සමථ මණ්ඩලයට දැමීම ගැන සෑහීමකට පත් වෙන්න බෑ

113

පහර කෑමට ලක්වූ විධායක නිලධාරියා කියයි

රාජ්‍ය ඇමැති චාමර සම්පත් දසනායක මහතා ලංකා රාජ්‍ය පොස්පේට් සමාගමේ නිරීක්ෂණ චාරිකාවක නිරත වන අතරතුර ඇති වූ උණුසුම් තත්ත්වයකදී සේවකයකු විසින් වංචා දූෂණවලට සම්බන්ධ යැයි පවසා විධායක නිලධාරියකුට පහරදීමේ සිද්ධියට අදාළ පැමිණිල්ල ඊයේ (19) එප්පාවල පොලිස් ස්ථානයේදී විභාගයට ගැනීමෙන් අනතුරුව එම පැමිණිල්ල සමථ මණ්ඩලයට යොමු කිරීමට එප්පාවල පොලිසිය කටයුතු කර ඇත.

මෙතරම් බරපතල සිද්ධියක් සම්බන්ධව සමථ මණ්ඩලයට යොමු කිරීම සම්බන්ධව තමා සෑහීමකට පත් නොවන බැවින් මේ සම්බන්ධයෙන් ඉහළම නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පහරකෑමට ලක් වූ විධායක නිලධාරියා මාධ්‍යයට පැවසීය.

ලංකා රාජ්‍ය පොස්පේට් සමාගම් භූමිය තුළදී කර්මාන්ත රාජ්‍ය ඇමැතිවරයා හා ආයතනයේ උසස් නිලධාරීන් මෙන්ම උසස් පොලිස් නිලධාරීන් ඉදිරියේදී ආයතනයේ සේවකයකු විසින් තමාට පහරදීමක් සිදු කළ බවට සැපයුම් නිලධාරී අශෝක අබේසිරි මහතා එප්පාවල පොලිසියට පැමිණිල්ලක් සිදු කර ඇත.

එම පැමිණිල්ලට අනුව ඊයේ පෙරවරුවේ එප්පාවල පොලිස් ස්ථානය තුළදී එම පැමිණිල්ල විභාග කෙරිණි.

පැමිණිල්ල විභාගය සඳහා පැමිණිලිකරු වන ලංකා රාජ්‍ය පොස්පේට් සමාගමේ සැපයුම් නිලධාරී අශෝක අබේසිරි, ලංකා රාජ්‍ය පොස්පේට් සමාගමේ විදුලි කාර්මික ශිල්පී අනුරුද්ධ රත්නමලල යන දෙපාර්ශ්වය ඊයේ (19) පෙරවරුවේ එප්පාවල පොලිස් ස්ථානය වෙත කැඳවා තිබූ අතර, එම කැඳවීම් අනුව දෙපාර්ශ්වයම පොලිස් ස්ථානය වෙත පැමිණ තිබිණි.
තිසර සමල් – එප්පාවල


advertistmentadvertistment