සහජීවනයේ මංපෙත්

20

අපි පසුගිය සතියේ වන ජීවී මංකඩවල් හරහා ආරක්ෂිත ප්‍රදේශ ජාලගත කිරීම ගැන කතා කළා. අපට පුළුවන් මේ කතාව තව ටිකක් ඉස්සරහට ගෙන යන්න.

සංවර්ධනය ගැන තොල් මතුරන බොහෝ දෙනෙක් ඇමෙරිකාව තමන්ගේ පරම උදාහරණය විධියට ගන්නවා. ඇමෙරිකා එක්සත් ජනපදය වගේ කාර්මික සහ නාගරික රාජ්‍යයන් පවා වන ජීවී මංකඩ ඇති කිරීම සහ පවත්වා ගෙන යෑම පිළිබඳව අවධානය යොමුකර තිබෙනවා. ෆ්ලොරීඩා වන ජීවී මංකඩ (Florida Wildlife Corridor) මේ අතුරින් ප්‍රධාන එකක්. ෆ්ලොරීඩා වන ජීවී කොරිඩෝව අක්කර මිලියන 18කට ආසන්න ප්‍රමාණයකින් සමන්විත වන අතර, ෆ්ලොරීඩාවේ තර්ජනයට ලක්ව සිටින වන ජීවීන් 131කට සහ ශාක විශේෂ 69කට පමණ නේවාසික සපයනවා. මෙම වන ජීවී මංකඩ හරිතාගාර වායූන් අඩු කිරීමට සහ වැඩිවන උෂ්ණත්වයේ බලපෑමෙන් ආරක්ෂා වීමට ස්වභාවික අවකාශයන් නිර්මාණය කරන බව අධ්‍යයනයනවලින් පෙන්වා දී තිබෙනවා. වඩා වැදගත් දේ වන්නේ මෙය රජය, පෞද්ගලික ඉඩම් හිමියන් සහ පොදු ජනතාවගේ සහයෝගයෙන් ක්‍රියාත්මක වීමයි. මේ සඳහා ෆ්ලොරීඩා ප්‍රාන්ත රජයේ නෛතික ආරක්ෂාව ද ලැබී තිබෙනවා. “Florida Wild life Corridor Foundation” වෙබ් අඩවියට පිවිසීමෙන් මෙම සාර්ථකත්වයේ කතාව ඔබට තව දුරටත් සොයා බැලිය හැකියි.

“අපගේ කාබන් මධ්‍යස්ථ (Carbon neutral) උපාය මාර්ගයේ හරය වන්නේ අපගේ ආරක්ෂිත ප්‍රදේශ. අපගේ ආරක්ෂිත ප්‍රදේශ අපගේ උරාගැනීමේ මූලාශ්‍ර. ඒවා අපේ පෙණහලු. අද වනවිට අපේ රටෙන් අඩකට වඩා ජාතික වනෝද්‍යාන, ස්වභාවික රක්ෂිත සහ වන ජීවී අභයභූමි ලෙස ආරක්ෂා කර තිබෙනවා. නමුත් සුන්දරත්වය නම් අපි ඒවා සියල්ල ම ජීව විද්‍යාත්මක කොරිඩෝ ජාලයක් හරහා එකිනෙක සම්බන්ධ කර තිබීමයි. මේකෙ තේරුම තමයි අපේ රටේ සත්තුන්ට නිදහසේ සැරිසරන අවස්ථා තියෙනවා කියන එක. උදාහරණයක් ලෙස මෙම කොටියා ගන්න. (ඔහු කොටියකුගේ ජායාරූපයක් පෙන්වයි). මෙයා මේ ඉන්නේ උණුසුම්, උපනිවර්තන වනාන්තරවල මුහුදු මට්ටමේ සිට මීටර් 250ක් ඉහළින්. අවුරුදු දෙකකට පසු, මේ කොටියා අපේ සීතල ඇල්පයින් කඳුකරයේ මීටර් 4,000ක් ඉහළ දී දක්නට ලැබුණා. ඒක නියමයි නේද?” 2016 දී කරපු ප්‍රසිද්ධ දේශනයක දී මෙහෙම කියන්නේ Tshering Tobgay එවක භූතාන අගමැතිවරයා.

අපේ කලාපය නැත්නම් දකුණු ආසියාවේ භූතානය කියන්නේ හිමාලය කඳුවැටියේ පිහිටා තිබෙන සුන්දර කඳුකර රාජ්‍යයක්. මෙහි වනාන්තර ආවරණ රටේ මුළු භූමි ප්‍රමාණයෙන් 70%කටත් වඩා වැඩියි. ඒ විතරක් නෙවෙයි, භූතානය ලෝකයේ කාබන් විමෝචනය අවම මට්ටමේ තිබෙන රටක්. ලෝකයේ දළ ජාතික නිෂ්පාදිතය (Gross National Product) වඩා දළ ජාතික සතුට (Gross National Happines) ගැන හිතන ලොව එකම රට.

ඒවගේ ම ලොව වැඩි ම ජනගහනය සහ සංවර්ධන ප්‍රමුඛතා රාශියක් සමග ඉදිරියට යමින් සිටින ඉන්දියාව ද සංරක්ෂණ අරමුණු පසෙක තබා නැහැ. ඔවුන් භූ දර්ශීය පරිමාණයේ සැලසුම්වලට අනුගතව වන ජීවී සංක්‍රමණ සඳහා අවකාශයන් නිර්මාණය කරමින් ඔවුන්ගේ සංවර්ධන සැලසුම් ද ඉදිරියට ගෙන යමින් තිබෙනවා. ඇතැම් අසමත් වීම්වලින් අත්දැකීම් ලබමින් වඩා සාර්ථක දේ තෝරා ගනිමින් සිටිනවා. නව දිල්ලිය (New Delhi) සහ දෙහ්රාඩූන් (Dehradun) නගර යා කරන අධිවේගී මාර්ග ව්‍යාපෘතිය සැලසුම් කිරීමේ දී බලපෑමට ලක්වන රාජා ජී ජාතික උද්‍යානයට (Raja ji National Park) එල්ල වෙන හානිකර බලපෑම් අවම කරන්නට ඔවුන් උත්සහා ගෙන තිබෙනවා. අධිවේගී මාර්ගය වන සතුන්ට ඔවුන්ගේ සංක්‍රමණවලට බාධාවක් වෙන්නට ඉඩ දී නැහැ.

ශ්‍රී ලංකාව නිවර්තන කලාපීය දූපතක් වගේ ම ජෛව විවිධත්වයෙන් උණුසුම් ස්ථානයක්. අපි වගේ කුඩා රටක ජෛව විවිධත්වය සංරක්ෂණය කරන්න වන ජීවී මංකඩවල් ඉතා ම යෝග්‍යයි. ශ්‍රී ලංකාවේ භූමියේ අයිතිය වැඩි ප්‍රමාණයක් තාමත් තිබෙන්නේ රජය ට. ඒනිසා මෙවැනි වන ජීවී මංකඩ නිර්මාණය කිරීම වෙනත් රටවලට සාපේක්ෂව පහසුයි. ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමට (LRC) අයත් ඉඩම්, කඳුකරයේ තේ වගාබිම් ආශ්‍රිත ආන්තික ඉඩම් ආදිය මේ සඳහා යොදාගත හැකියි. තෙත් කලාපයේ සහ කඳුකරයේ ශේෂ වී තිබෙන වනාන්තර මෙවැනි මංකඩවල් හරහා එකිනෙක යා කරමින් ඒවායේ ජීවත්වෙන වන ජීවීන්ගේ අඛණ්ඩ පැවැත්ම තහවුරු කිරීම හදිසි අවශ්‍යතාවයක් වශයෙන් අපි සැලකිය යුතුයි.

අලි-මිනිස් ගැටුම් බහුල වියළි කලාපයේ ද මෙය ක්‍රියාවට නැංවිය හැකියි. අලි-මිනිස් ගැටුමට එකම හේතුව අලි ඇතුන්ගේ සාම්ප්‍රදායික සංක්‍රමණ මාර්ග මිනිසුන් විසින් අත්තනෝමතික ලෙස අල්ලා ගැනීම සහ අවහිර කිරීමයි.

විශේෂයෙන්ම මධ්‍යම කඳුකරයේ සහ තෙත් කලාපයේ වනාන්තර ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වයෙන් සහ ආවේණිකත්වයෙන් ඉහළ ම තැනක් ගන්නවා. මෙම වනාන්තර සියල්ල ම වාගේම කඳුවැටිවල තීරු වශයෙන් විහිදී ගොස් තිබෙනවා. නැතිනම් ශේෂ වී තිබෙනවා. මේ පටු තීරු ආකාර ව්‍යාප්තිය වනාන්තරවල පැවැත්මට දැඩි පීඩනයක් එල්ල කරනවා. එයට හේතු වී තිබෙන්නේ මේ කලාපය තුළ ඉහළ ම ජන සංකේන්ද්‍රයක් ද දක්නට තිබීමයි. ඒනිසා මේ වනාන්තර සහ ඒවායේ ජෛව විවිධත්වය ආරක්ෂා කිරීමට වන ජීවී මංකඩවල් වැනි ව්‍යාපෘති අවශ්‍යයි.

මේ සඳහා සෑමවිට ම භූමියේ අයිතිය රජය ලබා ගතයුතු නැහැ. භූමියේ අයිතිය පුද්ගලයකුට හෝ ආයතනයකට තිබිය දී වුවත් මේ වැඩසටහන් ක්‍රියාවට නැඟිය හැකියි. කලින් සාකච්ඡා කළ භූතාන සහ ඇමෙරිකානු උදාහරණ මෙයට සාක්ෂි දරනවා. මෙවැනි ව්‍යාපෘතියක් සඳහා පොදු ජනතාව ද ආකර්ෂණය කරගන්නා යෝජනා, සැලසුම් සහ ක්‍රියාකාරකම්වලින් සමන්විතව නිර්මාණය විය යුතුයි. සමාජීය වන විද්‍යාව (Social forestry) ප්‍රජා පාදක වන ජීවී සංරක්ෂණය (Community based conservation) , සදෘෂ වන විද්‍යාව (Analog forestry) සහ පුරවැසි විද්‍යාව (Citizen science) වැනි ප්‍රවේශ මෙහිදී භාවිතයට ගතහැකියි.

සාම්ප්‍රදායික නෛතික හා ප්‍රතිපත්ති රාමුවලට කොටුවී මේවායින් අපේක්ෂිත ප්‍රතිඵල ළඟා කර ගැනීමට නොහැකියි. ඒ වගේම විදේශ අරමුදල්වලින් තැන තැන සිදුකරන නියමු ව්‍යාපෘති උත්කර්ෂණයට නැංවීම සමස්ත අර්බුදයට පිළියමක් සපන්නේ ද නැහැ. නමුත් ඒ අත්දැකීම් වැදගත්. ඒකාබද්ධ සහ ජාතික ප්‍රතිපත්තියක් වන ජීවී මංකඩ නිර්මාණය සඳහා ද ශ්‍රී ලංකාවට අවශ්‍යයි. එය ජාතික භෞතික සැලසුම (National Physical Plan) සමග ද එකඟ විය යුතුයි. සංරක්ෂණය සහ සංවර්ධන ප්‍රමුඛතා සීරුවෙන් තෝරාගත හැක්කේ එවිටයි. මේවා පිළිබඳව ජනතාවට ද නිවැරදි තොරතුරු ලබාදිය යුතුයි. එවිට බොහෝ අතුරු ප්‍රශ්න සහ දේශපාලන උසිගැන්වීම් වළක්වා ගතහැකි අතර ම පොදු ජනතාවට වගකීම් සහ ප්‍රතිලාභ පැවරිය හැකියි. සංරක්ෂණය විද්‍යාඥයන්, උගතුන් හෝ නිලධාරීන් කිහිප දෙනෙකුගේ අත පමණක් තිබිය යුතු නැහැ.

දැනට තිබෙන වන ජීවී මංකඩවල් රැකගැනීම, අලුත් ඒවා නිර්මාණය කිරීම සහ පවත්වා ගැනීම ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වය සංරක්ෂණය සඳහා ඉක්මනින්ම කළ යුතු බව අප යෝජනා කරනවා.’ මොකද මේවා (වන ජිවී මංකඩවල් ) යා කරන්නේ ආරක්ෂිත ප්‍රදේශ පමණක් නොව, සංවර්ධන සහ සංරක්ෂණ අවශ්‍යතා සහ ප්‍රමුඛතා. ඒ වගේ ම මිනිසුන් සහ වන ජීවීන් අතර සබඳතා. ඒ අර්ථයෙන් වන ජීවී මංකඩවල් කියන්නේ සහජීවනයේ මං පෙත්ය.

මංජුල කරුණාරත්න
සංරක්ෂණ භූගෝල විද්‍යාව පිළිබඳ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
භූගෝල විද්‍යා අධ්‍යනාංශය, රුහුණ විශ්වවිද්‍යාලය

advertistmentadvertistment
advertistmentadvertistment