රෙමාල් චණ්ඩ සුළි කුණාටුවක් වෙයි – මරණ 10ක්: හතළිස්හතර දහසක් පීඩාවට

187

20කට තුවාල: නිවාස 11ක් විනාශයි – වැඩිම විපත ගම්පහට
කඩුගන්නාවේ අනතුරුදායක ගල් කුට්ටි ඉවත් කරන නිසා ප්‍රවේශම් වන්නයි ඉල්ලයි

අධික වැසි හා අධික සුළං තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 19කට අයත් පවුල් එකොළොස් දහස් හත්සිය හැටපහකට (11,765) අයත් පුද්ගලයන් හතළිස්හතර දහස් තුන්සිය අනූඅට දෙනකු (44,398) පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එසේම ආපදා හේතුවෙන් මේ වනවිට පුද්ගල මරණ 10ක් ද වාර්තාවන බව ද එම මධ්‍යස්ථානය කියයි.

එම මාරණ රත්නපුර, ගාල්ල, පුත්තලම, බදුල්ල, නුවරඑළිය, හපුතලේ යන ප්‍රදේශවලින් වාර්තා වන බවද එම මධ්‍යස්ථානය කියයි. ආපදා තත්ත්වයන් හේතුවෙන් පුද්ගලයන් 20 දෙනකු පමණ තුවාල ලබා ඇතැයි ද එම මධ්‍යස්ථානය කියයි.

ආපදා තත්ත්වයන් හේතුවෙන් පූර්ණ ලෙස හානියට පත් වූ නිවාස ගණන 11කි. එසේම අර්ධ ලෙස හානියට පත්වූ නිවාස ගණන 3140කි. එසේම මෙම ආපදා තත්ත්වයන් හේතුවෙන් පවුල් 122කට අයත් පුද්ගලයන් 464 දෙනකු ඥාති නිවාසවල රැඳී සිටිති.

එමෙන්ම, පවුල් 14කට අයත් පුද්ගලයන් 533 දෙනකු ආරක්ෂිත ස්ථාන 7ක රඳවා සිටින බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.

පවතින අධික වැසි තත්ත්වය හමුවේ වැඩිම පිරිසක් මේ වනවිට විපතට පත්ව සිටින්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් බවත්, පවුල් 5663කට අයත් පුද්ගලයන් 22,634ක් දෙනකු අයත් බවත් එම මධ්‍යස්ථානය පවසයි.

පවතින අධික වැසි හා අධික සුළං තත්ත්වය හමුවේ රත්නපුර, කොළඹ, කෑගල්ල, අනුරාධපුර, මහනුවර, ගාල්ල, කළුතර, යාපනය, පුත්තලම, ගම්පහ, හම්බන්තොට, බදුල්ල, මාතර, කුරුණෑගල, පොළොන්නරුව, ත්‍රිකුණාමලය, කිලිනොච්චිය, නුවරඑළිය, මුලතිව් යන දිස්ත්‍රික්කවල ජනතාව මේ වනවිට පීඩාවට පත්ව සිටිති.

එසේම නායයෑමේ අවදානම සහිත දිස්ත්‍රික්ක 7ක් සඳහා අද (27දා) පස්වරු 4.00 දක්වා ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ. කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, කෑගල්ල, නුවරඑළිය හා රත්නපුර යන දිස්ත්‍රික්කවල ජනතාවට එම අනතුරු ඇඟවීම කර ඇතැයි එම මධ්‍යස්ථානය කියයි.

එම දිස්ත්‍රික්කවල නායයෑමේ අවදානම සහිත ප්‍රදේශ ආශ්‍රිතව වාසය කරන ජනතාව ඒ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන්නැයි එම මධ්‍යස්ථානය ඉල්ලා සිටියි. හපුතලේ – බදුල්ල පාරේ නිවසක සේවය කරමින් සිටි 65 හැවිරිදි කමලාවතී නමැති කාන්තාවක ඒ අසල තිබූ කොස් ගසක අත්තක් නිවසේ කුස්සිය වහලය මතට කඩා වැටී සිදුවූ අනතුරින් මරුමුවට පත් වී තිබේ.

මීට අමතරව මෙම අනතුරින් එම නිවසේ සිටි තවත් කාන්තාවක හා පිරිමි පුද්ගලයකු තුවාල ලබා ඇති අතර ඔවුන් ප්‍රතිකාර සඳහා පත්තැටිය රෝහලට ඇතුළත් කර තිබේ.

තුවාල ලබා ඇත්තේ හපුතලේ දිසා රෝහලේ ජන නළ කාර්මිකයකු ලෙස සේවය කරන 85 හැවිරිදි විල්බට් විතානගේ සහ ඔහුගේ බිරිඳ වන එම රෝහලේම පවුල් සෞඛ්‍ය සේවිකාවක ලෙස විශ්‍රාම ලැබූ 74 හැවිරිදි සෝමාවතී නමැති කාන්තාවකි.

කොළඹ – නුවර ප්‍රධාන මර්ගයේ පහළ කඩුගන්නාව ප්‍රදේශයේ මාර්ගයට ඉහළින් ඇති අවදානම් සහිත විශාල ගල් කීපයක් ඉදිරි දින කීපයේදී ඉවත් කිරීමට නියමිතය.

එම නිසා මෙම මාර්ගය භාවිතා කරන රියැදුරන් විකල්ප මාර්ග භාවිතා කරන්නැයි රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා රියැදුරන්ගෙන් ඉල්ලා සිටියි. රාජ්‍ය අමාත්‍යවරයා එසේ පැවසුවේ එම ස්ථානයට ගොස් ස්ථානීය පරීක්ෂණයක් සිදුකිරීමෙන් පසුවය.

පසුගිය 23 වැනිදා මෙම මාර්ගයට විශාල ගසක් කඩා වැටීමෙන් පසු එම ප්‍රදේශය පිළිබඳව පරීක්ෂණයක් සිදුකර තිබිණි. එම නිරීක්ෂණයේදී මාර්ගයට ඉහළින් දැඩි අවදානම් සහිත ගල් කුට්ටි කීපයක් හා විශාල ගස් කීපයක් අවදානම් තත්ත්වයේ පවතින බවද හෙළි වී ඇත.

පවතින අධික වැසි හා සුළං තත්ත්වය හමුවේ හලාවත ආනන්ද ජාතික පාසලේ ගොඩනැඟිල්ලක් මතට විශාල ගසක් කඩා වැටී තිබේ. මේ හේතුවෙන් එම ගොඩනැඟිල්ලට දැඩි හානි සිදුවී තිබේ.

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ විදුලි කණු කඩා වැටීමෙන් හා විදුලි රැහැන්මතට ගස් කඩාවැටීමෙන් ගතවූ දින 5 තුළ විදුලිය ඇනහිටීම හේතුවෙන් ලක්ෂ 4කට අධික පිරිසක් අපහසුතාවයට පත්ව ඇතැයි ද වාර්තාවේ.

එසේම අධික සුළං හා වැසි තත්ත්වය හමුවේ 20දා සිට මේ දක්වා කොළඹ මහ නගර සභා බලප්‍රදේශ තුළ ගස් කඩාවැටීම් 59ක් වාර්තා වන බව කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස් භද්‍රානි ජයවර්ධන මහත්මිය “දිවයින”ට පැවසුවාය.

පොදු ස්ථාන, මාර්ගය ආසන්නයේ හා නිවාස අසල පිහිටි ගස් මෙලෙස කඩා වැටී ඇත. නැඟෙනහිර බෙංගාල බොක්ක ප්‍රදේශයේ පැවැති ගැඹුරු පීඩන අවපාතය චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වීමට බොහෝදුරට ඉඩ ඇති බව කාලගුණ විiා දෙපාර්තමේන්තුව පවසයි.

‘රෙමාල්‘ ලෙස ද නම් කර ඇති මෙම සුළි කුණාටුව හේතුවෙන් ගිනිකොන දිග අරාබි මුහුදු ප්‍රදේශවල, සුළඟේ වේගය පැයට කිලෝමීටර් 70 දක්වා ඉහළ යා හැකි බවද එම දෙපාර්තමේන්තුව පවසයි. අයහපත් කාලගුණය හමුවේ වේයන්ගොඩ යුද හමුදා කඳවුරු භූමියේ තිබූ බෝ ගසක අත්තක් කඩා වැටීමෙන් වේයන්ගොඩ සතිපොළට අලාභහානි සිදුවී තිබේ.

ඒ හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු පැය 2ක කාලයක් අත්හිටුවීමට සිදුවූ අතර, වේයන්ගොඩ යුද හමුදා කඳවුරේ නිලධාරීන් හා පොලිසිය එක්ව කඩාවැටුණු බෝ ගසේ අත්ත කපා ඉවත් කිරීමට පියවර ගත්තේය.

මේ අතර බස්නාහිර, සබරගමුව, වයඹ, මධ්‍යම, උතුරු පළාත්වලට අද (27දා) දිනයපුරා කඩින් කඩ වැසි ඇතිවන බව කාලගුණ විiා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුතු කාලගුණ විiාඥ ශ්‍රීමාල් හේරත් මහතා ‘දිවයින’ට පැවසීය. එසේම සවස් කාලයේ අම්පාර, මඩකලපුව යන දිස්ත්‍රික්කවලටත්, ඌව පළාතටත් වැසි ඇතිවන බවද හෙතෙම කීය.

අද සබරගමුව පළාතට හා නුවරඑළිය දිස්ත්‍රික්කයට මිලිමීටර් 75 ඉක්ම වූ තද වැසි ඇතිවිය හැකි බවද හෙතෙම කියා සිටියේය. මේ අතර, කොළඹ නගරය ආශ්‍රිතව ප්‍රධාන මාර්ග කීපයක් පෙරේදා (25දා) රාත්‍රී වසා තැබීමට කටයුතු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා කීය.

අධික සුළං සමඟ ගස් කඩා වැටීමෙන් සිදුවිය හැකි අනතුරු වළක්වා ගැනීමේ අරමුණ ඇතිව එම මාර්ග වසා දැමුණු බවද හෙතෙම කීය. බෞද්ධාලෝක මාවත, මලලසේකර මංසන්ධියේ සිට තුම්මුල්ල වටරවුම දක්වාත්, විජේරාම ග්‍රෙගරිපාර මංසන්ධියේ සිට බෞද්ධාලෝක මාවත දක්වාත්, පෙරහර මාවත, ජේම්ස් පීරිස් මාවත මංසන්ධියේ සිට රොටුන්ඩා මංසන්ධිය දක්වාත් බ්‍රේබෲක් ප්‍රදේශයත් මෙලෙස වසා තැබීමට පියවර ගත්තේය.

එසේම, අවදානම් ගස් සහිත ස්ථානවල රථවාහන නවතා ඒ තුළ නොසිටින ලෙසත්, පොලිසිය මහජනජනතාවගෙන් ඉල්ලා සිටියි. මේ අතර පවතින ධාරානිපාත වර්ෂාවත් සමග කැලණි හා කළු ගංගාවලට තවදුරටත් අධික වැසි ලැබුණහොත් ගංවතුර අවදානමක් පවතින බව වාර්මාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

පහත් බිම්වල ජනතාව ඒ ගැන අවධානයෙන් සිටින ලෙස එම දොපර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්, චමින්ද සිල්වා, හපුතලේ – බුවනෙක, කෑගල්ල – ඇම්.ඩී. පහලවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment