සිංහලයාට ආවේණික සංගීත රටාවක් ඇත්තේ පිරිත් සජ්ඣායනාවලත් ජනගීයෙත් පමණක් බව රතන්ජන්කර් එදා පැවසුවා

54

ටියුඩර් කඳනආරච්චි
ස්වයං කථනය

ශ්‍රී ලාංකීය ගීත ක්ෂේත්‍රයේ සහෝදරයෝ… සහෝදරියෝ.. එකමුතුකම සමගින් ගැයුණු මියුරු ගී අපට ඇසෙයි. ධර්මරත්න බ්‍රදර්ස්, ත්‍රී සිස්ටර්ස් ඒ අතර නිරතුරු අප මතකයට එයි. මේ සමග කියැවෙන්නේ තවත් සොහොයුරන් තිදෙනකු ගැනය. ඔවුන් අතර චන්ද්‍රකුමාර කඳනආරච්චි, වික්ටර් කඳනආරච්චි ජීවතුන් අතර නැත. අද ඉතිරිව සිටින්නේ ටියුඩර් කඳනආරච්චි පමණි. ‘මං’ විශේෂාංගයෙන් අද කියනුයේ ඔහුගේ කතාවයි.

මා අධ්‍යාපනය ආරම්භ කළේ පේරාදෙණිය ද්විභාෂා පාසලෙනි. තුන්වැනි ශ්‍රේණියේ සිට ජ්‍යෙෂ්ඨ සහතික පත්‍ර (SSC) විභාගය සමත්වීම දක්වා මහනුවර සාන්ත පාවුළු විද්‍යාලයේත් උසස් සහතික පත්‍ර විභාගය (HSC) දක්වා මහනුවර සාන්ත සිල්වෙස්තර විදුහලේත් ශාස්ත්‍ර හැදෑරුවා. සාන්ත පාවුළු විදුහලේ ඉගෙන ගන්නා සමයේ මගේ සිංහල විෂයය භාර ඒ.කේ. වෛද්‍යසේකර ගුරුතුමා දිනක් මා ඇතුළු සිසු පිරිසක් කැටුව ගියා ගුවන්විදුලියේ ළමා පිටිය වැඩසටහනට. ඒ වැඩසටහනට මා ගීයක් ගැයුවා. ඒ තමා ගුවන්විදුලිය සමග මා සම්බන්ධයක් ඇතිකරගත් ප්‍රථම අවස්ථාව. එවක ගුවන්විදුලි ආයතනය පිහිටා තිබුණේ බොරැල්ලේ කොටා රෝඩ්හි පාළු නිවසකය. අඩියක් පමණ උස මයික්‍රෆෝනයක් වටා බිම හිඳගෙනයි අප ගී ගැයුවේ. වාදක මණ්ඩලය ද අප සමග එසේ ඉඳගෙනයි වාදනය කළේ. අපට නුදුරින් පුටුවක වාඩිවී ශබ්ද පරිපාලනය කරමින් අතින් අපට සංඥා දෙමින් එම සජීවී වැඩසටහන මෙහෙයවූයේ තේවිස් ගුරුගේ මහතා ය. මේ දුර්ලභ සිද්ධිය වූයේ මගේ මතකයේ හැටියට මට වයස හයේදී පමණය.

සිංහලයාට ආවේණික සංගීත රටාවක් ඇත්තේ පිරිත් සජ්ඣායනාවලත් ජනගීයෙත් පමණක් බව රතන්ජන්කර් එදා පැවසුවා

1950දී පමණ මා ඉහළ පන්තියක ඉගෙන ගන්නා අවධියේ, පාසලේ අප දිනක් කොළඹ සංචාරයක යෙදුණා. දිවා භෝජනය ගත්තේ නිදහස් චතුරස්‍රයේදී ය. ගුරුතුමාගෙන් අවසර ලබාගෙන මාත් තව මිතුරකුත් ඊට නුදුරින් පිහිටි ගුවන්විදුලි ආයතනය නරඹන්න ගියා. එහිදී අහඹුවෙන් වගේ ආරියදාස පීරිස් මහතා මුණගැසුණා. ගුවන්විදුලියෙන් ගී ගයන්න මා හරි ආසයි කියා ඔහුට කී විගස ඔහු මගේ හඬ පරීක්ෂා කර බලා ‘ආධුනික පැයට’ ගීයක් ගයන්න දිනයක් දුන්නා. ඒ අනුව මා ආධුනික පැයට ගීයක් ගැයුවා. මා එහි පළමු ස්ථානය දිනා ඇති හෙයින් ‘ජයග්‍රාහක පෙළපාලියට’ ගීයක් ගයන්න ඇරැයුම් ලැබුවා. ඒ වැඩසටහනට ගී ගැයූ ගායක ගායිකාවන් පස්දෙනා අතුරින් මා වැඩි ඡන්ද හතළිස් එකක් ලබා පළමු තැන දිනුවා. තෑග්ග වූයේ පාකර් ී1 පෑනකි. ප්‍රථමයා තේරුවේ හයවැනි මැදිරියේ නරඹන්නන් විසිනි. 1953දී තරු තැනුම නමැති පැය භාගයක ගී ඇතුළත් වැඩසටහනක් වෙළෙඳ සේවයෙන් මා ඉදිරිපත් කළා. එය සජීවීව ප්‍රචාරය වූවකි.

සිංහලයාට ආවේණික සංගීත රටාවක් ඇත්තේ පිරිත් සජ්ඣායනාවලත් ජනගීයෙත් පමණක් බව රතන්ජන්කර් එදා පැවසුවා

1958දී වෙළෙඳ සේවයෙනුත් 1962 ස්වදේශීය සේවයෙනුත් කටහඬ පරීක්ෂණවලින් සමත් වී ‘ඒ’ ශ්‍රේණියේ ගායන ශිල්පියකු වශයෙන් තේරී පත්ව අද වනවිට සරල ගී රාශියක් ඉදිරිපත් කර තිබෙනවා. මගේ සමකාලීන ශිල්පීන් අතර සමහරෙකි එච්.ආර්. ජෝතිපාල, ජේ.ඒ. මිල්ටන් පෙරේරා, හරූන් ලන්ත්‍රා, ක්‍රිස්ටෝෆර් පෝල් සහ මොරිස් දහනායක.

මා ගායනා කළ ගී අතරින් ස්වල්පයක් ජනප්‍රිය විය. ඒ අතර ටිකිරි මැණිකෙ දර අහුලන කුරුඳු කැලෑවේ, සුපිපි හසරැලි, නිදහස් මල්, පෝය සඳේ අනාර්කලී වැනි ගී සඳහන් කළ හැකිය. මගේ ගී නිර්මාණය කිරීමේදී මා හිතේ ධාරණය කළේ, ගීතය ප්‍රබල මාධ්‍යයක් හෙයින් එය අසන්නන්ගේ උසස් රසවින්දනයට මෙන්ම ‘ආනන්දයෙන් ප්‍රඥාවට’ යන සංකල්පයත් ගීතයේ තනුව හදවතටත් ගේය පද බුද්ධියටත් යන ප්‍රතිපත්තිය පදනම් කරගෙනයි. මේ හෙයින් මා ජනප්‍රිය ගායකයකු නොව ප්‍රකට ගායකයකු විය. මගේ ගී නිර්මාණයේදී බණ්ඩාර කේ. විජේතුංග, එමසන් හිප්පොල, මහාචාර්ය තිලක් රත්නකාර, මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර, කරුණාරත්න අබේසේකර, සරත් විමලවීර, රටේමුල්ලේ මුදන්නායක, මාතලේ ආනන්ද අබේවික්‍රම වැනි ගේය පද රචකයන්ගෙන් සමහර ගී තනු සැපයූ ස්ටැන්ලි එම්. ප්‍රනාන්දු, ෂෙල්ටන් ප්‍රේමරත්න සහ ප්‍රේමසිරි කේමදාස යන සංගීතවේදීන්ගේ දායකත්වය කෘතවේදීව මා සිහිපත් කරනවා.

