නලින් බණ්ඩාරගේ ප්‍රකාශය අවමන් සහගතයි – ශ්‍රී ලංකා ක්‍රිකට් පිළිතුරු දෙයි

507

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ක්‍රිකට් තරඟ ශ්‍රී ලංකාවේ නොපැවැත්වීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පසුගියදා (09 දා) පාර්ලිමේන්තුවේදී කරන ලද ප්‍රකාශය අසත්‍ය, අවමන් සහගත සහ ද්වේෂසහගත චෝදනාවලින් සමන්විත වන බැවින් එම චෝදනා සියල්ල ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තරයේ ප්‍රතික්ෂේප කර සිටියි.

මේ පිළිබඳව කරුණු දක්වමින් ඒ මහතා සිදු කරනු ලැබ ඇති එම ප්‍රකාශය පදනම් විරහිත, අගතිගාමී සහ අශෝභන ප්‍රකාශයක් වන අතර විෂය කරුණු පිළිබඳ ශුන්‍ය දැනුමකින් ප්‍රකාශ කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තරයේ අවධාරණය කර සිටී.

ආසියානු ක්‍රිකට් කවුන්සිලය යනු ආසියානු භුගෝලීය කලාපයේ ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල සාමාජිකත්වයකින් සැදුම්ලත් ආයතනයක් වන බැවින් එහි පූර්ණ පාලනය සිදුකරනු ලබන්නේ ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසිනි. එබැවින් ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ද්විපාර්ශ්වික තරගාවලියක් මෙන් තම තනි අභිමතය අනුව ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් පවත්වනු ලබන ආසියානු කුසලානය සම්බන්ධයෙන් හිමිකම් පෑමක් සිදු කිරීමට හෝ එහි සත්කාරකත්වය ලබා ගත නොහැකි බව මේ අවස්ථාවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තරයේ ප්‍රකාශ කර සිටියි.

ආසියානු ක්‍රිකට් කවුන්සිලය යනු ස්වාධීන ආයතනයක් බැවින් සෑම වසරකටම ආසියානු කුසලානයේ සත්කාරක අයිතිය ලබාදීම සඳහා එක් එක් සාමාජික රටවල් සඳහා අවස්ථාව ලබා දෙන බවත්, එය සිදුකරනු ලබන්නේ ද එම කවුන්සිලය වෙත එම තරගාවලියෙන් උපරිම ලාභ ලැබීමේ අරමුණු ඇතිවය. එබැවින් සත්කාරකත්වය ලබාදීමේදී අදාළ රටේ වර්තමාන තත්ත්වය සහ තරගාවලිය සඳහා වන අනෙකුත් හිතකර අවශ්‍යතා පිළිබඳව දැඩි අගැයීමකට ලක් කෙරෙන අතර ඊට පසුව එම සත්කාරකත්ව අවස්ථාව ලබාදීමට ආසියානු ක්‍රිකට් කවුන්සිලය පියවර ගනු ඇත.

ඒ අනුව පසුගිය මාස කිහිපය තුළම ශ්‍රී ලංකාවේ පැවැති ආර්ථික සහ සමාජයීය යන දෙඅංශයේම තත්ත්වයන් සහ වර්ධනයන් පිළිබඳව ආසියානු ක්‍රිකට් කවුන්සිලය සමීප නිරීක්ෂණයක නිරත වුණු අතර ඒ සියල්ල සලකා බලා සාමාජික රටවල් අතර ඉකුත් ජූලි 24 වැනිදා පැවැති තීරණාත්මක රැස්වීමේදී තරගාවලියේ සත්කාරක අයිතිය ශ්‍රී ලංකාවට ලබා දෙමින් එම තරගාවලියේ ක්‍රිකට් තරග එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමට තීරණය කරනු ලැබීය.

කෙසේ වෙතත්, ලෝකයේ ඉහළ පිළිගැනීමක් ඇති ක්‍රිකට් ක්‍රීඩා කරනු ලබන රටවල් හයක ජාතික ක්‍රිකට් කණ්ඩායම් හි සහභාගිත්වයෙන් පවත්වනු ලබන තරගාවලියකදී ඉන්ධන අර්බුදය, විදුලි බලය සැපයීමේ සීමාවන් මෙන්ම අනෙකුත් පහසුකම් සැපයීමේදී එම සපයන්නන් මෙන්ම නරඹන්නන් යන දෙඅංශයන්ම මුහුණ දෙන

ගැටලු පිළිබඳවත්, ආසියානු කුසලාන තරගාවලියේ පාර්ශ්වකරුවන් සහ එහි වාණිජ හවුල්කරුවන් විසින් සිදුකරන ලද ඉල්ලීම් පිළිබඳවත් සලකා බලමින් මෙම අවස්ථාවේ ශ්‍රී ලංකාව තුළ තරග පැවැත්වීම හිතකර නොවන බවට ආසියානු ක්‍රිකට් කවුන්සිලය තීරණය කර ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment