හරිත අධිකරණයක්

12

“අපේ සංරක්ෂණ ව්‍යාපෘති සාර්ථකත්වයට ප්‍රධානතම හේතුවක් තමයි ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය.” මෙහෙම කියන්නේ මහාචාර්ය කුරේෂි. ඔහු ඉන්දියාවේ ව්‍යාඝ්‍ර සංරක්ෂණය ඇතුළු බොහෝ භූ දර්ශීය පරිමාණයේ වනජීවී සංරක්ෂණ මුලපිරීම්වල පුරෝගාමියෙක්. ඔහු කියනවා ඔවුන්ට තිබෙන්නේ හරිත අධිකරණයක් කියලා. ඔහු ඒක මෙහෙම විස්තර කරනවා. “හරිත අධිකරණයක් කියලා මම අදහස් කරන්නේ පරිසරය, වනජීවීන් සහ උරුම සංරක්ෂණය ගැන සංවේදී අධිකරණයක්. අපේ දීර්ඝකාලීන සහ විද්‍යාත්මක පර්යේෂණවල ප්‍රතිඵල පිළිගන්න අධිකරණයක්.” ඔහු කියනවා.

ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ඉතා බලසම්පන්න සහ ස්වාධීන ආයතනයක්. එය එරට ඉහළම අධිකරණයයි. එහි තීන්දු තීරණ ගැන ඉන්දීය ජනතාවට ප්‍රසාදයක් තිබෙනවා. නැතිනම් යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය අගතිගාමී නොවන බව බහුතරයක් දෙනා විශ්වාස කරනවා. මිනිසුන්ට වගේම වනජීවීන් ඇතුළු පරිසරයටත් යුක්තිය ඉටුවිය යුතුයි.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදෙන තීන්දු අපේ වගේම ඉන්දියාවෙත් ව්‍යවස්ථාව පෝෂණය කරනවා. ඒ කියන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු පූර්වාදර්ශයට ගන්නවා කියන එක. එවැනි තීන්දු පරිසරය සහ වනජීවී සංරක්ෂණය වෙනුවෙන් ඉන්දියාවේ විශාල කාර්යභාරයක් ඉටුකර තිබෙනවා. එසේම ඉටුකරමින් තිබෙනවා.

උදාහරණයක් විදිහට ඉන්දියාවේ අග්‍රාවල පිහිටා තිබෙන ටජ්මහල ගැන අපි කවුරුත් දන්නවා. එය යුනෙස්කෝ ලෝක උරුමයක්. අග්‍රා නගරය වටා පිහිටා තිබූ කර්මාන්තවලින් නිකුත් වූ විෂ දුම නිසා ටජ්මහලේ කිරිගරුඬ ව්‍යුහයට හානිකර බලපෑම් එල්ල වුණා. මේ පිළිබඳව සංවේදී වූ සමාජ ක්‍රියාකාරීන් මෙයින් සිදුවන හානිය පිළිබඳව ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් මගින් දැනුම් දුන්නා. එය සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය මේ සංස්කෘතික උරුමයේ ආරක්ෂාව වෙනුවෙන් වායු දූෂණය ඇති කරන කර්මාන්ත ප්‍රදේශයෙන් ඉවතට ගෙන යන ලෙස රජයට සහ අදාළ ආයතනවලට නියෝග කළා. ටජ්මහල සම්බන්ධව ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය අවස්ථා කිහිපයකදීම සාධනීය ලෙස තමන්ගේ තීරණ ලබා දී තිබෙනවා. ඒවා අකුරටම ක්‍රියාත්මක කරන්නටත් අදාළ ආයතන මේ වන විට කටයුතු කොට තිබෙනවා.

ඉන්දියාව කියන්නේ ලොව වැඩිම ජනගහනය එක්ක ශීඝ්‍ර ආර්ථික සංවර්ධනයක් අත්කර ගනිමින් තිබෙන රටක්. ඒ නිසාම අලුතින් නිර්මාණය වන යටිතල පහසුකම්, සංවර්ධන ඉලක්ක එක්ක සංරක්ෂණ ඉලක්ක සාධනය කර ගැනීම පහසු නැහැ. මහාචාර්ය කුරේෂි කියන්නේ වනජීවී සංරක්ෂණය සහ කළමනාකරණය කියන්නෙම අභියෝගවලින් පිරීගිය මාර්ගයක් බවයි. ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය මේ මැද මාවත පිළිබඳ හොඳ අවබෝධයකින් කටයුතු කරන බව පෙනෙනවා. එය වනජීවී සංරක්ෂණය සම්බන්ධයෙන් පමණක් නොවෙයි, රටක් විදිහට ඔවුන්ගේ සාර්ථකත්වයටත් පිටුබලයක් සපයන බව පැහැදිලි වෙනවා.

මම තවත් උදාහරණයක් කියන්නම්. කාසිරංගා ජාතික උද්‍යානය (Kaziranga National Park) ඉන්දියාවේ පිහිටා තිබෙන යුනෙස්කෝ ස්වභාවික ලෝක උරුමයක්. ඒ වගේම ලොව පුරා සිටින වනජීවී ලෝලීන්ගේ පාරාදීසයක්. මෙහි පර්යන්ත ප්‍රදේශ කළමනාකරණය හා ඊට සම්බන්ධ වනජීවී මංකඩ (Wildlife Corridors) වලට එල්ල වූ බාධාවන් ඉවත් කරන්නට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිගාමී තීරණ ලබාදී තිබෙනවා. කාසිරංගා උද්‍යානය හා සම්බන්ධ වූ වනජීවී මංකඩවල් නවයෙන් තුනකටම මේ අයුරින් මානව ක්‍රියාකාරකම් නිසා බලපෑම් එල්ල වී තිබුණා. එය මෙම ජාතික උද්‍යානයේ සහ ඊට පර්යන්ත කලාප වල ජීවත් වූ වන සතුන්ට, උන්ගේ සංක්‍රමණවලට දැඩි බලපෑමක් එල්ල කරමින් තිබුණා.

උදාහරණයක් ලෙස කාසිරංගා ජාතික උද්‍යානය සමීපයේ පිහිටා තිබෙන ඩෙවොෆාර් වන රක්ෂිතයේ (Deopahar Reserve Forest) අලි කොරිඩෝව හරස් කර පෞද්ගලික සමාගමක් විශාල තාප්පයක් ඉදිකරනවා. මේ නිසා වන අලින්ගේ සංක්‍රමණ මාර්ගය සම්පූර්ණයෙන් ඇහිරී ගියා. මෙම ගැටලුව ඉන්දියාවේ ජාතික හරිත මණ්ඩලය (The National Green Tribunal) සහ ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා ගියා.’ ශ්‍රේෂ්ඨාධිකරණය වහාම මේ ඉදිකිරීම කඩා ඉවත් කරන ලෙසත් සහ වනජීවීන්ගේ සංක්‍රමණයන්ට ඇති බාධාවන් සියල්ල ඉවත් කරන ලෙස නියෝග කළා. එපමණක් නොවේ, මෙම පෞද්ගලික සමාගම විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන ලද අභියාචනය ද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කරනු ලබනවා. එමෙන්ම කාසිරංගා ජාතික උද්‍යානය සමීපයේ තිබෙන කඳු (Karbi Anglong Hills) සමීපයේ පවත්වාගෙන යමින් තිබූ කැණීම් කටයුතු සියල්ලම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහනම් කරනු ලැබුවා.

පර්යේෂකයන් මෙහි තවත් පැත්තක් පෙන්වා දී තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිගාමී තීරණ ලබා දුන්නත් ඒ නීති ප්‍රතිපත්ති පිළිබඳව සාමාන්‍ය මිනිසුන්ට දැනුමක් නැහැ. නීතිය නොදැන සිටීම නිදහසට හේතුවක් නොවුණත්, පොදු ජනතාවට ඒවා පිළිබඳ දැනුවත්වීමේ යාන්ත්‍රණයක් සැකසීමේ අවශ්‍යතාවය ද මේ පර්යේෂකයන් පෙන්වා දෙනවා. අනිත් අතට සොබා සම්පත් තිරසර ලෙස උපයෝජනය ගැන මිනිසුන්ට අවබෝධයක් නොමැති බවත් ඔවුන් පෙන්වා දෙන කරුණක්. ඒ නිසා තහනම් කිරීම පමණක් ප්‍රමාණවත් නොවන බවත්, විකල්ප ඉදිරිපත් කළ යුතු බවත් ඔවුන් පෙන්වා දෙනවා.

2010 වසරේ දී ඉන්දීය පාර්ලිමේන්තුව අනුමත කරන ලද ජාතික හරිත විනිශ්චය මණ්ඩල පනත (The National Green Tribunal ්ජඑල 2010) මෙහිදී ඉතාම වැදගත්. ඒ හරහා පරිසරය සම්බන්ධ කාරණාවල දී කල්මරන්නේ නැතුව ප්‍රශස්ත ලෙස තීන්දු, තීරණවලට එළඹීමට අවකාශය හිමිව තිබෙනවා. ඉන්දීය පාර්ලිමේන්තුව, 2010 ජාතික හරිත විනිශ්චය මණ්ඩල පනත පහත පරිදි අර්ථ දක්වනවා.

“පරිසරයට අදාළ ඕනෑම නෛතික අයිතිවාසිකමක් බලාත්මක කිරීම සහ පුද්ගලයන්ට සිදුවන හානි සඳහා සහන සහ වන්දි ලබා දීම ඇතුළුව පාරිසරික ආරක්ෂාව සහ වනාන්තර සහ අනෙකුත් ස්වභාවික සම්පත් සංරක්ෂණය සම්බන්ධ නඩු ඵලදායී හා කඩිනම්ව විසඳීම සඳහා ජාතික හරිත විනිශ්චය සභාවක් පිහිටුවීම සඳහා විධිවිධාන සැලසීමේ පනතක් සහ දේපළ සහ ඊට සම්බන්ධ හෝ ඊට ආනුෂංගික කාරණා සඳහා.”

මේ නෛතික අවකාශය එරට නීතිවේදීන්, සමාජ – පරිසර ක්‍රියාකාරීන් තමන්ගේ උරුමයන් රැක ගැනීම වෙනුවෙන් වඩා හොඳින් භාවිත කරන බව පේන්න තිබෙනවා.

“ප්‍රමාද වූ යුක්තිය යුක්තිය නොවේ” කියා කියමනක් තිබෙනවා. ඒ වගේම යුක්තිය සඳහා ගෙවිය යුතු මිල ඉතා ඉහළ නම්, බහුතරයකට එය ලබා ගැනීමට තිබෙන අවකාශය ද ඇහිරී යනවා. අනෙක් අතට යුක්තිය පසිඳලන ආයතන හා පුද්ගලයන් ගැනත් පොදු ජනතාව අතර පැහැදීමක්, විශ්වාසයක් නොමැති නම්, මේ සමස්ත ක්‍රියාවලියම ගඟට කපපු ඉනි වගේ තේරුමක් නැති දෙයක් බවට පත්වීම වැළැක්විය නොහැකියි. මේ සියලු කාරණා පිළිබඳව ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණයට වගේම ඊට සම්බන්ධව සිටින පුද්ගලයන්ට සහ ආයතනවලටත් හොඳ අවබෝධයක් තිබෙන බව ඉහත උදාහරණවලින් මනාවට පිළිබිඹු වෙනවා.

අතීතයේ රජුගේ අණ නීතිය ලෙස පිළිගත් යුගයේත් රජුගේ අණ සහ සම්ප්‍රදාය විසින් සමාජය පාලනය කර තිබෙනවා. අපේ උරුමයන් ආරක්ෂා කරන්නට දීර්ඝ කාලයක් තිස්සේ මේ සම්ප්‍රදායන් දායක වෙලාත් තිබෙනවා. අපි රටක් විදිහට මානව විවිධත්වය වගේම, ජෛව විවිධත්වයත් පිළිගත් සහ එයට ගෞරව කළ ජාතියක්, මනුෂ්‍යත්වය සියල්ලටම ඉහළින් තිබිය යුතු යැයි පිළිගත් ජාතියක්. ඒ වියමන තුළ ගහ-කොළ, ඇළ-දොළ, සතා සීපාවන්ගේ පැවැත්මට තිබෙන අයිතියත් අප පිළිගන්නවා. අපේ ඒ ඓතිහාසික උරුමයට කුමන තත්ත්වයක් යටතේ හෝ අපට පයින් ගැසීමේ හැකියාවක් නැහැ. ඊට එරෙහිව නැගෙන ඝෝෂාවන්ට බිය විය යුතුත් නැහැ. මන්ද නීති තිබිය යුත්තේ මානව ප්‍රගමනය සහ මිහිමත අඛණ්ඩ පැවැත්ම වෙනුවෙන්.

ශ්‍රී ලංකාවේත් පුරවැසියෝ, නීති-ප්‍රතිපත්ති, නීතිවේදීන්, ශ්‍රේෂ්ඨාධිකරණයක් වගේම විසඳුමක් පේන තෙක් මානයේ නැති මිනිස්-පරිසර අර්බුද ගොන්නකුත් තිබෙනවා. අපි ඉන්දියාවෙන් වෙනස් වෙන්නේ කොතැනකින් ද? අපි හරිත අධිකරණයක් සඳහා වන මාර්ගය ආරම්භ වන්නේ ඒ ප්‍රශ්නයට හොයන උත්තර එක්ක.

මංජුල කරුණාරත්න
සංරක්ෂණ භූගෝල විද්‍යාව පිළිබඳ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
භූගෝල විද්‍යා අධ්‍යනාංශය, රුහුණ විශ්වවිද්‍යාලය

advertistmentadvertistment
advertistmentadvertistment