රටේ ණය කන්ද ඇ. ඩො. බිලියන 100

ගත්ත ණයවලින් 70%ක් පොත්වලත් නැහැ

ණය අරන් වැඩිපුරම කළේ අසාර්ථක ව්‍යාපෘති

රටවල් 40කට ණයවෙයි

පසුගියදා කලකට පසු රට පුරාම දැවැන්ත පොස්ටර් ව්‍යාපාරයක් දියත් වී තිබිණි. එහි බොහෝම ආඩම්බරයෙන් සටහන් කර තිබුණේ ‘සුබ ආරංචියක්’ යනුවෙනි. ජනතාව බලා සිටියේ ඔවුන්ට සුබ ආරංචියක් ලැබෙනු ඇතැයි කියාය. නමුත් ලැබුණු ආරංචිය පාලකයන්ට සුබ වුණාට ජනතාවටනම් සුබ නැත. 26 වැනිදා රාත්‍රි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කරමින් සුපුරුදු පරිදිම ප්‍රකාශ කළේ ලංකා මාතාව කියන දරුවා අනතුරුදායක වැල් පාලමෙන් මෙතෙක් ආරක්‍ෂිතව ඉදිරියට ගෙනා බවයි. පැරිස් නුවරදී ශ්‍රී ලංකාවේ ප්‍රධාන නිල ද්විපාර්ශ්වික ණය හිමියන් සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා අවසන් කරමින් නිල ණය හිමියන්ගේ කමිටුව සමඟ අවසන් එකඟත්වයට එළැඹුණු බවත්, චීනයේ එක්සිම් බැංකුව සමඟ ද බෙයිජිං නුවරදී අවසන් එකඟත්වයට පැමිණි අතර ඊට අදාළ වන විධිමත් ක්‍රියා පටිපාටීන් මේ වන විට සිදුකෙරෙමින් පවතින බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ එහිදී සඳහන් කළේය.

අප දැන් සැබවින්ම බංකොළොත් භාවයෙන් මිදුන රටක්ද යන ප්‍රශ්නය කා තුළත් ඇතිවේ. සෑම කෙනෙක්ම ප්‍රශ්න කරන්නේ දැන් අපට ණය ගෙවන්න පුළුවන්ද යන කාරණයයි. අප සැබවින්ම බංකොළොත් භාවයෙන් මිදුන රටක් නම් ළමා මන්දපෝෂණය 26% වීමට ඉඩක් නැත. ලංකාවේ ණය කන්ද ඩොලර් බිලියන 100ක් වීමට ඉඩක් නැත. උපාධිධාරීන් දහස් ගණන් රැකියා දියව් දියව් කියමින් මහපාරේ උද්ඝෝෂණ කළ යුතු නැත. ශ්‍රමයට අඩුම වැටුපක් ගෙවන රටවල් 40ක් අතරින් අප හතරවන තැනට පත්වන්නේ නැත.

රනිල් වික්‍රමසිංහ මහතා පවසන ආකාරයට මේ එකඟතාවන් සමඟම විදේශ රටවල සියලු ද්විපාර්ශ්වික ණය වාරික ගෙවීම් 2028 වසර දක්වා කල් දමා ගැනීමට අපට හැකි වී ඇත. ඉන් පසු සහනදායී කොන්දේසි මත සියලු ණය ගෙවා අවසන් කරන්නටත් 2043 දක්වා දිගු කාලයක් ලබා ගන්නටත් අපට අවස්ථාව ලැබේවි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මේ ගැන කදිම විග්‍රහයක් කරන්නේය. ඒ ඉතා සියුම් විමර්ශන ක්‍රියාවලියකින් පසුවය. ඔහු රටේ වත්මන් තත්ත්වය සහ ජනාධිපතිවරයා කළ ප්‍රකාශය පිළිබඳ අප හා ඉතා වටිනා අදහස් කිහිපයක්ම දැක්විය. ඔහුකියන ආකාරයට තත්ත්වය කිසිසේත් සුබ නැත. අපට රට ගැන හෝ ආර්ථිකය ගැන අයහපත් චිත්‍රයක් මැවීමේ වුවමනාවක් නැත. එහෙත් යථාර්ථය තේරුම්ගත යුතුය.

“මේ වනවිට රටේ බොහෝ දෙනාගේ අවධානයට ලක්වී පවතින්නේ විදේශීය ණය සහ විදේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳවයි. මේ වනවිට පවතින විදේශීය ණය ප්‍රමාණය ඩොලර් බිලියන 37ක්. මෙයින් ද්වීපාර්ශ්වීය ණය ප්‍රමාණය ඩොලර් බිලියන 10ක්. බහු පාර්ශ්වීය ණය ප්‍රමාණය ඩොලර් බිලියන 12ක්. ඊට අමතරව විදේශීය වෙළෙඳපළ තුළින් ලබාගත් ණය ප්‍රමාණය ඩොලර් බිලියන 15ක්.”

රජය පසුගිය කාලය පුරාම ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ කතාකරනු දක්නට ලැබිණි. ඒ තුළින් රජය අපේක්‍ෂා කළේ කුමක්ද යන කාරණය පිළිබඳ මහාචාර්යවරයා පළකළේ මෙවන් අදහසකි.

“රජය විශාල වශයෙන් විදේශවලින් ණය අරගෙන තිබෙන නිසා ඔවුන් බලාපොරොත්තු වන්නේ යම් ණය ප්‍රමාණයක් අඩුකරගැනීම, කල් දැමීම හෝ පොලිය අඩුකර ගැනීමටයි. රජය ලබාගෙන ඇති බහු පාර්ශ්වීය ණය ප්‍රමාණය සමස්ත ණයවලින් 32%ක්. ද්වීපාර්ශ්වීය ණය 28% ක් වන අතර වාණිජ ණය ප්‍රමාණය 40%ක්. රජය මේ වනවිට සාකච්ඡා කරමින් පවතින්නේ ද්වීපාර්ශ්වීය ණය ප්‍රමාණය අඩුකර ගැනීමට හෝ කල්දමා ගැනීමටයි. රජයේ අරමුණ වන්නේ ද්වීපාර්ශ්වීය ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසන් වීමෙන් පසු වාණිජ ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමයි. එය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූලික කොන්දේසියක්ද වනවා.”

අප රට විශාල වශයෙන් ණය ලබාගත් මූලාශ්‍ර කිහිපයක්ම හඳුනාගත හැකියි. ඒ අතරින් මේ වනවිට සාකච්ඡාවට බඳුන්වන ද්වීපාර්ශ්වීය ණය ස්ථාන දෙකකින් ලබාගෙන තිබෙන අතර එලෙස ණය ලබාගත් මූලාශ්‍ර පිළිබඳව මහාචාර්යවරයා මෙසේ අදහස් දැක්විය.

“අප ලබාගෙන තිබෙන 28%ක ද්වීපාර්ශ්වීය ණයවලින් 11% ලබාගෙන තිබෙන්නේ පැරිස් සමාජයේ සාමාජිකයන්ගෙන්. අනෙක් 17% ලබාගෙන තිබෙන්නේ පැරිස් සමාජයේ නොවන අයගෙන්.”

දේශපාලන වේදිකාවේ නිරන්තරව කියවුණු ප්‍රවෘත්තියක් වූයේ අප රට චීනයෙන් අසීමිතව ණය ලබාගන්නා බවයි. දේශපාලන වේදිකාවේ පැවසූ පරිදි අප චීනයෙන් විශාල ණය ප්‍රමාණයක් ලබාගෙන ඇත්දැයි කියන කාරණය විමසූ අවස්ථාවේ මහාචාර්යවරයා ඒ පිළිබඳ පැහැදිලි කළේ මේ ආකාරයෙනි.

“අප ද්වීපාර්ශ්වීය ණයවලින් වැඩිපුරම ලබාගෙන තිබෙන්නේ චයිනා එක්සිම් බැංකුවෙන්. ඒ තුළින් ලබාගෙන තිබෙන ණය ප්‍රමාණය ඩොලර් මිලියන 3993 (බිලියන 3.9) ක්. ඉන්දියා එක්සිම් බැංකුවෙන් ඩොලර් මිලියන 871ක්, ජපානයෙන් ඩොලර් මිලියන 2359ක් ඉන්දීය රාජ්‍ය බැංකුවෙන් ඩොලර් මිලියන 495ක් වශයෙන් ආයතන 40කට අධික ප්‍රමාණයකින් අප රට ණය ලබාගෙන තිබෙනවා.

පැරිස් සමාජයේ සාමාජිකයන්ගෙන් අප ලබාගත් ණය ප්‍රමාණය ඩොලර් මිලියන 4227ක්. එයින් වැඩිම ප්‍රමාණයක් ලබාගත් රට ජපානය. ඒ ප්‍රමාණය ඩොලර් මිලියන 2359ක්. ඊට අමතරව ප්‍රංශයෙන් ඩොලර් මිලියන 427ක්, දකුණු කොරියාවෙන් ඩොලර් මිලියන 294ක්, නෙදර්ලන්තයෙන් ඩොලර් මිලියන 262ක්, ජර්මනියෙන් ඩොලර් මිලියන 199ක්, එක්සත් රාජධානියෙන් ඩොලර් මිලියන 190ක්, ඇමරිකා එක්සත් ජනපදයෙන් ඩොලර් මිලියන 132ක්, ඔස්ට්‍රේලියාවෙන් ඩොලර් මිලියන 106ක් ආදී වශයෙන් පැරිස් සමාජයේ රටවල් 15කින් ණය ලබාගෙන තිබෙනවා.

පැරිස් සමාජයේ නොවන රටවල් වන චීනයෙන් ඩොලර් මිලියන 4668ක්, ඉන්දියාවෙන් ඩොලර් මිලියන 1366ක්, සෞදි අරාබියෙන් ඩොලර් මිලියන 148ක්, කුවේට්වලින් ඩොලර් මිලියන 95ක්, හංගේරියාවෙන් ඩොලර් මිලියන 48, ඉරානයෙන් ඩොලර් මිලියන 33, පකිස්තානයෙන් ඩොලර් මිලියන 2ක් ඇතුළුව පැරිස් සමාජයේ නොවන අයගෙන් ඩොලර් මිලියන 6361 වැනි ප්‍රමාණයක් අරගෙන තිබෙනවා.

ලංකාව ණය ගෙවීම පැහැර හැරියේ 2022 අප්‍රේල් මාසයේ 12 වැනිදාය. මේ වනවිට ණය ගෙවීම පැහැරහැර වසර දෙකකට අධික කාලයක් ගතවී ඇත. මේ කාලය තුළම විවිධ සාකච්ඡා වට කිහිපයක්ම පැවැත්විණි. ආණ්ඩුව විසින් විටින් විට කළ සාකච්ඡා සාර්ථක බව පවසනු දක්නට ලැබිණි. ඒ පිළිබඳ විමසීමටද අප අමතක නොකළෙමු.

“දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් අනතුරුව රජය විදේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා පසුගිය වසරේ සාකච්ඡා වට ගණනාවක් පැවැත්වුණා. එහිදී සිදුවුණේ ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීමයි. ඒ තුළින් සිදුවුණේ ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා කැමැත්ත ලබාගැනීමයි. දැන් ඒ සඳහා සැලසුමක් ඉදිරිපත් වී තිබෙනවා.”

ණය ගෙවන්නෙ කොහොමද?

ණය ගෙවීම දීර්ඝ කර ගැනීමට අවස්ථාව ලැබීම හොඳයි. නමුත් අපි කඩිමුඩියේ ණය ගැනීම නොකළ යුතුයි.පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව හා සංඛ්‍යාන අධ්‍යන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල

සුබ ආරංචියක්…

පැරිස් සමාජයේ සාමාජික රටවල් හා පැරිස් සමාජයේ සාමාජික නොවන රටවල් පිරිස සම්බන්ධ කරගෙන අප පිහිටුවා තිබෙනවා නිල ණය හිමියන්ගේ කමිටුව නමින් කමිටුවක්. එම ණය හිමියන්ගේ කමිටුවේ සම සභාපතිත්වය දරන්නේ ජපානය, ඉන්දියාව සහ ප්‍රංශය කියන රටවල්. එම රටවල් සමග කළ සාකච්ඡාවලින් අනතුරුව නිල ණය හිමියන්ගේ කමිටුවේ එකඟතාව පළවී තිබෙනවා එම රටවල්වලින් ලබාගත් ඩොලර් බිලියන 5.8කුත් චීන එක්සිම් බැංකුවෙන් ලබාගත් ඩොලර් බිලියන 4.2 කුත් ප්‍රතිව්‍යුහගතකරණය කරන්න එකඟතාව පළ වී ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.

රටේ බොහෝ ජනතාව බලාසිටියේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කරනවා යැයි කියූ සැණින් අපේ ණය කන්දෙන් කොටසක් කපා හරීවි කියාය. නමුත් දැනගන්නට ඇති පරිදි මේ තුළින් අපේ ණය කපා හැරීමක් සිදුව නැත. සිදුව ඇත්තේ ණය ගෙවීමට ලබාදී තිබූ කාලය දීර්ඝ කිරීම පමණි. ඒ පිළිබඳවද මහාචාර්යවරයා අදහස් දැක්විය.

“දැනට දැනගන්නට ලැබෙන තොරතුරුවලට අනුව අපේ ණය කපාහැරීමක් සිද්ධ වන්නේ නැහැ. සිදුවන්නේ ණය ගෙවීමට තිබෙන කාලය දීර්ඝ කිරීම පමණයි. මේ වනවිට අප ඩොලර් බිලියන 5.8ක පමණ ණය ගෙවීම පැහැර හැර තිබෙනවා. ඊට අමතරව ද්වීපාර්ශ්වීය ණයවලින් ඩොලර් මිලියන 2167 ක් ගෙවීම පැහැරහැර තිබෙනවා. මේ තුළ පැරිස් සමාජයේ ණය පැහැරහැරීම ඩොලර් මිලියන 776ක්. පැරිස් සමාජයේ නොවන අයගේ ණය පැහැර හැරීම ඩොලර් මිලියන 1391ක්. එම ණය ගෙවීමට ලැබෙන අවස්ථාව 2028 වසරේ සිට හෝ 2032 වසරින් පසුව විය හැකියි. ඒ පිළිබඳ තවම නිශ්චිත තීරණයක් ගෙන නැහැ. ඒ වගේම යම් පොලිය අඩුකර ගැනීමකටත් අවස්ථාව ලැබේවි කියල හිතනවා.”

ණය ප්‍රතිව්‍යුහගතකරණය තුළින් අප රටට සිදුවන්නේ වාසියක්ද පාඩුවක්ද යන වග සෑම කෙනෙක්ම විමසන කරුණක් බවට පත්ව ඇත. මේ වනවිට රට තුළ යම් ස්ථාවර තත්ත්වයක් ඇතිවී තිබෙන්නේ ණය නොගෙවීම නිසාය. ණය ගෙවීම කල් දැමීමත් සමග රටට අත්වන්නේ වාසියක්ද පාඩුවක්ද යන වග මහාචාර්යවරයා පැවසීය.

“ණය ගෙවීමට කල් ලබාගැනීම තුළින් අත්වන ප්‍රධානම වාසිය වන්නේ මුදලේ වටිනාකම අඩුවීමයි. ලබන වසරේ ගෙවීමට තිබෙන ණය මුදලක් තව වසර පහකින් ගෙවීමට අවස්ථාව හිමිවීම තුළින් මුදලේ වර්තමාන අගය පහළ යෑම නිසා අපට සිදුවන්නේ වාසියක්. අපි උදාහරණයක් ගෙන බලමු. අපි කාට හරි රුපියල් ලක්‍ෂයක් දීල ඒක සතියකින් දෙන්න කිව්වොත් ඔබට රුපියල් ලක්‍ෂයම ලැබෙනවා වගේම එහි වටිනාකම තියෙනවා. ඒත් ඔබෙන් ලබාගත් ලක්‍ෂය තව අවුරුදු පහකින් ලැබුණොත් එහි වටිනාකම අඩුයි. ඒ වගේ වාසියක් තමයි අපට ලැබෙන්නෙ.”

2023 වසරේ ජාත්‍යන්තර මූල්‍ය මූල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන දෙකක පමණ ණය මුදලක් ලබාගත් බව ඔබ අප කවුරුත් දන්නා සත්‍යයයි. ඒත් සමගම අප බහු පාර්ශ්වීය ආයතන වෙත ඩොලර් බිලියන 2.6ක් වැනි ප්‍රමාණයක් ණය ගෙවා ඇත. එහි අර්ථය දැන් අප ණය ගෙවීමට තරම් ශක්තිමත් තත්ත්වයක් නිර්මාණය කරගෙන තිබෙන බවද යන්නත් රටේ අනාගතය පිළිබඳවත් මහාචාර්යවරයාගෙන් විමසීමට අමතක නොකළෙමු.

ප්‍රතිව්‍යුහගතකරණය යට තිබෙන අනතුර

“අප ඩොලර් බිලියන 2ක් ණයට අරගෙන ඩොලර් බිලියන 2.6ක් ගෙවා තිබෙනවා. ඒක හොඳ දෙයක්. මොකද ඩොලර් මිලියන 600කින් හරි අපේ ණය අඩුවෙලා තිබෙනවා. මේ ණය ප්‍රතිව්‍යුහගතකරණය තුළින් කාරණා කීපයක් ඉෂ්ඨ වීමට හැකියාව ලැබෙනවා. එකක් තමයි අපට නැවත වරක් ද්වීපාර්ශ්වීය ණය ලබාගැනීමට හැකිවීම. අප වෙනත් රටවල්වලින් නැවත වරක් සීමාවකින් තොරව ණය ලබාගැනීමට කටයුතු කළොත් නැවත වරක් මීටත් වඩා විශාල ණය උගුලක සිරවීමේ අවදානම පවතිනවා.

මේ තත්ත්වය දේශීය වශයෙන් සිදුවූ දෙයක්. අප දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කළ පසු අසීමිතව ණය ගන්නා ආකාරයක් දකින්නට ලැබුණා. ඒ වගේ තත්ත්වයක් විදේශීය ණය සම්බන්ධයෙන් ඇතිවුවහොත් යළි ගොඩ ආ නොහැකි ලෙස අපව වළටම වැටේවි. රට යළි අඳුරු යුගයකට රැගෙන යාවි.

ආණ්ඩුව දේශීය වශයෙන් ඒ විදිහට විශාල වශයෙන් ණය ලබාගත්තෙ කල් ලබාගැනීමත් සමග තිබෙන අවදානම අඩුවීම නිසයි. නමුත් ආණ්ඩුව කල්පනා නොකරන කාරණය තමයි එහෙම ගන්න ණය කවදා හරි ආපහු ගෙවන්න ඕන කියන කාරණය.

දෙවැනි කාරණය තමයි එහෙම ණය ගත්තොත් අපේ ණය බර අඩුවෙන්නේ නැහැ කියන කාරණය. තුන්වැනි කාරණය තමයි වැදගත්ම කාරණය. අපේ රටේ ප්‍රතිපත්ති සම්පාදකයන්, ආර්ථික විද්‍යාව පිළිබඳ උපදෙස් දෙන අය නිතරම උපදෙස් දෙන්නෙ විදේශ ණය ගැනීම තුළින් අපේ රට දියුණු කරන්න ඕන කියල. මේ පිරිස සිටින්නේ විදේශවලින් අපට තව ණය ගැනීමට පුළුවන් සහ එලෙස ලබාගන්නා ණයවලින් වැඩ නතර කර ඇති පාලම්, බෝක්කු, මහාමාර්ග ඉදිකිරීම් වැනි ව්‍යාපෘති යළි ක්‍රියාත්මක කරන්න පුළුවන් කියන මතයේ. මේ නිසා අපි යළිත් වරක් පිටරටින් ණය අරන් රටට ආර්ථික වාසියක් නොවන කටයුතු කිරීම තුළින් සිදුවන්නේ ණය කන්ද වැඩිවීම පමණයි.”

විදෙස් ණය ගැනීම සුදුසුද සහ එලෙස ලබාගන්නා ණය මුදල්වලින් කුමන කටයුත්තක් සිදුකළයුතුදැයි අප මහාචාර්යවරයාගෙන් විමසා සිටියේ එය රටේ අනාගත අභිවෘද්ධියට වැදගත් වන බැවිනි.

“ අපි ආර්ථික අර්බුදයට පත් වුණේම විදෙස් රටවලින් ණය අරගෙන කිසිදු ආර්ථික වාසියක් නැති මහාමාර්ග වැනි ව්‍යාපෘතිවල ආයෝජනය කළ නිසයි. ඒ නිසා කළ යුත්තේ ණය අරගෙන කර්මාන්ත ක්‍ෂේත්‍රයේ ආයෝජනය කිරීමයි. එතකොට කර්මාන්ත ක්‍ෂේත්‍රයේ නිෂ්පාදනයක් සිදුවී එම නිෂ්පාදන වෙනත් රටවලට අපනයනය කිරීම තුළින් අප රටට විදේශ විනිමය ලබාගත හැකියි. රටක් සංවර්ධනය කරනවානම් කළ යුත්තේ එවැනි කාර්යයකුයි. එහෙම නැතිව ණය අරගෙන පාරවල් හැදුවට රටක් සංවර්ධනය කරන්න බැහැ. ඒ තුළින් යටිතල පහසුකම් සංවර්ධනය වන බව ඇත්ත. නමුත් ඒ තුළින් කිසිදු විදේශ විනිමය ඉපයීමක් සිදුවන්නේ නැහැ.

මේ අවස්ථාවේ විදේශීය ණය ගෙවීම දීර්ඝ කර ගැනීමට අවස්ථාව ලැබීම හොඳයි. ඒත් අපි කඩිමුඩියේ ණය ගැනීම නොකළ යුතුයි. ඉන් පසුව කළ යුත්තේ දේශීය ආර්ථිකය ශක්තිමත් කරල රට තුළින් ප්‍රාග්ධන අතිරික්තයක් බිහිකිරීමයි. ඒ ප්‍රාග්ධන අතිරික්තය තුළින් යටිතල පහසුකම් සංවර්ධනය සඳහා මුදල් යෙදවිය හැකියි. අපි තෝරාගත යුත්තේ මේ මාවතයි.

මේ වෙනකොට රජයේ වැඩපිළිවෙළ පැති කිහිපයකින් අවදානම්. එක පැත්තකින් දිගින් දිගටම ණය ගැනීමට යෑම තුළ රටේ ණයබර වැඩිවෙනවා. අනෙක් පැත්තෙන් විදේශ ණය අරගෙන මහාමාර්ග ඉදිකිරීමත් සමග ආනයන ක්‍රමක්‍රමයෙන් ඉහළ යන්න පුළුවන්. එලෙස ආනයන ඉහළ ගියත් අපනයන ඉහළ නොයන නිසා යළිත් වරක් ගෙවුම් ශේෂයේ අර්බුදයක් මතුවෙන්න පුළුවන්.

එම නිසා මේ ක්‍රියාමාර්ගය වඩාත් සුබවාදී කියල හිතන්න බැහැ. විදේශයන්ගෙන් ගන්න ණය පුළුවන් තරම් අඩු කරල දේශීය ආර්ථිකය ගොඩනැගීම තුළින් ප්‍රාග්ධන අතිරික්තයක් බිහිකර ඒ තුළින් රටේ සංවර්ධනය බිහි කරනවානම්, යටිතල පහසුකම් දියුණු කරනවානම් හොඳයි. එසේ නොවනවානම් කළ යුත්තේ විදේශ ආයෝජකයන් රට තුළට ගෙනවිත් ආයෝජන වැඩිදියුණු කිරීමයි. එවැනි ක්‍රියාවක් අපේ අනාගත පරපුරට බරක් වන්නේ නැහැ.”

පසුගිය කාලයේ අප ලබාගත් ණය සමබන්ධයෙන් විවිධ වෝදනා එල්ලවන සමයක ඒ පිළිබඳවද මහාචාර්ය අතුකෝරළ මහතා අදහස් දැක්විය.

“අප විදේශයන්ගෙන් ණය අරගෙන රට තුළ විවිධ වත්කම්වල ආයෝජනය කළත් එයට සමගාමීව වත්කම් වත්කම් බිහිවීමක් රට තුළ සිදුව නැහැ. අප මුදල් ලබාගෙන එම මුදල් වැය කරන වි ඊට සමගාමීව රට තුළ ස්ථාවර වත්කම් ප්‍රමාණයක් බිහිවිය යුතු වුවත් එවැනි වත්කම් ප්‍රමාණයක් බිහිව නැහැ.ඒ වගේම එම මුදල් වියදම් කළ ආකාරය ගැන නිවැරදි ආකාරයට ගිණුම්ගත වීමක් සිදුව නැහැ. විගණකාධිපති වාර්තාවෙන් පවා පෙන්වා දී තිබෙනවා ණය අරගෙන රටට දැනෙන දෙයක් කර නැති බව. රජය ගත් මුදල්වලින් 70% පමණම වියදම් කළ ආකාරය නිවැරදිව සටහන් වී නැහැ. නැවත ණය ලබාගැනීමට පෙර අනිවාර්යෙන්ම මුදල් වියදම් කිරීම පිළිබඳ විනිනිදභාවයක් ඇතිකළ යුතුයි. එහෙම නැතුව කොපමණ ණය ගත්තත් රටක් සංවර්ධනය කරන්න බැහැ.”

මහාචාර්යවරයා පවසන පරිදි මේ අවස්ථාවේ සිදුවිය යුත්තේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමත් සමග ඇතිවන අවස්ථාව ප්‍රයෝජනයට ගෙන වැඩි වැඩියෙන් ණය ගැනීම නොවේ. පසුගිය කාලයේ දේශපාලකයන් කෝටි ප්‍රකෝටි ගණනින් ණය අරගෙන සත පහකට වැඩක් නැති රටට මහා බරක් ගෙනදුන් ව්‍යාපෘති කළ ආකාරය අපට මතකය. ඉදිරියට පැමිණීමට ඇත්තේ මැතිවරණ සමයයි. එම සමයේ කෝටි ප්‍රකෝටි ගණන් ණය අරගෙන නත්තල් සීයලා මෙන් සල්ලි බෙදන්න ගියොත් අපට යළිත් සිදුවන්නේ පෝළිම් යුගයකට යෑමටය. මේ එළඹ ඇත්තේ දේශපාලනඥයන් මෙන්ම රටේ ජනතාවද සිහි බුද්ධියෙන් යුතුව කටයුතු කළ යුතු අවස්ථාවයි.

සමීර කන්නන්ගර

advertistmentadvertistment
advertistmentadvertistment