ශාරුක්ගෙන් ගාම්බීර්ට හිස් චෙක් එකක්!

1213

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනූ කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායමේ උපදේශක ලෙස කටයුතු කළ ගෞතම් ගාම්බීර්ට අවශ්‍ය තරම් මුදලක් ලියා ගන්නා ලෙස දක්වමින් එම කණ්ඩායමේ හිමිකරු සුපිරි බොලිවුඩ් නළු ශාරුක් ඛාන් විසින් හිස් චෙක් පතක් ලබාදී ඇති බව විදෙස් ආරංචි මාර්ග සඳහන් කරයි.

කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායමට තෙවැනි වරටත් අයි.පී.එල්. ශූරතාවය හිමි කර ගැනීමට ගාම්බීර් විසින් කරන ලද කැප කිරීම අගය කරමින් ශාරුක් ඛාන් එසේ ක්‍රියා කර ඇති බව වාර්තා වේ.

නයිට්රයිඩර්ස් කණ්ඩායම හමුවේ අවසන් මහා තරගයේ දී සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම පරාජයට පත් වූ අතර ජයග්‍රාහී නයිට්රයිඩර්ස් කණ්ඩායමට ශූරතා කුසලානය සමග ඉන්දීය රුපියල් කෝටි 20 ක් (ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 72 ක් පමණ) හිමි විය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දුෂ්මන්ත චමීර ද ජයග්‍රාහී කොල්කටා කණ්ඩායමේ සාමාජිකයෙක් වේ.

තරගාවලියේ අනුශූරතාවය දිනා ගත් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම වෙනුවෙන් ඉන්දීය රුපියල් කෝටි 12.5 ක මූල්‍ය ත්‍යාගයක් හිමි වුණි. තරගාවලියේ වීරයා ලෙස සුනිල් නරේන් සම්මාන ලැබීය.

අවසන් තරගයේ කාසියේ වාසිය දිනාගත් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර පන්දු වාර 18 පන්දු 3ක් තුළ සියලු දෙනා දැවී ඔවුන් ලබා ගත් ලකුණු 113 පන්දුවාර 10යි පන්දු 3ක් තුළ කඩුලු 2ක් පමණක් දැවී ඉක්මවා යෑමට කල්කටා ක්‍රීඩකයෝ සමත් වූහ.

කොල්කටා කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ මිචල් ස්ටාර්ක් ලකුණු 14 කට කඩුලු 2ක් ලබාගැනීමට සමත් වූ අතර තරඟයේ වීරයා සම්මානය ද ඔහුට හිමි විය.

මේ අනුව කොල්කටා කණ්ඩායම අවස්ථා 4කදී අවසාන මහා තරගය සඳහා සුදුසුකම් ලබාගැනීමට සමත්ව ඇති අතර ඉන් අවස්ථා තුනකදී (2012, 2014 සහ 2024) ශූරතාව හිමිකර ගැනීමට සමත්ව ඇත.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment