ජෙරම්ට පසු පැමිණි නූතන චිංචා

1089

ජෙරම්ට පසු නූතන චිංචා හෙවත් නතාෂා එදිරිසූරිය මතුව තිබේ. ඇය ප්‍රසිද්ධිය වෙනුවෙන් කුණුහරුප කියන්නියකි. ඇයගේ කුණුහරුපවලට අත්පුඩි තලන්න පිරිසක්ද බිහිව ඇත. මොවුන් සිස්ටම් චේන්ජ් වෙනුවෙන් කළු ඇදගෙන අරගලයට ගිය අය බව පැහැදිලිය. නතාෂාගේ හිරිකිත කතා අසන මොවුන්ද යම් මානසික අර්බුදයක සිටින පිරිසක් බව පෙනේ. අම්මාට තාත්තාට බැන්නත් මොවුන් සිනාසෙමින් අත්පුඩි ගසනු ඇත.

බුදු පාමොක් සඟනට දිනෙන් දින මහාජනයාගේ සත්කාර වැඩි වනු දුටු තීර්ථකයෝ “බුදුනට ලැබෙන ලාභ සත්කාර නැති කරමු” යි කුමන්ත්‍රණ කර ඒ සඳහා ඔවුන්ගේ චිංචා නම් වූ රූමත් පරිව්‍රාජිකාව යොදා ගත්හ. කුමන්ත්‍රණය කළ දින සිට සෑම සැන්දෑවෙකම රතු පිළි හැඳ සුවඳ මල් ආදිය රැගෙන ජේතවනය බලා යෙයි. ඇය අඳුරෙහි යන්නිය දැක “කොහි යවු දැ?” යි අසන අයට “මා යන එන තැන් දැන ගන්නට තොපට වුවමනාව කිමෙක් දැ?”යි ඔවුනට සැක උපදනා ලෙසට රළු ලෙස කියයි. ජේතවනයට නොදුරු වූ තීර්ථකාරාමයෙක රාත්‍රිය ගත කර පසු දින උදෑසන ම ජේතවනයේ සිට යන්නියක සේ ඒ පැත්තේ සිට නුවර අතට යෙයි. උදෙන් ම ජේතවනයට එන උපාසකවරුන් “කොහි ලැග්ගෙහි ද මේ තරම් පාන්දොරින් එන්නේ?” යි ඇසූ විට “මා කොයි ලැග්ගත් එයින් තොපට ඇති වැඩේ මොකක් දැ?” යි බැණවැදී යෙයි. මාස දෙක තුනකට පසු වැ පහන් දොරැ ම තීර්ථකාරාමයේ සිට ජේතවනය අතට ටික දුරක් ගොස් නුවර අතට එන්නී ජේතවනයට උදෙන් ම එනවුන් “මේ උදේම කොයි සිට එවුද” යි ඇසූ විට “දෙව්රම් වෙහෙරේ ශ්‍රමණ ගෞතමයන්ගේ ගඳකිළියේ නිදා සිට එමි” යි කියයි. තව තුන් සාර මසක් ගිය තැන දවසෙක ඕ දර සුඹුල් ආදිය ලා ඊ වටා බඩ මහත් ව තිබෙන ලෙසට රෙදි කඩ වෙළා බඩදරු ලියක සෙයින් රත් පිළියක් පොරවා ගෙන සවස භාග්‍යවතුන් වහන්සේ දහම් දෙසන වේලෙහි දම් සභාවට ගොසින් ඉදිරියේ සිටියා ය. එසේ සිට “ශ්‍රමණයෙනි, ඔබ දහම්දෙසති, ඔබට දා ව මා බඩැ දරුවෙක් ඇත. වදන අවස්ථාව ළං ව ඇත. වදන ගෙයක් නියම නැත. අවශ්‍ය වුවොත් ගන්නට තෙල් මිරිස් ආදී බෙහෙත් ද නැත. ඔබේ උපාසක ව සිටිනා කොසොල් මහ රජ්ජුරුවනට හෝ අනේ පිඬු සිටාණනට හෝ විශාඛාවනට හෝ කළමනා දෑ කරන්නට විධාන නො කරනුයේ හැයි ද?” යනාදීන් ආඩාපාලි කියන්නට වන. බුදුන් වහන්සේ දෙසු ම නවතා, “තොප කියන දැයේ ඇත්ත නැත්ත තෙපි දනිවු අපිත් දනිමු” යි වදාළ සේක. එය හා සමග ම ඇය බැඳ බඩ වෙලා තිබුණු ලනු හා කඩ රෙදි ලිහී ගිලිහින. දර සුඹුළුත් කඩ රෙදිත් ඇගේ පා මුල ම වැටිණ.

මේ කොටස උපුටා ගනු ලැබුවේ බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය නාහිමියන් විසින් රචිත ශාක්‍යමුනීන්ද්‍රාවදානයන හෙවත් සිද්ධාර්ථ ගෞතම බුද්ධ චරිතය පොතෙනි. හදිසියේ චිංචා මතක් වූයේ ගල්කිස්සේ පදිංචි ගැහැනියක් බුදුන්ට නිග්‍රහ කිරීම පිළිබඳව මහත් ආන්දෝලනයක් ඇතිව තිබෙන නිසාවෙනි. අරගලයේ ක්‍රියාකාරිනියක වන ඇය ඊනියා ගෝඨාගම කඳවුරු ලාගෙන කාමය ගැන කුණුහරුප කියන්නියක වූවාය. ප්‍රහසන ශිල්පිනියක් ලෙස කටයුතු කරන නතාෂා එදිරිසූරිය විසින් කොළඹ නගරයේ පිහිටි එංගලන්ත සභාවට අයත් බිෂොප් විද්‍යාලයේ පැවති වැඩසටහනකදී බුදුන් වහන්සේ හාස්‍යයට ලක් කරමින් සිදුකළ ප්‍රකාශයක් සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබිණි. හසලක තුෂාර නම් තැනැත්තා විසින් සංවිධානය කරන මෝඩාභිමානය නම් මේ වැඩසටහන් සැබවින්ම මෙරට ආගම සංස්කෘතිය නිග්‍රහයට ලක්කිරීම වෙනුවෙන් සකස්කර තිබිණි. සිංහල බෞද්ධ සංස්කෘතිය විවේචනය කිරීම වෙනුවෙන් නතාෂා ඇතුළු කණ්ඩායම ඇමෙරිකානු ආධාර ලබන බව ප්‍රකටය. දිවැසිවරයකු බව කියන ජෙරම් පාස්ටර්ද බෞද්ධයන්ට නිග්‍රහ කර ඉර්දියෙන් නොව ගුවනින් සිංගප්පූරුව බලා පලා ගොස් තවමත් ලංකාවට පැමිණ නැත. ලංකාවට නොපැමිණ සිගප්පූරුවේ සිට සිය බැතිමතුන් මුදා ගැනීමට දේශනා පවත්වන අතර දෙවියන්ට නොව ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම් ඉදිරිපත් කරමින් තමා අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලා සිටී. කොරුන් ඇවිද්දවන ජෙරම්ට අත්අඩංගුවෙන් බේරීමට දෙවියන්ගේ බැල්ම ලැබී නැත. මෙය බරපතළ ප්‍රශ්නයකි. තක්කඩි දිවැසිගේ රෙද්ද ගැලවී තිබේ. තමන් පළ කරන ලද මතය තුළින් ආගමික අසමගියක් නිර්මාණය වන බව පොලිසිය විසින් ප්‍රකාශ කළද ඒ බව තහවුරු කෙරෙන සිද්ධි හෝ සාක්ෂි කිසිවක් පොලිසිය විසින් අධිකරණය හමුවේ ගොනු කර නොමැති බව දේවගැති ජෙරම් ප්‍රනාන්දු පෙත්සමෙන් පෙන්වා දී තිබිණි. එහෙත් දේවගැති ජෙරොම් ප්‍රනාන්දු විසින් කර ඇති ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන බව නීතිපතිවරයා විසින් මැයි 24 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබිණි.

කවරක් නමුත් ජෙරම්ට පසු නූතන චිංචා හෙවත් නතාෂා එදිරිසූරිය මතුව තිබේ. ඇය ප්‍රසිද්ධිය වෙනුවෙන් කුණුහරුප කියන්නියකි. ඇයගේ කුණුහරුපවලට අත්පුඩි තලන්න පිරිසක්ද බිහිව ඇත. මොවුන් සිස්ටම් චේන්ජ් වෙනුවෙන් කළු ඇදගෙන අරගලයට ගිය අය බව පැහැදිලිය. නතාෂාගේ හිරිකිත කතා අසන මොවුන්ද යම් මානසික අර්බුදයක සිටින පිරිසක් බව පෙනේ. අම්මාට තාත්තාට බැන්නත් මොවුන් සිනාසෙමින් අත්පුඩි ගසනු ඇත. කවරක් නමුත් බුදුන්ට නිග්‍රහ කර හෙන්නායක මුදියන්සේලාගේ පැතුම් බණ්ඩාර එගොඩවත්ත නම් අයෙකු සමග රටින් පලා යෑමට උත්සාහ කරද්දී ජයනි නතාෂා එදිරිසූරිය සෙනසුරාදා රාත්‍රී 11.30 ට පමණ කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ දී ආගමන විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි. බුරිය ගැනත් දේශනා පත්වන 31 හැවිරිදි මේ කත ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිකාරිනියකි. මේ කාන්තාව අත්අඩංගුවට පත්වීමෙන් පසුව පැතුම් බණ්ඩාර නම් පුද්ගලයාද සිය ගුවන් ගමන අතහැර කටුනායක ගුවන්තොටුපළෙන් ආපසු පිටත්ව ගොස් තිබේ. මොවුන් මෙම මැලේසියානු ගුවන් යානයෙන් ක්වාලාලම්පූර් නුවර වෙත ගොස්, එතැන් සිට වෙනත් ගුවන් යානයකින් සිංගප්පූරුව බලා පිටත්ව යෑමට සැලසුම් කර කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබිණි. පසුව මේ කත නාරාහේන්පිට පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත රැගෙන විත් මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ. ‘සුද්ධෝදන ගේ පොඩි එකා ඉපදුණු දවසෙම ඇවිද්දා.. ඉපදුන දවසේම කවියක් කිවුවා.. ඒකට අපේ එවුන්’ ගැන පොලිසිය හමුවේ නැවත නැවත වමාරන්නට සිදුවනු ඇත.

අත්අඩංගුවට පත්වීමට දින කිහිපයකට පෙර මේ කාන්තාව “කිසියම් කණ්ඩායමකගේ හෝ පුද්ගලයෙකුගේ හිත රිදීමක් සිදුවූවා නම් බොහොම නිහතමානීව සමාව ඉල්ලනවා. මගේ යූටියුබ් චැනල් එකෙනුත් වීඩියෝව අයින් කරලා තියෙන්නේ.” යනුවෙන් ප්‍රකාශ කර තිබිණි. එහෙත් මේවාට ලෙහෙසියෙන් සමාව දිය නොහැකිය. මේ ගැහැනිය පිටුපස සිටින පිරිසද අත්අඩංගුවට ගත යුතුය. දැන් ඉක්මනින් ජනප්‍රිය වීමට උත්සාහ කරන පිරිස් බුද්ධාගමට අපහාස කිරීමට මහත් උනන්දුවක් දක්වති. බෞද්ධයෝ මේවා දෙස නිහඬව බලා සිටී. නමුත් මෙය සිනාසෙන්නට කාරණයක් නොවේ. සැබවින්ම මෙය කුමන්ත්‍රණයකි. බුදුදහමට අපහාස කිරීමේ ප්‍රවණතාවක් ක්‍රියාත්මක බව පැහැදිලි සත්‍යයකි. මෑත කාලයේ සිට බුදු දහමට අපහාස කිරීම දිනෙන් දින වැඩිවෙමින් පවතින බවත් සිංහල බෞද්ධ රටක් ලෙස හඳුන්වන බහුතර බෞද්ධ ජනතාවක් ජීවත්වන මේ රටේ මෑතක සිට සහජීවනය නමින් ඉදිරියට පැමිණෙමින් බුදු දහමට සහ භික්ෂුන් වහන්සේට අපහාස කිරීම ආරම්භ කොට ඇති බව පොලිස්පතිවරයා වෙත ලිපියක් යොමු කරමින් අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ පුත්තලම මහ දිසාවේ ප්‍රධාන සංඝ නායක, පූජ්‍ය මිගෙට්ටුවත්තේ සුමිත්ත නාහිමියන් ලිපියක් යොමු කරමින් සඳහන් කර තිබේ. මෙලෙස බුදුදහමට අපහාස කරන්නන්ට විරුද්ධව සමාජ මාධ්‍ය තුළ ඊට විරෝධයක් පැමිණියහොත් ඒ තුළින් සමාව ගැනීමට ද එය වැරදීමකින් සිදුවුණ සිදුවීමක් ලෙස සමාව ඇයද සිටිමින් මේ සියල්ල යටගැසීමේ ප්‍රවණතාවක් ගොඩනැගෙමින් පවතින බවද නාහිමියන් පෙන්වා දී ඇත. බුදු දහමට අපහාස වන පරිදි නතාෂා එදිරිසූරිය විසින් පසුගියදා වැඩසහනකදී සිදුකරන ලද එම ප්‍රකාශය උපුටා දක්වමින් පූජ්‍ය මිගෙට්ටුවත්තේ සුමිත්ත නාහිමියන් විසින් පොලිස්පතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ ඇයට එරෙහිව එක්සත් ජාතීන්ගේ ආගමික හා සංහිඳියා පනත (ICCPR) යටතේ ගතහැකි උපරිම නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙසයි.

ඉතිහාසය තුළ, ඈත මෑත සෑම යුගයක ම මිනිසාට සහ සමාජයට ද විශිෂ්ට මාර්ගෝපදේශකයෙකු වූ ආගම ජීවිතයේ භෞතික වුවමනාවන්ගෙන් ඔබ්බට මිනිස් නෙත් යොමු කරවයි. මානව සිතුම් පැතුම් මෙන්ම අත්දැකීම් හා පරිසරය ද සැබැවින්ම විවිධාකාර ය. විචිත්‍ර ය. එබැවින් ම ලෝකයේ ආගම්ද විවිධාකාර වේ. අරමුණ, ස්වභාවය, බෞද්ධ ප්‍රතිපදාව නිබඳව ම සර්ව සාධාරණ ය. එහිලා ආගමික සීමාවන්ගෙන් තොරව ම පිළිපැදිය යුතු සාරධර්ම ද, අත්හළයුතු අසාර ධර්ම ද උගන්වනු ලැබේ. ගෙහසික ශීලය නොවේ නම් ගිහි බෞද්ධයෙකුගේ නිත්‍යශීලය පඤ්චශීලයයි. එහි දී පරපණ නොනැසිය යුතු ය. පරපණට ගරු කළ යුතු ය. එය සුරැකිය යුතු ය. හිංසනයෙන්, බිය වැද්දීමෙන් වැළකිය යුතු යැයි කියැවෙයි. දයා පරවශවැ සියලු පණ ඇත්තවුන්ට හිතවත්ව, සානුකම්පිතව ක්‍රියා කිරීමටම ඉගැන්වෙයි. එහිලා ආගමික සීමාවන් නැත. කවර ආගමිකයෙකු වුව ද ඔහු සප්‍රාණ මනුෂ්‍යයෙකි. සිය ජීවිතය ප්‍රිය කරන්නෙකි. තමා වැනිම දඬුවමට නොකැමැති, නිදහස කැමැති අයෙකැයි සැලකිය යුතු ය. එහෙත් ආගමික ඉගැන්වීම් හෝ එහි ශාස්තෘවරු කිසිවිටක නිග්‍රහයට ලක්කළ යුතු නැත. එයින් සිදුවන්නේ ආගමික සහජීවනය බිඳවැටීමයි.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment