රිෂාඩ්ගේ චෝදනාව: විමල්ට තිබූ වාරණය ඉවතට

103

පාර්ලිමේන්තු මන්තී‍්‍ර රිෂාඩ් බදුර්දීන් මහතා සම්බන්ධයෙන් අපහාසාත්මක ප‍්‍රකාශ සිදු කිරීම හා ඒවා ප‍්‍රචාරය කිරීම වළක්වමින් ඇමැති විමල් වීරවංශ මහතාට හා ප‍්‍රධාන පෙළේ රූපවාහිනී මාධ්‍ය ආයතන තුනකට නිකුත් කර තිබූ වාරණ නියෝගය විසුරුවා හැරීමට කොළඹ ප‍්‍රධාන දිසා විනිසුරු අරුණ අලූත්ගේ මහතා ඊයේ (07 දා* නියෝග කළේය. ඒ සම්බන්ධයෙන් ස්ථිර අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසට පෙත්සම්කාර රිෂාඩ් බදුර්දීන් මහතා වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරුන් කර තිබූ ඉල්ලීම ද දිසා විනිසුරුවරයා ප‍්‍රතික්‍ෂේප කළේය.

පාස්කු ප‍්‍රහාරයේ ප‍්‍රධාන බෝම්බකරු වන සහරාන් හෂීම් සමග සිය සහෝදරයා දුරකථනයෙන් කතා කළ බවට විමල් වීරවංශ මහතා 2021 මාර්තු 9 වැනිදා තිඹිරිගස්යාය තුම්මුල්ල ප‍්‍රදේශයේ දී පැවැති දේශනයකදී සිදුකළ ප‍්‍රකාශය මගින් සිය කීර්ති නාමයට හානියක් සිදුවී ඇති බැවින් එවැනි අපහාසාත්මක ප‍්‍රකාශ සිදුකිරීම හා ඒවා ප‍්‍රචාරය කිරීම වළක්වන ලෙස ඉල්ලා රිෂාඩ් බදුර්දීන් මහතා ගොනුකර තිබූ පෙත්සමක් සලකාබැලූ දිසා අධිකරණය පසුගිය මාර්තු 16 වැනිදා එම වාරණ නියෝගය නිකුත් කර තිබිණි.

එකී අසත්‍ය ප‍්‍රකාශ සිදුකිරීමෙන් හා ප‍්‍රචාරය කිරීමෙන් තමන්ගේ කීර්ති නාමයට සිදුවූ හානියට රුපියල් කෝටි 10ක වන්දියක් වගඋත්තරකරුවන්ගෙන් අයකර දෙන ලෙසට ද ඉල්ලා ගොනු කර තිබූ එම පෙත්සම සම්බන්ධයෙන් පැවති විභාගයේදී වගඋත්තරකරුවන් වන හිරු දෙරණ හා ස්වර්ණවාහිනී මධ්‍ය ආයතන හා විමල් වීරවංශ මහතා වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු හා සාක්‍ෂි සලකා බැලූ කොළඹ දිසා විනිසුරුවරයා එම නියෝග කළේය.

ඒ සම්බන්ධයෙන් පිළිතුරු ලබන ජනවාරි 24 වැනිදා අධිකරණය හමුවේ ගොනු කරන ලෙසට ද දිසා විනිසුරුවරයා එහිදී සියලූ පාර්ශ්වවලට නියෝග කළේය.

දෙරණ මාධ්‍ය ආයතනය වෙනුවෙන් සුගත් පෙරේරා, ඇසෝසියේටඞ් නීතිඥ සමාගමේ උපදෙස් පරිදි ජ්‍යෙෂ්ඨ නීතිඥ මනෝජ් බණ්ඩාර මහතා පෙනීසිටියේය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment