ශ්‍රීලනිප වැ.බ. සභාපති මමයි – ඇමැති විජයදාස කියයි

212

විධායක සභාවේ 116 කගේ එකඟතාවෙන්
යෝජනා කළේ රෝහණ ලක්‍ෂ්මන්: ස්ථිර කළේ සරත් ඒකනායක:
ඩාලි පාරේ මූලස්ථානයේ අගුලු අරින්න පොලිසිය බැහැ කියයි
එහෙම නම් උසාවි එන්න – ඇමැති පොලිසියට කියයි
විධායක සභාවට මෛත්‍රීත් ඇවිත්

තමා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ වැඩබලන සභාපති ධුරයට පත්වූයේ නීත්‍යානුකූලව බවත්, ඒ සඳහා එම පක්‍ෂයේ විධායක සභාවේ 116කගේ ඒකමතික එකඟතාව තමාට හිමිවූ බවත් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ ඇමැති විජයදාස රාජපක්‍ෂ මහතා ‘දිවයින’ ට ඊයේ (21දා) පැවැසීය.

කෝට්ටේ සෝලිස් උත්සව ශාලාවේ පැවැති විධායක සභා රැස්වීමේදී විජයදාස රාජපක්‍ෂ මහතා වැඩබලන සභාපති ලෙස එම පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති ආචාර්ය රෝහණ ලක්‍ෂ්මන් පියදාස මහතා විසින් යෝජනා කර ඇති අතර පක්‍ෂයේ නියෝජ්‍ය ලේකම් සරත් ඒකනායක මහතා විසින් එය ස්ථිර කර ඇත. මේ සඳහා විධායක සභාව නියෝජනය කරමින් 116 දෙනකු සහභාගි වී ඇති අතර එහිදී විජයදාස රාජපක්‍ෂ මහතාගේ නම ඒකඡන්දයෙන් සම්මත වී තිබේ. ශ්‍රී ල.නි.ප. සභාපති වන අධිකරණයේ වාරණයට ලක්ව සිටින මෛත්‍රීපාල සිරිසේන මහතාද මෙම අවස්ථාවට සහභාගිවී සිටි අතර ඔහු විධායක සභාවේ සාමාජිකයකු ලෙස ඊට එක් වී ඇත.

විධායක සභා රැස්වීම ඊයේ පැවැත්වීමට පෙර පක්‍ෂයේ දේශපාලන මණ්ඩලය පෙරේදා (20දා) මොනාජ් උත්සව ශාලවේදී විධායක සභාව රැස්කිරීමට සාකච්ඡාවක් පැවැත්වූ බවත් එහිදී විධායක සභාව රැස් කිරීමට එකඟතාවකට පැමිණි බවත් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති රෝහණ ලක්‍ෂ්මන් පියසේන මහතා පැවැසීය. පක්‍ෂයේ දේශපාලන මණ්ඩලයේ තිදෙනෙකු පැමිණ එම අවස්ථාවට විරෝධය දැක්වූ බවද ඒ මහතා කීය.

වැඩබලන සභාපති ලෙස පත්වීමෙන් අනතුරුව ඇමැති විජයදාස රාජපක්‍ෂ මහතා පක්‍ෂයේ වැඩකටයුතු කරගෙන යෑම සඳහා ඩාලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයට පැමිණි නමුත් මූලස්ථානයට ඇතුළු වීම වළක්වාලමින් ඉබියතුරු දමා තිබිණි. ඉබියතුරු ඉවත් කර තමාට මූලස්ථානයට ඇතුළුවීමට ඉඩ ලබාදෙන ලෙස ඇමැතිවරයා එහි සිටි පොලිස් නිලධාරීන්ගෙන් ඉල්ලීමක් කළත් මූලස්ථානයේ තිබූ ලිපි ලේඛන අස්ථානගතවී ඇති බවට අපරාධමය විමර්ශනයක් සිදුව ඇති නිසා මූලස්ථානයට ඇතුළු වීමට ඉඩ ලබාදිය නොහැකි බව පොලිසිය ඇමැතිවරයාට දැනුම් දුන්නේය. එම අවස්ථාවේ මූලස්ථානය අසල දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇති විය.

පැමිණිල්ල සිදුකර ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ වැඩබලන මහ ලේකම් දුෂ්මන්ත මිත්‍රපාල මහතා බැවින් තමාට මූලස්ථානයට ඇතුළු වීමට අවස්ථාව ලබාදෙන ලෙස ඇමැතිවරයා ඉල්ලා සිටියේය. එහිදී එම ස්ථානයේ නොසන්සුන්කාරී තත්ත්වයක්ද ඇතිවී තිබුණි.

තම පාර්ශ්වයෙන් පැමිණිල්ල ඉදිරිපත් කර තියෙන්නේ අප්‍රේල් 05 වැනිදා බවත් දින 16ක් සිදු වී ඇති නමුත් පොලිසිය නිසි පරීක්ෂණයක් සිදුකර නැති බවත් පැමිණිල්ලට අදාළව විමර්ශන සිදු කළ යුත්තේ පළමු මහලේ බවත් එම නිසා තමන් ඇතුළු පිරිසට පස්වැනි මහළට යා යුතු බවත් ඇමැතිවරයා පොලිසියට පැවැසීය.

එහෙත් පොලිසිය ඊට කැමැත්ත ප්‍රකාශ නොකිරීම නිසා මෙය අධිකරණය මගින් විසඳාගත යුතු බවත් ඒ සඳහා අධිකරණයට යෑමට පොලිසියට සූදානම් වන ලෙසත් ඇමැතිවරයා කියා සිටියේය.

එහිදී එම ස්ථානයට පැමිණ සිටි මාධ්‍යවේදීන් අමතමින් ඇමැතිවරයා කියා සිටියේ තමාගේ පත්වීම නීත්‍යානුකූල බවයි. කෝට්ටේ තමා වැඩබලන සභාපති ලෙස පත්කර ගැනීමේ අවස්ථාවට පක්‍ෂයේ විධායක සභාවේ 116 දෙනකු පැමිණි බවත් එම සියලු දෙනාගේ ඒකඡන්දයෙන් තමා වැඩබලන සභාපති ධුරයට පත්කර ගත් බවත් ඇමැතිවරයා පැවැසීය.
චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment