වෙසක් බලන්න කොළඹ එන ජනතාවගේ ආරක්‍ෂාවට පොලිසියේ 20,000ක්

22

● ප්‍රජා පොලිස් කමිටු සාමාජිකයෝත් 20,000ක්
● කොළඹ වෙසක් කලාප 7ක්
● කොළඹ දන්සල් 3000ක්,
● තොරණ 20ක්
● රටේම දන්සල් 25000ක් පරීක්‍ෂාවට පී. එච්. අයිලා 2000ක්

මුළු රටම වෙසක් සිරි අසිරියෙන් ඇළලී ගොස් ඇති අද (23 දා) වෙසක් පුන් පොහෝදා සිට 27 වැනිදා දක්වා කොළඹ නගරය ඇතුළු දිවයිනේ අනෙකුත් නගරවල වෙසක් සිරි නැරඹීමට පැමිනෙන ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් සිවිල් ඇඳුමින් හා නිල ඇඳුමින් සැරසුනු පොලිස් නිලධාරීහු විසිදහසක් (20,000) යොදවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා “දිවයින”ට ඊයේ (22 දා) පැවැසීය.

එසේම කොළඹ ඇතුළු දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල වෙහෙර විහාරස්ථාන වෙත වන්දනාමාන කිරීමට පැමිණෙන සැදැහැවතුන්ගේ ආරක්ෂාව උදෙසා ප්‍රජා පොලිස් කමිටුවල සාමාජිකයන් විසිදහසක් ප්‍රථම වතාවට පොලිසිය සමඟ එක්ව කටයුතු කරන බව ද හෙතෙම කියා සිටියේය.

වෙසක් සිරි නැරඹීමට පැමිණෙන කාන්තාවන්ට සිදුවන හිරිහැර, අතවර සම්බන්ධයෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

එසේම වෙසක් සමයේ මහමඟදී බෞද්ධාගමට නිඟාවන අයුරින් හැසිරෙන පුද්ගලයන්ට එරෙහිව ද නීතිය තදින් ක්‍රියාත්මක කරන බව ද හෙතෙම කීය.

එසේම වෙසක් නිමිත්තෙන් කොළඹ නගර සභා සීමාවේ වෙසක් කලාප 7ක් සංවිධානය වෙමින් තිබෙන බව කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස් භද්‍රානි ජයවර්ධන මහත්මිය “දිවයින”ට පැවැසුවාය.

ඒවා අද (23 දා) සිට ලබන 27වැනිදා දක්වා පැවැත්වෙන බව ද ඇය කියා සිටියාය.

කොළඹ මහ නගර සභාව අසල “පූජා” වෙසක් කලාපය ද, ජනාධිපති ලේකම් කාර්යාලය දෙස සිට හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය දක්වා “බුද්ධ රශ්මි” වෙසක් කලාපය ද, කොළඹ බේබෲක් පෙදෙසේ සිරස වෙසක් කලාපය ද, බෞද්ධාලෝක මාවතේ වෙසක් කලාපය ද, කොල්ලුපිටිය වාලුකාරාමයේ වෙසක් කලාපය ද, ගාලුමුවදොර වෙසක් කලාපය ද, පිටකොටුව ආශ්‍රිත වෙසක් කලාපය ද මෙවර වෙසක් කලාප ලෙස නම්කර ඇතැයි ඇය කීවාය.

එසේම කොළඹ නගරසීමාව ඇතුළුව ඒ අවට වෙසක් තොරණ 20කට අධික සංඛ්‍යාවක් අද සිට පුරා සතියක් ප්‍රදර්ශනය කිරීමට කටයුතු යොදා තිබේ.

ඒ අනුව තොටළඟ පැරණි තොරණ, තොටළඟ පුංචි තොරණ, කොස්ගස්හන්දිය තොරණ, පෑලියගොඩ නවලෝක තොරණ, පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය අසල තොරණ, මාලබේ, අතුරුගිරිය, තලවතුගොඩ, දෙමටගොඩ, මහරගම, කොට්ටාව, හෝමාගම ඇතුළු තොරණ් 20ක් අද සිට වෙසක් සිරි නැරඹීමට පැමිණෙන ජනතාව වෙනුවෙන් සූදානම් කර තිබේ.

එසේම ගිනස් වාර්තාවකට යෑමේ අරමුණින් ඉදිවූ පානදුර නගරයේ අඩි 82ක් උසැති අඩි 82ක් පළලැති දැවැන්ත තොරණ ද අද සිට මහජනතාව වෙනුවෙන් ප්‍රදර්ශනය කෙරේ.

එමෙන්ම අද සිට පුරා දින 4ක් දිවයින පුරා දන්සල් විසිපන්දහසකට (25,000) අධික සංඛ්‍යාවක් පැවැත්වීම සඳහා ලියාපදිංචිය ලබාගෙන ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ විධායක සාමාජික සඳුන් හේමන්ත රත්නායක මහතා “දිවයින”ට පැවැසීය.

තවත් දන්සල් ලියාපදිංචි වෙමින් තිබෙන බව ද හෙතෙම කීය.

ඒ අතර බත්, ෆ්‍රයිඩ් රයිස්, බුරියානි, කඩල, සව්, බීම, නූඩ්ල්ස්, පාන් දන්සල් වන බව ද හෙතෙම කියා සිටියේය.

එසේම දිවයින පුරා පැවැත්වෙන වෙසක් දන්සල් පරීක්‍ෂාවට මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් 2000ක පිරිසක් සූදානමින් සිටින බව ද හෙතෙම කීය.

එමෙන්ම, කොළඹ නගර සීමාවේ පවත්වන දන්සල් 3000කට අධික ප්‍රමාණයක් සඳහා ලියාපදිංචිය ලබාගෙන ඇතැයි කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය නිලධාරිනී ගීතිකා රත්නවර්ධන මහත්මිය කියා සිටියාය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment