සඳෙහි වැසුණු කොටසට ගිය චීන යානය සාම්පල රැගෙන එයි

233

සඳෙහි පෘථිවියට නොපෙනෙන වැසුණු කොටස (ෆා සයිඩ් ) ගවේෂණය කිරීම සඳහා චීනය විසින් යවනු ලැබූ “චැන්ග් ඊ-6 ” අභ්‍යවකාශ යානය අදාළ කොටසෙහි තිබෙන ගල් හා පස් සාම්පල රැගෙන ඊයේ (25දා) නැවත පෘථිවියට පැමිණ තිබේ. ඉකුත් මැයි මස 03 වැනිදා චීනයේ හයිනන් පළාතේ පිහිටි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට ගුවන්ගත කර තිබු අදාළ අභ්‍යවකාශ යානය මාස එකහමාරක පමණ කාලයක් සඳෙහි පෘථිවියට වැසුණු කොටසෙහි සාර්ථක ගවේෂණයක නිරත වීමෙන් පසු ඊයේ පෘථිවියට පැමිණ ඇති අතර යානය චීනයේ උතුරු කලාපයේ පිහිටි ඉනර් මොන්ගෝලියා කාන්තාරයට ගොඩබැස්වූ බව විදෙස් මාධ්‍ය පවසයි.

සඳෙහි පෘථිවියට දුරින් පිහිටි වැසුණු කොටසට සාර්ථක ලෙස අභ්‍යවකාශ යානයක් ගොඩබැස්වූ ප්‍රථම රට සේ සැළකෙන චීනයේ විද්‍යාඥයන් චැන්ග් ඊ-6 යානය විසින් පෘථිවියට රැගෙන ආ සාම්පල පරික්ෂාවට ලක් කිරීමෙන් ග්‍රහලෝක බිහි වූ ආකාරය සම්බන්ධයෙන් පැන නැගී ඇති ප්‍රධාන පෙළේ ගැටලුවලට විසඳුම් සෙවීමට බලාපොරොත්තු වන බව වාර්තා වේ. චීනය 2019ට පෙරද අභ්‍යවකාශ යානයක් සඳෙහි වැසුණු කොටසට ගොඩබස්වා තිබිණි. සඳෙහි වැසුණු කොටස පෘථිවියට දුරින් පිහිටා තිබීමත් එම කොටසෙහි පවතින දැවැන්ත ආවාට හා පැතලි බිම් ප්‍රදේශ කිහිපයක් හේතුවෙන් එම කොටසට අභ්‍යවකාශ යානයක් ගොඩබැස්වීම තාක්ෂණික වශයෙන් අභියෝගයක් බව විද්‍යාඥයෝ පවසති. මොන්ගෝලියා කාන්තාරයට ගොඩ බැස්වීමෙන් පසු චීන ධජය එහි සිටුවීමට පියවර ගෙන ඇති අතර චීන ජනාධිපති සී ජින්පින් මෙහෙයුම සම්බන්ධයෙන් එයට සම්බන්ධ වූ නිලධාරීන්ට සුබ පතා තිබේ.

සංස්කරණය – ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment