කන්ද උඩරට රාජධානීයේ අගනුවර වූ සෙංකඩගලපුර නගරයේ පිහිටි සිව් මහා දේවාල අතරින් නාථ දේවාලයට හිමි වන්නේ ප‍්‍රධාන ස්ථානයකි. ඊට හේතු වන්නේ එම දේවාලය මහනුවර ලෝක උරුම නගරයේ පිහිටි පෞරාණික ම ස්මාරකය වශයෙන් හඳුනාගෙන තිබීමයි. ඊට හේතුව මෙම දේවාලයේ ඉතිහාසය මහනුවර ප‍්‍රධාන නගරයක් වීම දක්වා වූ ඈත අතීතයකට ගමන් කිරීමයි. ඒ අනුව මෙම දේවාලය ඓතිහාසික මහනුවර ශ‍්‍රී දළදා මාලිගයට බටහිරින් පිහිටි දේවාල චතුරස‍්‍රයේ පත්තිනි දේවාලයට නැෙඟනහිර දෙසින් උතුරු දිශාමුඛව පිහිටා ඇත.
නාථ දේවාලයේ ඉතිහාසය පිළිබඳව විමසීමට පෙර නාථ දේව සංකල්පය ගැන කෙටියෙන් හෝ දැක්වීම වැදගත්ය. ‘නාථ’ යන වචනයේ අරුත ‘අධිපතියා’ යන්නය. ශ‍්‍රී ලාංකේය බෞද්ධ ජනතාව මතු බුදුවන මෛත‍්‍රි බෝසතුන් වශයෙන් නාථ දෙවියන්ව සකනු ලබයි. එමෙන් ම ඉතිහාසඥයන් ගේ මතය වන්නේ මහායාන බුදු සමයේ එන අවලෝකිතේශ්වර බෝසතුන් ‘අවලෝකිතේශ්වර නාථ’ ලෙස හඳුන්වන බැවින් එම සංකල්පය අනුව නාථ දේව සංකල්පය බිහි වූ බවයි. එම මතය තහවුරු කරමින් 14 වන සියවසට අයත් ලංකාතිලක සෙල්ලිපියේ ‘මෛත‍්‍රි බෝධිසත්ත්වයන් වහන්සේ ලෝකේශ්වරනාථයන් වහන්සේ’ ලෙසත්, පැපිලියාන සෙල්ලිපියේ ‘නාථ මෛත‍්‍රි දෙතැනට’ ලෙසත්, ගඩලාදෙණිය සෙල්ලිපියේ ‘නාථ මෛත‍්‍රි’ යනුවෙන් වෙනවෙන ම සඳහන් වීම සාධකයක් වශයෙන් දැක්විය හැක. එබැවින් අනුරාධපුර රාජධානි සමයේ සිට ලක්දිවට බලපෑ මහායාන බුදු සමයේ සඳහන් අවලෝකිතේශ්වර බෝධිසත්ත්ව සංකල්පය මධ්‍යකාලීන යුගය ථේරවාදී සහ මහායාන බුදු සමයන්වල මිශ‍්‍ර වීමත් සමග මෛත‍්‍රි බෝධිසත්ත්ව සංකල්පයත් සමග සම්බන්ධ වී ක‍්‍රමයෙන් හින්දු ආගමේ බලපෑම මත දේව සංකල්පයක් බවට පත්ව නාථ දේව සංකල්පය ගොඩ නැඟුණ බව හඳුනාගත හැකිය. එබැවින් බෝධිසත්ත්ව සංකල්පයක් සමග මිශ‍්‍ර වී ගොඩ නැඟුණු දේව සංකල්පයක් බැවින් අවිහිංසාවාදිව ජනතාවට පිහිට වන දෙවිකෙනකු වශයෙන් සිංහල බෞද්ධ ජනතාව අතර නාථ දෙවියන් ගෞරවයට පත‍්‍ර වී ඇත.
නාථ දෙවියන් ගේ බලය පිළිබඳව මධ්‍යකාලීන යුගයේ රචනා වූ සංදේශ කාව්‍යයන් වන තිසර සංදේශය, පරවි සංදේශය, ගිරා සංදේශය, හංස සංදේශය තුළ විශේෂයෙන් වර්ණනා කොට ඇත. එහි දී අප‍්‍රකට කවියකු විසින් කෝට්ටේ රාජධානි සමයේ දී VI වන පරාක‍්‍රමබාහු රජුට සහ රජ පවුලට නාථ දෙවියන් ගේ ආශීර්වාදය යැදීමේ අරමුණින් රචනා කරන ලද ගිරා සංදේශය තුළ නාථ දෙවියන් ගේ බලය ගැන විශේෂයෙන් වර්ණනා කොට ඇත. එහි නාථ දෙවියන්ව,
‘‘සමදුර හිම් අවට – සව් සිරි සපිරි සිරි ලක – අමාකර කිරණ සේ පිරිසිදු දිවැස – යොමා කුලූණු ගුණයෙන් දැක ඇම දවස…’’ අදි ලෙස වර්ණනා කොට ඇත.
එලෙස සිංහල බෞද්ධ ජනතාව අතර ගෞරවයට සහ වන්දනාවට ලක් වන නාථ දෙවියන් උදෙසා දිවයිනේ විවිධ ප‍්‍රදේශවල දේවාල ඉදි වූ අතර එලෙස ඉදි වූ දේවාල අතරින් මහනුවර ශ‍්‍රී නාථ දේවාලය ප‍්‍රමුඛ ස්ථානයක් ගනී. ඒ අනුව දේවාලය ඉදිකොට ඇති භූමිය සම්බන්ධයෙන් ද ඇත්තේ රසවත් කථාවකි. මහනුවර හෙවත් සෙංකඩගල නගරය ඉදිවීම හා සම්බන්ධ පුරාවෘතයට සමග මෙම දේවාලය පිහිටි භූමිය සම්බන්ධ වී ඇත. ඒ අනුව උඩවත්ත කැලයේ ලෙනක වාසය කළ සෙංඛණ්ඩ නම් බ‍්‍රාහ්මණයා දිනක් හිවලකු සාවකු පසුපස එලවා ගෙන මෙම ස්ථානයට පැමිණි බවත් මෙම ස්ථානයේ දී හාවා හිවලා පසුපස එලවා ගෙන ගිය ආකාරයක් දැක ඇත. අනතුරුව තවත් දිනක දී කොටියකු මුවකු පසුපස එලවා ගෙන ආ බවත් මෙම ස්ථානයට පැමිණී පසු මුවා කොටියා පසු පස එලවා ගෙන ගියා දැක ඇත. තවත් දිනක දී හාවකු පිටුපස පන්නා ගෙන ආ දඩයක්කරුවකු මෙම ස්ථානයට පැමිණි පසු හාවා අනෙක් පසට හැරී දඩයක්කරු පිටුපස ලූහුබැඳ ගොස් ඇත. එබැවින් මෙම භූමිය ජය භූමියක් බව අවබෝධ කරගත් බ‍්‍රාහ්මණයා එවකට රජු වූ කුරුණෑගල රජකම් කළ IV වන පරාක‍්‍රමබාහු රජුට (ක‍්‍රී. ව. 1302 – 1326) එය දැන් වූ බවත් අනතුරුව මෙහි ශ‍්‍රී වර්ධනපුරය යනුවෙන් උපනගරයක් පිහිට වූ බවත් පුරාවෘතවල සඳහන් වේ. ගම්පොළ රාජධානි අවධියේ දී එම ජය භූමියේ නාථ දේවාලය ඉදි වූ බව සඳහන් වේ. ඒ අනුව සගම ශීලා ලිපියෙහි ‘සෙංකඩගල නාථ දෙවියන් ’ වශයෙන් සඳහන් වන නිසා එය සැලකිල්ලට ගනිමින් ගම්පොළ යුගයේ III වැනි වික‍්‍රමබාහු රාජ්‍ය සමයේ (ක‍්‍රි. ව. 1356-1374) දී මෙම දේවාලය ඉදි වූ බව ඉතිහාසඥයන් විසින් පෙන්වා දී ඇත. ඒ අනුව මහනුවර නගරයේ පිහිටි පෞරාණිකම
ගොඩනැඟිල්ල වශයෙන් මෙය හඳුනාගත හැකිය.
මෙහි ගෘහනිර්මාණ ශිල්පය පිළිබඳව අධ්‍යයනයේ දී මධ්‍ය පරිමාණ විශාලත්වයකින් යුක්ත නිර්මාණයක් වශයෙන් හඳුනාගත හැකිය. මහායාන බෞද්ධ සංකල්ප හා දකුණු ඉන්දියානු හින්දු ගෘහනිර්මාණ ශිල්පය එකතුකොට මෙය නිර්මාණය කර ඇත. ඒ අනුව
ගෙඩිගේ විහාර සම්ප‍්‍රදායානුකූලව නිර්මාණය වී ඇති බැවින් නාථ දේවාල ගෙඩිගේ වශයෙන් ද මෙය හඳුන්වනු ලැබේ. මෙය හින්දු දේවාලයක මූලික සැලැස්මට අනුව මණ්ඩපය, අන්තරාලය හා ගර්භ
ගෘහය යන ත‍්‍රිත්වයෙන් සමන්විතව නිර්මාණය වී ඇත. තවද මෙය පොලොන්නරු ශිව දේවාලය අංක 02හි සැලැස්මට අනුව යමින් කළු ගල් ප‍්‍රමුඛ මාධ්‍ය කර ගනිමින් නිර්මිතය.
මෙහි පළමු මහලය චාම් ස්වරූපයක් දරන අතර එහි සැලැස්ම පල්ලව සාම්ප‍්‍රදායට සමානය. නමුත් උපරිභාගය චෝල ගෘහනිර්මාණ සාම්ප‍්‍රදාය පිළිබිඹු කරන අතර ම ශිඛරය මහල් තුනක් සේ සිටින පරිදි විජයනගර් සම්ප‍්‍රදායට අනුව නිර්මාණය කොට ඇතx ඒ අනුව හින්දු ගෘහනිර්මාණ ශෛලින් ගේ සංකලනයක් වශයෙන් ඉදිකොට තිබුණු මෙය බෞද්ධ නිර්මාණයක් බව පෙන් වීමට ශිඛරය ස්තූපයක ආකාරයට නිර්මාණය කොට ඇත. මෙසේ ගර්භ ගෘහයේ ඉහළ කොටස බුබ්බුලාකාර ස්තූපයක ආකාරයට නිම නො කරන්නට ගර්භ ගෘහය හින්දු දේවාලයකට සමාන වීමට ඉඩ තිබිණි.
මෙහි අන්තරාලයේ උතුරු බිත්තියෙහි ප‍්‍රධාන දොරටුව පිහිටා ඇත. එහි දෙපස අවධින් දෙකකට අයත් සිතුවම් හි ලක්ෂණ ශේෂ වී ඇත. අන්තරාලයෙන් අනතුරුව ගර්භ
ගෘහයට ප‍්‍රවේෂ විය හැකිය. එය අඩි 04ක් ඝනකම ඇති බිත්තියකින් වට වී ඇති අතර ඊට පිටතින් වූ බිත්තිය අඩි 1 1/2ක් පමණ ඝනකම ඇති බිත්තියකින් වට වී ඇත. මෙම ගර්භ ගෘහය තෙමහල් වන අතර කපා සකසන ලද කළු ගල් කුට්ටි උපයෝගි කොටගෙන චාම් ලෙස නිමකොට ඇත. මෙම දේවාල ගර්භ ගෘහය අභ්‍යන්තරය දිග අඩි 10කින් යුක්ත සමචතුරස‍්‍රාකාරව නිර්මාණය වී ඇත. එහි නාථ දේවාලයේ පූජනීය ම වස්තුව වන නාථ දේව ප‍්‍රතිමාව තැම්පත් කොට ඇති අතර ක‍්‍රි.ව. 1960 දී එම ප‍්‍රතිමාව සම්බන්ධයෙන් මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා මෙලස අර්ථ දක්වා ඇත. එය ලෝකඩයෙන් නිර්මාණය කරන ලද මහාරාජ ලීලාවෙන් වාඩි වී සිටින අවලෝකිතේශ්වර නාථ බෝධිසත්ත්වයන් ගේ ප‍්‍රතිමාවක් බවත්, අනුරාධපුර රාජ්‍ය සමයට අයත් කළ හැකි නිර්මාණයක් බවත් පෙන්වා දෙයි. තවද එම ප‍්‍රතිමාව
ගම්පොළ රාජ්‍ය සමයේ දේවාලයේ තැම්පත් කළ බව විද්වත් මතයයි.
මෙම දේවාල සංකීර්ණය වටා බොරදමින් අලංකාර කරන ලද ගල් පවුරක් වන අතර එම ප‍්‍රකාරයෙන් ඇතුළු වීමට දොරටු තුනක් ඇත. එයින් වැදගත් ම දොරටුව වන්නේ දෙමහල් උතුරු වාහල්කඩයි. එය ගල් කැටයම් කරන ලද දොරටුපාල රූප හා ගල් කැටයමින් කළ ලිස්තර වැට සඳකඩ පහණ හා පෙති උළු සෙවිලි කරන ලද දෙමහල් වහල උඩරට කලාකරුවා ගේ ප‍්‍රතිභා ශක්තිය පෙන්නුම් කරයි.
මෙම දේවාල හා සම්බන්ධ පරිවාර ගොඩනැඟිලි අතර බුදුන් වහන්සේ ගේ පාත‍්‍රා ධාතුව නිදහන් කළ බවට සැලකෙන දේවාලයට නැෙඟනහිරින් සහ බටහිරින් පිහිටි ස්තූප ද්විත්වය, දේවාලයට නැෙඟනහිරින් පිහිටි ගම්භාර දේවාලය, උඩරට රාජධානියේ රජවරුන් ගේ ඔටුනු පැළඳීම කළ ඔටුනු මණ්ඩපය, බෝධි වෘක්ෂ ද්විත්වය, විහාර මන්දිර ද්විත්වය, මුළුතැන්ගෙය, ක‍්‍රි.ව. 1888 දී මහනුවර ධර්මරාජ විද්‍යාලය ආරම්භ කළ ගොඩනැඟිල්ල ආදිය වැදගත් වේ. මෙහි භූමියේ සිදු කළ පුරාවිද්‍යා කැණිමකින් මීටරයක් පමණ උස ඝන ලෝකඩ වාත්තුවෙන් කළ හිඳි බුදු පිළිමයක කොටස් සොයාගෙන ඇත. තවද සංස්කෘතික ති‍්‍රකෝණය මගින් කළ කැණීමකින් දේවාලය වටා පිහිටි බැම්මේ තිබූ සෙල්ලිපියක සාධක අනාවරණය කර ගත් අතර එය බුද්ධ වර්ෂ 2085 දී (ක‍්‍රි.ව.1542) දී පිහිටු වන ලද්දක් බව සඳහන්ව ඇත. එහි උඩරට රාජ්‍යයේ අය කළ බදු සම්බන්ධයෙන් තොරතුරු සඳහන් වේ. එහි සඳහන් ‘‘ජයවීර මහා වැඩහුන්තැන’’ ලෙස සඳහන් වන්නේ උඩරට රාජ්‍යයේ ආරම්භක සේනාසම්මත වික‍්‍රමබාහු ගේ පුත් I වන ජයවීර රජුගේ පුත‍්‍ර II වන ජයවීර බව ඉතිහාසඥයන් ගේ මතයයි.
මෙලෙස ගම්පොළ රාජධානි සමයේ ජය භූමීයේ ඉදි වූ නාථ දේවාලය මහනුවර රාජධානි සමයේ ප‍්‍රධාන දේවාලයක් වශයෙන් වර්ධනය විය. එබැවින් උඩරට රාජධානියේ පවත් වන සතර මහා මංගල්ලයන්වල දී නාථ දේවාලයට ප‍්‍රමුඛ ස්ථානයක් හිමි වේ. ඒ අනුව ඇසළ පෙරහැර මංගල්‍යයේ දී සිව් මහා දේවාල පෙරහැර අතරින් දළදා පෙරහැරට පසු ප‍්‍රථම දේවාල පෙරහැර වශයෙන් ගමන් කිරීමේ අයිතිය නාථ දේවාලයට හිමි වී ඇත. තවද කප බෙදීමේ චාරිත‍්‍රයේ දී කපහි මුල්ම කොටස හිමි වන්නේ ද මෙම දේවාලයටය. දුරුතු මහේ පවත්වන අලූත් සහල් මංගල්‍යයේ දී සහල් බෙදීමේ දී පළමු ලැයිස්තුව යටතේ හාල් සේරු 3ක්, වී සේරු 03ක් ද දෙවැනි ලැයිස්තුව යටතේ 02ක් ද, තෙවැනි ලැයිස්තුව යටතේ සහල් සේරු 03ක් ද හිමි වේ. එමෙන්ම සිංහල අලූත් අවුරුදු උත්සවයේ දී හිස තෙල් ගෑමට අවශ්‍ය තෙල් බෙදා දීමේ සහ හිසතෙල් ගෑමේ චාරිත‍්‍රය ද මෙම දේවාලය කේන්ද්‍ර කර ගනිමින් මහනුවර රාජ්‍ය අවධියේ සිට වර්තමානය දක්වා ම සිදු කෙරේ. එමෙන් ම ඉල් මහේ පවත්වන කාර්තික මංගල්‍යය අවස්ථාවේ දී තෙල් බෙදීම ද නාථ දේවාලය කේන්ද්‍ර කරගෙන සිදු වන අතර එහිදී නාථ දේවාලයට තෙල් නැලි 02ක්, එහි බෝ මැඬට තෙල් නැලි 01ක්, පල්ලේ දේවාලයට තෙල් නැලි 01ක් සහ පිළිමගෙයට 01ක් වශයෙන් හිමි වේ. ඒ අනුව පෙනී යන්නේ උඩරට රාජධානීයේ පවත්වන සතර මහා මංගල්‍යයන් තුළ දී මතු බුදුවන බෝසතුන් වැඩ වසන දේවාලය වන නිසාත්, මහනුවර නගරයේ ජය භූමීයේ
ඉදි වූ දේවාලය වන නිසාත් එම චාරිත‍්‍රවල දී ප‍්‍රමුඛ ස්ථානය මෙම දේවාලයට හිමි වන බව ගම්‍ය වේ.
තවද උඩරට රාජධානි අවධියේ දී රජු ගේ නම් තැබීමේ චාරිත‍්‍රය සහ ඔටුනු පැළඳ වීමේ චාරිත‍්‍රය සිදු වී ඇත්තේ නාථ දේවාල භූමීයේ දී ය. එමෙන් ම මහනුවර රාජධානි සමයේ රජු බැහැදැකීමට පැමිණෙන තානාපතීන් රජුගේ අවසරයක් ලැබෙන තුරු මෙම භූමීයේ නවාතැන් ගත් බව සඳහන් වන අතර එසේ නවාතැන් ගත් ලන්දේසීන් විසින් අදින ලද සිතුවම් කිහිපයක ක්ෂේශයන් නාථ දේවාලයත් ගම්භාර දේවාලයත් අතර බැම්මෙහි දැකිය හැකි වේ. ඒ අනුව වර්තමානය තෙක් මතු බුදුවන නාථ දෙවියන් උදෙසා සතර මහා මංගල්‍යයන්, බදාදා දිනයේ නානුමුර මංගල්‍යයත්, දෛනික පුද පූජාවනුත් අඛණ්ඩව උඩරට
රජු ගේ නියෝග පරිදි වර්තමානය තෙක් පවත්වන අතර නාථ දෙවිඳු ගේ අශීර්වාද පතා පැමිණෙන බැතිමතුන් ගෙන් දේවාලය සෑම දිනක ම පිරි පවති.
ඒ අනුව සෙංකඩගල නගරය ඉදි වීමට පාදක වූ ජය භූමියේ ගම්පොළ යුගයේ ඉදි වූ මහනුවර ශ‍්‍රී මහා නාථ දේවාලය හින්දු සහ බෞද්ධ ගෘහනිර්මාණ සම්ප‍්‍රදායන් සංකලනය කොට නිර්මාණය කරන ලද ඓතිහාසික වශයෙන් වැදගත් පූජනීය ස්ථානයක් වශයෙන් පෙන්වා දිය හැකිය.
ඩබ්ලිව්. එම්. එම්. සංජය වීරකෝන්
ශාස්ත‍්‍රවේදී (ගෞරව) ඉතිහාසය,
පේරාදෙණිය විශ්වවිද්‍යාලය