ත්‍රිපිටකය අන්තර්ජාලය හරහා මුළු ලෝකයටම

160

අතිගෞරවනීය මහා සංඝරත්නයේ ඉල්ලීම පරිදි ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති සම්බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව ඉංග්‍රීසි අකුරෙන් ලියා අන්තර්ජාලයට මුදාහැරීමටත් පසුව මුද්‍රණය කිරීමටත් ඉදිරියේ දී කටයුතු කරන බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු ඇමැති විදුර වික්‍රමනායක මහතා සඳහන් කරයි.

මේ සම්බන්ධයෙන් අතිගෞරවනීය මහා සංඝරත්නය සහ ඇමැතිවරයා අතර අමාත්‍යාංශයේ දී පැවැති සාකච්ඡාවකින් අනතුරුව විදුර වික්‍රමනායක මහතා මේ බව පැවැසීය.

ත්‍රිපිටකය දේශීය හා ජාත්‍යන්තර වශයෙන් අධ්‍යයනය කිරීම සඳහා උනන්දුවක් දක්වන ගිහි පැවිදි සියලු පාර්ශ්වයන් වෙනුවෙන් හා බුදුදහම ලොව පුරා ව්‍යාප්ත කිරීමේ අරමුණින් යුතුව මෙම තීරණය ගෙන තිබෙන අතර අතිපූජ්‍ය මහනායක මාහිමිපාණන් වහන්සේලාගේ අනුශාසනා හා අනුමැතිය ලබා ගැනීමෙන් අනතුරුව මෙම කාර්යය සිදු කිරීමට නියමිතය.

මෙම කටයුත්ත සාර්ථකව සිදුකිරීම සඳහා උත්තරීතර මණ්ඩලය, අධීක්ෂණ මණ්ඩලය, හා ක්‍රියාකාරී මණ්ඩලය ලෙසින් මණ්ඩල 03 ක් පත්කිරීමට හා මේ සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමට කටයුතු කළ යුතු බව ද ඇමැති විදුර වික්‍රමනායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment