මෙරට දිනකට දිවිනසා ගැනීම් 8ක්
ශ්‍රී ලංකා මනෝ වෛද්‍ය සංගමයේ සභාපති
මෙරට තුළ දෛනිකව සියදිවි නසා ගැනීම් 8ක් පමණ සිදුවන බව ශ්‍රී ලංකා මනෝ වෛද්‍ය සංගමයේ සභාපති වෛද්‍ය සංජීවන අමරසිංහ මහතා පවසයි.
විශාදය ඇතුළු මානසික ගැටලු දිවිනසා ගැනීමට බලපාන බැවින් දරුවන්ගේ යම් වෙනසක් මව්පියන්ට නිරීක්ෂණය වන්නේ නම් එම දරුවන් වහාම ප්‍රතිකාර සඳහා යොමු කළ යුතු බවද ඒ මහතා කීය.
කොළඹ පැවැති මාධ්‍ය හවුවක දී තවදුරටත් කතා කළ ඒ මහතා මෙසේ ද කියා සිටියේය.
ලංකාවේ දවසකට සියදිවි නසා ගැනීම් 8ක් විතර සිදුවෙනවා. සියදිවි නසා ගැනීම් අතරින් 2023 වසරේ ලංකාව ලෝකයේ 21 වැනි ස්ථානයේ ඉන්නේ. මනෝ සමාජීය හේතු රැසක් සියදිවි නසා ගැනීම්වලට බලපානවා. විශාදය සහ මත්ද්‍රව්‍යයත් මීට බලපානවා. සියදිවි නසා ගැනීම්වලට උත්සාහ ගන්නා සියලු දෙනාම මානසික රෝගීන් නොවෙයි. ආවේගශීලී භාවය, හැඟීම් පාලනය, ප්‍රශ්නවලට මුහුණදීමේ දුර්වලතා නිසා සියදිවි නසා ගන්නවා. විශේෂයෙන් තරුණ පිරිස අතර ආවේගශිලීභාවය වැඩියි.
කළුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ ළමා සහ යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය අනුරාධා හේරත් මහත්මිය.
නව යොවුන් වියේ පසුවන දරුවකුට තරහ යන්න පුළුවන්. සමහර විට දරුවා පැත්තකට වෙලා ඉන්න පුළුවන්. නිතර නිතර දරුවා අඬනවා නම් පාසල් අධ්‍යාපන කටයුතු ක්‍රමයෙන් අඩු වෙනවා නම්, පාසලට ආශාවෙන් ගිය දරුවා දැන් ආශාවෙන් යන්නේ නැත්නම්, ආහාර රුචිය අඩු නම් ඒක මානසික ගැටලුවක් වෙන්න පුළුවන්. වැඩිහිටියන් දරුවන්ගේ මානසික වෙනස්කම් හඳුනා ගන්න ඕනෑ. එවැනි දරුවන් හැකි ඉක්මනින්ම වෛද්‍යවරයකු වෙත රැගෙන යෑම සුදුසුයි. ඒ වගේම 1926 හා 1333 කියන උපදේශන සේවාවට කතා කරලා නියමිත වේලාවට අදාළ උපදෙස් ලබාගන්න.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්