේන්තුව විජය පුවත්පත් සමාගමේ චාමර සම්පත් මාධ්‍යවේදියා තොරතුරු දැනගැනීමේ පනත යටතේ කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම වැරදි බව මෑතකදී තීරණය කිරීම සම්බන්ධයෙන් වත්මන් පාර්ලිමේන්තුවට නිහඬව සිටිය නොහැක. ඒ වැරැද්ද කළ පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස කරු ජයසූරියටද නිහඬ පිළිවෙතක් අනුගමනය කළ නොහැකිය.

තමන් සම්මත කළ නීතියකට එරෙහිව උසාවි ගිය පාර්ලිමේන්තුවක් ලෝකයේ කොහෙවත් තිබිය නොහැක. ඒ යහපාලන පාර්ලිමේන්තුවයි. තොරතුරු දැන ගැනීමේ පනතට එරෙහිව පාර්ලිමේන්තුව ගත් අධිකරණය වැරදි බවට නිගමනය කළ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන නියෝජනය කරන පාර්ලිමේන්තුවේ විශාලම පොහොට්ටු පක්ෂය ඇතුළු සියලුම පක්ෂ නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම සම්බන්ධයෙන් ජනතාව පුදුම විය යුතු නැත. ඒ පක්ෂ අතර කෙතරම් ගැටුම් සිදුවුවත් පාර්ලිමේන්තුව දේශපාලන පක්ෂවලට මිස ජනතාවට නොවන නිසාය.

ෂමින්ද්‍ර ෆර්ඩිනැන්ඩු

advertistmentadvertistment
advertistmentadvertistment