සා. පෙළ විභාගය අද සිට

36

අයදුම්කරුවෝ 452,979ක්
විභාග මධ්‍යස්ථාන 3,527ක්
ජංගම දුරකථන රැගෙන ආවොත් වසර 5ක් විභාග තහනම්

2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අදින් (6දා) ආරම්භ වේ.අයැදුම්කරුවෝ 452,979ක් විභාගයට පෙනී සිටිති.

පාසල් අයැදුම්කරුවන් 387,648ක් හා පෞද්ගලික අයැදුම්කරුවන් 65,331ක් විභාගයට පෙනී සිටින බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි.

දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3,527කදී විභාගය පැවැත්වෙන අතර විශේෂ මධ්‍යස්ථාන කිහිපයක් ද ස්ථාපිත කර ඇතැයි ඒ මහතා කීය. විභාගයට අදාළ දිනයේ විෂයයන් සහ වේලාවන් පිළිබඳ අපේක්‍ෂකයන් මෙන්ම දෙමපියන් සැලකිල්ලක් දක්වා විභාගය ආරම්භවීමට පැය භාගයකටවත් පෙර විභාග මධ්‍යස්ථානයට පැමිණෙන ලෙස ද ඒ මහතා ඉල්ලා සිටී.

විභාගය පැවැත්වීම සඳහා පහසුකම් සැපයීමට දුම්රිය ගමනාගමන ඇතුළු ප්‍රවාහන ක්‍ෂේත්‍රය ද ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව, පොලිසිය ඇතුළු ආයතන රැසක් ද සමඟ සාකච්ඡා කර අවශ්‍ය පහසුකම් සපයා ගැනීමට එකඟතාවට පැමිණ ඇතැයි ඒ මහතා පැවැසීය.

විභාග මධ්‍යස්ථාන තුළට ජංගම දුරකථන ඇතුළු විiුත් උපකරණ රැගෙන ඒම තහනම් බවත්, එවැනි උපකරණ සන්තකයේ තබාගෙන වැරදිකරුවන් වන අපේක්‍ෂකයන්ට නැවත විභාගයකට පෙනී සිටීම වසර පහක් දක්වා තහනමක් පැනවිය හැකි යැයි ද ඔහු කීය.

තමා ඉල්ලුම් නොකළ විෂයක් ප්‍රවේශ පත්‍රයේ සඳහන්ව ඇත්නම් එම විෂයට අදාළව ප්‍රතිපල නිකුත් කිරීමක් සිදුනොවන බවත් අයදුම්කරුවන් දසදහසකට පමණ එවැනි ඉල්ලුම් නොකළ විෂයක් ඇතුළත්ව ප්‍රවේශපත්‍ර ලැබී ඇති බවට දැනගන්නට ලැබුණු බවත් එය මුද්‍රණ දෝෂයකින් සිදුවූවක් බවත් විභාග කොමසාරිස් ජනරාල්වරයා කියා සිටී.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment