1 ශ්‍රේණිය චක්‍රෙල්ඛය එයි – පාසල් හයකට අයැදුම් කළ හැකියි

162

2024 වර්ෂයේ රජයේ පාසල්වල පළමු වන ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමට අදාළ අයැදුම් පත්‍රය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ඊයේ (13 දා) නිකුත් කරනු ලැබීය.
එහි ලබාදී ඇති උපදෙස් අනුව අයැදුම්පත පුරවා සියලු ලේඛන සමග තමන්ට අදාළ වන පාසල්වල ප්‍රධානීන් වෙත 2023 අගෝස්තු 18ට පෙර ලියාපදිංචි තැපෑලෙන් ඉදිරිපත් කළ යුතුය. සියලුම සුදුසුකම් සපුරාලිය යුත්තේ 2023 ජුනි 30 දිනට වලංගු වන පරිදිය.

ළමයාගේ උප්පැන්න සහතිකයේ පිටපත් හා තම ඉල්ලුම් කරනු ලබන ගණය යටතේ, අදාළ වන සියලුම ලිපි ලේඛනවල පිටපත්, දිවුරුම් ප්‍රකාශයක් මගින් සහතික කර අමුණා එවිය යුතුය.

2024 ජනවාරි 31 දිනට ළමයාගේ වයස අවුරුදු 05ක් සම්පූර්ණ විය යුතුය. මේ සඳහා උප්පැන්න සහතිකය ඉදිරිපත් කළ යුතුය. 2024 ජනවාරි 31 දිනට වයස අවුරුදු 06 හෝ 06 වැඩි ළමයින් ඇතුළත් කළ හැක්කේ වයස අවුරුදු 06 ට අඩු සුදුසුකම් සපුරා ඇති සියලු ළමුන් ඇතුළත් කර ගැනීමෙන් පසුවය. පළමුවන ශ්‍රේණියේ සමාන්තර පන්තියක් සඳහා ළමුන් 35ක් සම්මුඛ පරීක්‍ෂණ මගින් ද තෝරා ගන්නා අතර ළමයින් 05ක් ක්‍රියාන්විත රාජකාරියේ යෙදුණු ත්‍රිවිධ හමුදාවේ හා පොලිසියේ සාමාජිකයන්ගේ ළමයින්ගෙන් තෝරා ගැනෙනු ඇත. සෑම අයැදුම්කරුවකුම අවම වශයෙන් තමාට ආසන්න පළාත් සභා පාසල් 03ක් ඇතුළුව පාසල් 6කට ඉල්ලුම් කළ යුතුය.

සම්මුඛ පරීක්‍ෂණ පවත්වා ප්‍රදර්ශනය කරන ලද තාවකාලික ලැයිස්තුව හා පොරොත්තු ලේඛනය පාසල් දැන්වීම් පුවරුවේ සහ පාසලේ වෙබ් අඩවියේ ප්‍රදර්ශනය කර සති 02ක් ඉකුත්වීමට පෙර එම පාසලට අයැදුම් කළ අයැදුම්කරුවන් විසින් පමණක් අභියාචනා ඉදිරිපත් කළ යුතුය.

අයැදුම්කරු විසින් ඉල්ලුම් කරන ලද පාසල් අතුරින්, තේරී ඇති පාසලට දරුවා ඇතුළත් කිරීමට කටයුතු කළ යුතු අතර කිසිම පාසලකට තෝරා නොගත් ළමයකු සිටීනම් එම ළමයාගේ මව/පියා, නීත්‍යනුකූල භාරකරු විසින් තම දරුවාට විකල්ප පාසලක් ලබා ගැනීම සඳහා අනිවාර්යයෙන්ම මසක් ඇතුළත තමන් පදිංචි ප්‍රදේශයේ කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂවරයාට නව අයැදුම්පතක් ඉදිරිපත් කළ යුතුය. ඒ අනුව සෑම ළමයකුටම පාසලක් ලබාදීමට කලාප අධ්‍යක්‍ෂවරයා විසින් සිදුකරනු ලබයි.

සියලුම රජයේ පාසල්වලට ළමයින් ඇතුළත් කිරීම වෙනුවෙන් පහසුකම් හා සේවා ගාස්තු සහ පාසල් සංවර්ධන සමිති සාමාජික මුදල පමණක් අයකළ යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා දැනුම් දී ඇත. ඊට අමතරව සිසුන් ඇතුළත් කිරීම වෙනුවෙන් වෙනත් ගාස්තුවක් හෝ ආධාර මුදලක්, බඩු භාණ්ඩ පාසලකට සම්බන්ධ සංවිධානයකට තුන්වන පාර්ශ්වයකට ලබාදීම සම්පූර්ණයෙන් තහනම් වේ. මෙම උපදෙස් කඩකරන අයට එරෙහිව නීත්‍යනුකූලව කටයුතු කරන බවද ලේකම්වරයා දැනුම්දී ඇත.

1 ශ්‍රේණිය චක්‍රෙල්ඛය එයි - පාසල් හයකට අයැදුම් කළ හැකියි

මෙහි සම්පූර්ණ අයදුම්පත හා විස්තරය QR කේතය Scan කර බාගත හැක

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment