හොර රැකියා ඒජන්සිකාරයන් විසින් වෙනත් රටවල්වලට ගෙන ගොස් රැකියා ලබාදීමේ මුවාවෙන් මැලේසියාවේ අතරමං කරන ලද ශ්‍රී ලාංකිකයන් 1500 ක් පමණ ඉකුත් දෙවසක කාලය තුළ මැලේසියානු රජය මගින් ලංකාවට පිටුවහල් කරනු ලැබ ඇත. හොර ඒජන්සිකාරයන් ලාංකිකයන් රවටාගෙන විත් මැලේසියාවේ නවත්වනු ලබන්නේ යුරෝපයට හෝ වෙනත් ගමනාන්තයක රැකියාවක් ලබාදෙන බව කියමිනි. මැලේසියාවට පැමිණ දින කිහිපයකට පසු ඒජන්සිකාරයා අතුරුදන් වන අතර ටික දිනකින් එතෙක් නැවතී සිටි හෝටල්වලින් නික්ම පාරට බසින්නට ඔහු සමග පැමිණි රැකියා අපේක්ෂකයන්ට සිදුවේ. මේ අයගේ වීසා ඉතා කෙටි කලකින් අවසන් වන බැවින් එතැන් සිට ඔවුන් මැලේසියාවේ කල්ගත කරන්නේ හොර වැසියන් ලෙසය. මේ ආකාරයටම පිටරට රැකියා පොරොන්දුවී ඉන්දියාවේ චෙන්නායි, නේපාලයේ කත්මණ්ඩු, බංගලාදේශයේ ඩකා, තායිලන්තයේ බැංකොක් යන නගරවල අතරමං කෙරුණු දහස් සංඛ්‍යාත ශ්‍රී ලාංකිකයන් පිරිසක් අපා දුක් විඳිති. ඊට අමතරව සිංගප්පූරුව තුළද මෙවැනි අය රස්තියාදු වෙති. අප සිංගප්පූරුව ගැන මෙහිදී වෙනම සඳහන් කරන්නේ වීසා කාලය නිමවූ පසු එරට රැඳී සිටින විදේශිකයන් අත්අඩංගුවට පත්වූ විට එම පුද්ගලයන්ට ඉතා දරුණු ලෙස වේවැල්වලින් පහරදී සිර දඬුවම් ද ලබාදී ලංකාවට නෙරපා හැරීම සිංගප්පූරු බලධාරීන් විසින් කරනු ලබන නිසාය. සිංගප්පූරුව හැරුණු විට අප පෙරකී ලැයිස්තුවේ සිටින අනෙක් කිසිදු රටක් නීති විරෝධී සංක්‍රමණිකයන්ට වේවැල්වලින් තළන්නේ නැත. අඟලක් පමණ ඝනකමැති අඩි පහක් පමණ දිග මේ වේවැලෙන් පළමු පහර කනවිටම ගුටි කන එකාට සිහි නැතිවේ. ඉන්පසු එම තුවාලයට බෙහෙත් දමා ගුටි කෑ එකාට යළි සිහිය ආපසු ඉතිරි වේවැල් පහරවල් හතරක් හෝ නවයක් ප්රදානය කරනු ලැබේ. මෙසේ ගුටි කන අය බොහෝවිට හත් අට වාරයක් සිහිසුන් වෙති.
ලංකාවේ හොර ඒජන්සිකාරයන් පමණක් නොව නීත්‍යානුකූල ඒජන්සිකාරයන් ද මෙරටට ඉමහත් ප්රශ්නයකි. මෙයට අවුරුදු කිහිපයකට පෙර ශ්‍රී ලංකාවෙන් ගිය ගෘහ සේවිකාවක් ඇය මෙහෙකාරකම් කළ නිවසේ දරුවකුගේ මරණය නිසා හිස් ගැසුම් කෑවාය. ඇයගේ හිස නොගසන ලෙසත් ඇයට වෙනත් දඬුවමක් දෙන ලෙසත් එවකට ජනාධිපතිව සිටි මහින්ද රාජපක්ෂ පවා සෞදි
රජතුමාගෙන් ඉල්ලා තිබුණි. එහෙත් සෞදි ආණ්ඩුව එක්තරා පාන්දර යාමයකදී ඇය පිට්ටනියකට ගෙන ගොස් හිස ගසා දැමුවේය. මේ කාන්තාව බාල වයස්කාර දැරියක බව පසුව සොයාගන්නා ලදි. කූට ඒජන්සිකාරයෙක් වැඩි වයසක් දැමූ හොර පාස්පෝට් එකක් ඇයට හදාදී සෞදියේ ගෘහ සේවයට යවා තිබිණ. මෙය මේ ආකාරයෙන්ම අදටත් සිදුවේ. එක්කෝ අවුරුදු පනහ පැන්න කාන්තාවකට අවුරුදු 38 ක් වයස කාන්තාවක් සේ ව්‍යාජ පාස්පෝට් සාදනු ලැබේ. නැතහොත් බාල වය්සකාර දැරියන්ට වැඩි වයස් දමා පාස්පෝට් සාදනු ලැබේ. මේ නීති විරෝධී වැඩවලින් අන්තිමට ගෙල කැපී යන්නේ ඒජන්සිකාරයාගේ නොව ගෘහසේවක කාන්තාවගේ ය. මේ දිනවල රුසියානු සහ යුක්රේන් යුද පෙරමුණුවල දුක් විඳින ශ්‍රී ලාංකික විශ්‍රාමික යුද සෙබළුන් රට පටවන ලද්දේ ද හොර ඒජන්සිකාරයන් විසිනි. රුපියල් ලක්ෂ හතක පඩියකුත්, පුරවැසිභාවයත් පවුලේ සියලු දෙනාටම නේවාසික වීසා බලපත්රත් ලබාදෙන බව ඒජන්සිකාරයෝ මේ හැම සෙබළෙකුටම පොරොන්දු වී තිබිණ. මේ කිසිවක් තබා යුද පෙරමුණේ සිටින ඔවුන්ට අද තුන්වේල කෑමටවත් නොලැබේ. ඔවුනට උදේට ලැබෙන්නේ සුප් පිඟානක් පමණි. රෝගී වන සෙබළුන් වෙඩි තබා මරාදමන බැවින් කෙසේ හෝ කෙළින් හිටගෙන යුද බිමට යෑමට ඔවුන්ට සිදුව තිබේ. රුසියාවේ සහ යුක්රේනයේ කුලී හේවායන් ලෙස සේවය කරමින් සිටියදී ලංකාවට පැන ආ අය කියන කතා ඉතා බියකරුය.
ශ්‍රී ලංකාවට ප්‍රමුඛතම විදේශ විනිමය තොගය ලැබෙන්නේ පිටරටවල සේවය කරන ශ්‍රී ලාංකිකයන්ගෙනි. ඉස්සර ලැබුණු තේ, පොල්, රබර් ආදායම දැන් ලංකාවට ලැබෙන්නේ නැත. ඇඟලුම් කර්මාන්තය හා සංචාරක කර්මාන්තය එම තැන්වලට පිවිස ඇත. මෙයිනුත් ප්‍රමුඛත්වය ලැබෙන්නේ විදේශ රැකියාවල යෙදෙන අය එවන මුදල්වලට බැවින් පිටරටවලට ශ්‍රමිකයන් යවන ඒජන්සිකාරයන් අපට අත්‍යවශ්‍ය ය. එහෙත් ඔවුන් පාලනය කළ නොහැකි මට්ටමක් මතුව තිබේ. එබැවින් ආණ්ඩුව කළ යුතු හොඳම දේ වන්නේ විදේශ රැකියා ඒජන්සිකරුවන් නියාමනය කිරීමට දැඩි නීති රීති ගෙන ඒමය. එයත් අසාර්ථක නම් ඊළඟ විකල්පය වනු ඇත්තේ රැකියා ඒජන්සි සියල්ල අවලංගු කර එම ඒකාධිකාරය විදේශ රැකියා නියුක්ති කාර්යාංශය යටතට ගැනීමය.