1956දී ගුවන්විදුලි ශිල්පීන් වර්ග කිරීමට මෙරටට පැමිණි භාරතයේ ලක්නව්හි භාත්ඛන්ඩ විශ්වවිද්‍යාලයේ අධිපති පණ්ඩිත් රතන්ජන්කර මහතා පැවසුවේ සිංහලයාට ආවේණික සංගීත රටාවක් ඇත්තේ පිරිත් සජ්ඣායනාවලත් අපේ ජන ගීයේත් පමණක් බවයි. අප පෙරදිග රටක් හෙයින් භාරතයේ සහ අපේ ගීතවල යම්කිසි සමානාත්මතාවක් තිබෙන බව ඔහුගේ අදහස බව ද සිහිකරනු කැමැත්තෙමි.

මගේ අතිශයින් ජනප්‍රිය වූ ගීයකි පෝය සඳේ. වෙසක් පොසොන් පොහෝ දිනයන්හි බොදු ගී ප්‍රසංග පවත්වන අය අනිවාර්යයෙන්ම මේ ගීතය ද ගායනා කරනු ලැබේ.

ගුවන්විදුලි වෙළෙඳ සේවයේ සංගීත අංශ ප්‍රධානියා වූ පී.එල්.ඒ. සෝමපාල මහතා 1962 වෙසක් දින ප්‍රචාරය සඳහා විශේෂ ගීයක් තැටිගත කිරීමට මට ආරාධනා කළා. ඒ අනුව මගේ හිතමිත්‍රයකු වූ මහනුවර එමසන් හිප්පොල ලවා ගීයක් රචනා කරගෙන එය මගේ හිතවත් විශ්‍රාමික විනිසුරු එල්.බී. හිඳගල මහතාට පෙන්වා ඔහුගේ අදහස් විමසුවා. එතුමා ඒ ගීතයට ප්‍රාර්ථනාවක් එකතු කළා. ‘බුද්ධ ධර්මය අවබෝධ කරත්වා…’ වශයෙන්. ගීතය තැටිගත කර වෙසක් දා ප්‍රචාරය කළා. පසු දිනෙක සෝමපාල මහතා මා සමග කීවා මේ ගීතය ‘වෙසක් සඳේ සඳ කිරණ…’ යනුවෙන් පේළි දෙක වෙනස් කොට නිතර ප්‍රචාරය සඳහා සංශෝධනය කර දෙන්න කියා. ඒ අනුව කේ.ඩී.කේ. ධර්මවර්ධන ලවා පෝය සඳේ… යනුවෙන් මුල් පේළි දෙක වෙනස් කොට යළි තැටිගත කළා. පසු දිනෙක මගේ සහ චන්ද්‍රකුමාර මල්ලිගේ ඉල්ලීම පරිදි ඔහු සහ මගේ වික්ටර් කඳනආරච්චි මල්ලි සමග පෞද්ගලික ශබ්දාගාරයක සීඩී තැටියකට නැඟුවා.

කේ.ඒ.ඩබ්ලිව්. පෙරේරා සහ සරත් විමලවීර යන මහත්වරුන්ගේ නිර්දේශ මත 1959දී ගුවන්විදුලි ස්වදේශීය සේවයේ ප්‍රචාරය සඳහා ‘අනාර්කලී’ නමැති ගීත නාටකයට සංගීත නිර්මාණය සඳහා මට ඇරැයුමක් ලැබුණා. ගී හතකට තනු නිර්මාණය කර එම ගීත නාටකය මා සාර්ථකව පටිගත කළා. ප්‍රචාරය වූයේ 1961 ජනවාරි මාසයේ. ‘අනාර්කලී’ ගීත නාටකය රචනා කළේ මහාචාර්ය තිලක් රත්නකාර මහතා. වැඩසටහන නිෂ්පාදනය කළේ මහගම සේකර සූරීන්. ගුවන්විදුලි වාදක මණ්ඩලයේ එවක ප්‍රධානියා වූයේ පණ්ඩිත් අමරදේවයන් ය. එතුමාගෙන් මට උපරිම සහයෝගය ලැබුණා. ගී ගායනයෙන් එච්.ආර්. ජයරත්න, ජුලියට් ප්‍රනාන්දු ප්‍රධාන පිරිසක් සහභාගි වුණා. එහි පොතේගුරු ගායනය කළේ නන්දා රත්නතුංගයි. ගී පටිගත කර අවසානයේ මහගම සේකරයන්ගෙන් මා විමසා සිටියා ඒ ගැන එතුමාගේ අදහස. එවිට ඔහු අතේ ඇඟිලි තම බෙල්ලට තබා ඉහළටත් පහළටත් සංඥා කර ගැළපෙන බව කීවා. සංකේතාත්මකව එතුමා පැවසූ දෑ පසුව මට මෙසේ කීවා. ‘මේ සින්දු බුද්ධිමතාටත් සාමාන්‍ය රසිකයන්ටත් එකසේ ගැළපෙනවා’ එදා වාදක මණ්ඩයේ ලංකාවේ විශිෂ්ටතම වයලීන් වාදක එන්.කේ. රොක්සාමි, වාද්‍ය විශාරද ඩී.ආර්. පීරිස් තබ්ලා වාදනයේ විශිෂ්ටයා සහ සිතාර් වාදනයේ දක්ෂයකු වූ සාන්ති දිසානායකගේ දායකත්වය නිසා ඒ ගී නිර්මාණ ඉතා සාර්ථක විය. ඒ ගී අතුරින් තේමා ගීතය වූ ‘සරත් සමේ මඳක් පිපුණු දෙළුම් කුසුම් කැකුළ’ නිතර අසන්නන්ගේ ඉල්ලීම් තීරයෙන් ද එය ප්‍රචාරය විය. ඒ හැම අවස්ථාවේදීම ගීතයේ තනු නිර්මාණකරු වශයෙන් මගේ නම සඳහන් විය. දැනට වසර දෙකකට පෙර දිනෙක එය ඩී.ආර්. පීරිස්ගේ තනුවක් ලෙස හඳුන්වා දුනි. මා පුදුමයට පත්වී සොයා බැලුවා සංගීත අංශ භාර යම්කිසි මුදිතා ගුණය නැති නිලධාරියකු එසේ කර ඇති බව දැනගෙන මේ බව එවක සිටි අධ්‍යක්ෂ ජනරාල්ට සහ එවක සිටි සභාපතිට දන්වා සිටියා. ප්‍රතිඵලය වූයේ ඒ ගීතය අස්ථානගත වීමය. ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ඇත්තන්ගේ අවධානය යොමු වේවා.

මා 1968දී විවාහ වූයේ මහනුවර අංකුඹුරේ ඥානේන්ද්‍රා මැණිකේ වන්සූරිය සමගයි. අප දෙදෙනාට ඇති එකම දරුවා සාගරිකා දියණියයි.

චිත්‍රපටයක ගීතයක් ගැයීමට අවස්ථාවක් අහම්බෙන් වගේ ලැබුණා. බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න මහතාගේ ඥාති පුත්‍රයකු වූ මගේ පාසල් සමයේ මිත්‍රයෙක් දිනක් මා කැටුව ගොස් ජයමාන්න මහතාට හඳුන්වා දුන්නා. ඔහු මට ගීයක් ගයන්න කියා හඬ පිරික්සා මට දිනයක් දැනුම් දුන්නා ඔහුගේ “හදිසි විවාහය” චිත්‍රපටයට ගීයක් ගයන්න එන්න. ඒ අනුව මා එම ගීතය පටිගත කළා. ඒ අවස්ථාවේ එතැන පැමිණ සිටි ජයමාන්න මහතා මට ඉංග්‍රීසි බසින් කතා කර මේ ගීතය රූගත කිරීමට පෙනී සිටීමට කැමති දැයි මගෙන් විමසුවා. මා එකවරම කැමැත්ත ප්‍රකාශ කළා. ඔහුට අයත් කුරුණෑගල හොරොම්බාව වත්තේදී එම රූගත කිරීම සිදුවුණා. ගායකයෙක් මෙන්ම නළුවෙක් වීමට ලැබීම ගැන මා අතිශය ප්‍රීතියට පත් වුණා. මේ සිදුවීම 1959 දී පමණය.

“දවස” පුවත්පත එළිදැක්වීමට පෙර වෙළෙඳ දැන්වීමක් වශයෙන් වැඩසටහනක් පිළියෙල කර ‘දවස’ නිර්මාතෘ ඩී. බී. ධනපාල මහතා මට භාර දුන්නා. විමලේන්ද්‍ර වතුරේගම කිවියා පුවත්පතේ ඉතිහාසය දැක්වෙන ගීතාවලියක් ලියා එයට සංගීත නිර්මාණය කිරීම මට භාර දුන්නා. මා එය සාර්ථකව ඉටු කළා. පසුව ඒ ගීත අනුව කාලිංග ඔබේවංශ රුහුණු නැටුම් ශිල්පියා කෙටි මුද්‍රා නාට්‍යයක ස්වරූපයෙන් ඒ දැන්වීම රට පුරා ප්‍රදර්ශනය කළා.

රුහුණු කලා කවයේ අධිපති කාලිංග ඔබේවංශ මහතාගේ “මේ අසරණ දෑත්” සහ “මන්දොදරී” මුද්‍රා නාට්‍යවල සංගීතය සැපැයුවේ මා විසිනි. කුඩා දැරියක් වූ නන්දා මාලිනිය ද ගී ගැයුවා.

මා වෘත්තියෙන් ඉංග්‍රීසි කථිකාචාර්යවරයකු ලෙස සේවය කළා. ඒ අනුව 1986 දී අධි ශිෂ්‍යත්වයක් ලැබ එංගලන්තයේ ලැන්කැස්ටර් විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි පාඨමාලාවක් හැදෑරුවා. එහි සිටි අවධියේ රටවල් හැටක පශ්චාත් උපාධිධාරීන් ඉදිරියේ ඒකපුද්ගල ගී ප්‍රසංගයක් මා පැවැත්වූවා. එහිදී මා ගැයූ අපේ ජන ගීයකටත් මා රචනාකර ගැයූ ඉංග්‍රීසි සාම ගීතයටත් ඉහළ ප්‍රතිචාර ලැබුණා.

ආනන්ද සමරකෝන් මහතාගේ අමරණීය ලංකා ගී ප්‍රසංගයේ ඔහුගේ ගී තුනක් මා ගැයුවා. මහනුවර වාර්ෂිකව පැවැති කුමරතුඟු සමරුවට මා ගී ගැයුවා. එම ගී ලබාගැනීමට සුනිල් සාන්තයන් හමුවීමට මට සිදුවිය. විfද්‍යාදය සරසවියේ නාට්‍ය පර්ෂද ලෙස කටයුතු කළා. මැන්දිස් රෝහණදීර ඇදුරුතුමා නිෂ්පාදනය කළ ‘කැන්දන් ගෙදරට ආ දා” වේදිකා නාට්‍යයේ මා ගී ගැයුවා. සංගීත අධ්‍යක්‍ෂණය කළේ අමරදේව ය. පුහුණුවීම් සඳහා එතුමා හමුවීමට මා නිතර ගියා. මේ විශිෂ්ට ප්‍රවීණයන්ගේ ඇසුර මගේ ගායන දිවියට අමුතුම ආලොකයක් ගෙන දුන්නා.

මා ගායන ශිල්පියකු වීමට පෙර විවියන් බොරලැස්ස සහ චන්ද්‍රා දහනායක යන මහත්මීන්ගේ සරල ගී වැඩසටහන්වලදී සහාය ගායනය කළා. ගී තනු නිර්මාණය කර දුන්නා.

මීට වසර බොහොමයකට පෙර දිනෙක මා මහනුවර පුෂ්පදාන පාසලේ විවිධ ප්‍රසංගයක් නැරඹීමට ගියා. එහි නැටුමකට කළ පසුබිම් ගායනය මාගේ සිත් බැඳගත්තා. ඒ ගායකයා බැලීමට වේදිකාවට ගියා. ගීතය ගැයූ නව යොවුන් තරුණයා මට මුණගැසුණා. මා ඔහුට සුබපතා කවදා හෝ ලංකාවේ හොඳ ගායකයකු වෙනවා, සංගීතය හොඳින් ඉගෙන ගන්න කීවා. ඔහු තමා වික්ටර් රත්නායක.

මගේ එක් සරල ගී වැඩසටහනක ගුවන්විදුලියේ දී පුහුණු වන අතර එහි වයලීනය වාදනය කළ අමරසිරි පීරිස් සහෝදරයාට මා මෙසේ පැවැසුවා. “ඔයාගේ ලස්සන ගීයක් මා රූපවාහිනියෙන් දැක්කා. නියම ලස්සන පිරිමි කටහඬක් ඔයාට තියෙන්නේ. වයලීනය වාදනය කළාට කමක් නැහැ ඔයා සිංදුත් කියන්න” මේ දෙදෙනාම ගැන මා අතිශය සතුටට පත්වෙනවා.

මුද්‍රා නාට්‍ය ශිල්පියකු වූ ප්‍රවීණ නැටුම් ගුරුවරයකු වූ වසන්ත කුමාර මහතාගේ “මනෝහාරී” මුද්‍රා නාට්‍යයේ මා එක් ගීයක් ගායනා කළා. එතුමාගේ සහ දක්‍ෂ බෙර වාදකයකු වූ පෝල් අඹේගොඩ ගුරුන්නාන්සේගේ ඇසුරින් මා බොහෝ දේ ඉගෙන ගත්තා.

1955 දී මහනුවර පැවැත්වූ සුරා සූදු විරෝධී පෙරමුණේ රැලිය සඳහා ගී රචනා තරගයෙන් මා ප්‍රථම ස්ථානය ලබාගෙන රිදී පදක්කමක් ලබා ගත්තා.

ප්‍රේමසිරි කේමදාස මහතා මට ඇසුරු කරන්න ලැබුණේ ඔහු සංගීත ක්‍ෂේත්‍රයට එන්නත් කලින්. ඒ කාලේ ඔහු මට ගී පහක් පමණ තනු යොදා දුන්නා. “කිරිලියේ මල් වනේ” ගීතය මා ගැයුවේ විජිත කුසුම් ලියනගේ සමගයි. ඒ ගීය ගැන පැහැදුණු හරූන් ලන්ත්‍රා ද මා කේමදාසයන්ට හඳුන්වා දුන්නා. ලන්ත්‍රාට ඔහු තැනූ “රත්තරං කූඩුවේ ඉන්න රන් කිරිල්ලියේ” ගීතය ද ලන්ත්‍රා ගැයුවේ විජිත කුසුම් ලියනගේ සමගයි. ඒ ගීතය මගේ ගීයට වඩා ජනප්‍රිය විය. ඒ ගැන මා සතුටු වුණා.

විශ්‍රාම ගොස් සිටින මා ලේඛන කලාවට යොමු කළ කැලණියේ වරාගොඩ මිතුරු ප්‍රින්ටර්ස් හි අධිපති මගේ ඥාති පුත්‍ර අසෝක පියතිලක සහ එම මැතිනිය මගේ ඥාති දියණිය අමිතා හට මගේ කෘතවේදය පිරිනමා සිටිනවා. මා ලියූ පොත් “යහපත් සිතිවිලි අංක 1 සහ 2 ග්‍රීක දේවතා, යහපත් කවි සිතිවිලි සහ ීඑදරසැි ත්‍දර ්‍යමප්බසඑහ නමැති ඉංග්‍රීසි කතා පොත. එය මුද්‍රණය කර ප්‍රකාශ කළ සරසවි ප්‍රකාශක ආයතනයේ සභාපති තුමා ඇතුළු කාර්ය මණ්ඩලයට මගේ ගෞරවනීය ප්‍රණාමය පිරිනමනවා. ඉංග්‍රීසි පොතේ ඇති කතා බොහොමයක්ම ගුවන්විදුලි “ධම්ම චින්තා”සහ “දවසේ සිතිවිලි” සහ ධර්ම දේශනාවලින් උපුටා ගත් කතා ය.

මගේ ගායන ජීවිතයේදී මට සහයෝගය දැක්වූ සියලු දෙනාටත්, මහලු වියේදී මා සහ මගේ බිරිඳ රැක බලා ගන්නා වූ මගේ දියණිය සාගරිකාටත් විපුල් ජයරත්න බෑණනුවන්ටත් පින් සිදුවේවා.


advertistmentadvertistment