රුසියාවේ රැකියා දෙනවා යැයි කියා හිටපු හමුදා සෙබළුන්ගේ කෝටියක මුදල් වංචාකළ සැකකරු අත්අඩංගුවට

176

රුසියාවේ රැකියා ලබාදෙන බවට පවසා විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ගෙන් රුපියල් කෝටියකට අධික මුදලක් වංචාකළ බව කියන සැකකරුවකු මොරටුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන මොරටුව මහෙස්ත්‍රාත් උද්දාල සුහන්දුරුගොඩ මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පෙරේදා (21 දා) ලබන 04 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කළේය.

මෙලෙස බන්ධනාගාර ගතකරනු ලැබුවේ මොරටුව කටුබැද්ද බණ්ඩාරනායක මාවතේ පදිංචි 52 හැවිරිදි පද්ම ගමගේ නමැති පුද්ගලයෙකි. මෙම ජාවාරම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබූ වාද්දුව ප්‍රදේශයේ පදිංචි ප්‍රසන්න සංජීව නමැත්තෙකුටද ගුවන් ගමන් තහනමක් පැනවීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

රුසියාවේ ගොවිපළක රැකියා ලබාදෙන බවට පවසා එක් අයකුගෙන් රුපියල් ලක්ෂ අට, දහය ලෙස ලබාගෙන ඇති පුද්ගලයන් 22 ක් පමණ මොරටුව පොලිසියට පැමිණිලි කර තිබෙන අතර ජාවාරමට හසුවූ තවත් පිරිසක් පැමිණිලි කිරීමට පැමිණෙමින් සිටින බව උසස් පොලිස් නිලධාරියෙක් ‘දිවයින’ ට පැවසිය.

ජාවාරමට හසුවූ පිරිස් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් හමුවන අතර ඔවුන් තම නිවාස, වාහන, ඉඩම් උකසට තබා මුදල් සොයාගෙන ඇති බව විමර්ශනවලදී හෙළිවී ඇත.

ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙස්ඨ පොලිස් අධිකාරී ප්‍රසන්න බ්‍රාහ්මණ මහතාගේ උපදෙස් මත මොරටුව සහකාර පොලිස් අධිකාරි තරිඳු අනුරංග, මූලස්ථාන ප්‍ර.පො.ප. නිමල් ප්‍රැන්සිස් යන මහත්වරුන්ගේ අධීක්‍ෂණයෙන් මොරටුව සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපති උ.පො.ප. ලනුමෝදර සිල්වා, පො.සැ. රාජකරුණා ඇතුළු නිලධාරීහු කණ්ඩායමක් සැකකරු අධිකරණයට ඉදිරිපත් කර වැඩිදුර විමර්ශන සිදු කරති.

ඉරංග ගුණවර්ධන – මොරටුව විශේෂ

advertistmentadvertistment
advertistmentadvertistment